තිරු නඩේෂන් දෙවැනි වරටත් පැය 3 1/2 ක් අල්ලස් කොමිසමේ

161

ඉපයූ ආකාරයක් හෙළි කළ නොහැකි වත්කම් හිමිකරුවන් පිළිබඳව පැන්ඩෝරා පති‍්‍රකාව මගින් හෙළි කළ ලැයිස්තුවේ නම සඳහන්ව ඇති හිටපු ඇමැති නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඬේෂන් මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (15 දා) දෙවැනි දිනටත් පැය තුනහමාරක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 08 වැනිදා ද තිරුකුමාර් නඬේෂන් මහතාගෙන් අල්ලස් කොමිසම පැය 4 කට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා දෙවැනි දිනටත් පැමිණෙන ලෙස අල්ලස් කොමිසම මගින් නඩේෂන් මහතාට දැනුම් දීමක් කර තිබිණි.

ඒ අනුව තිරුකුමාර් නඩේෂන් මහතා ඊයේ පෙරවරු 10.00 ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර දහවල් 1.30 පමණ වනතුරු ඒ මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලදී.

රාජ්‍ය නායකයන් දේශපාලනඥයන්, ප‍්‍රකට කී‍්‍රඩකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල ධනවතුන් පිරිසක් හෙළිදරව් කළ නොැහකි මුදල් ඉපයීම් සම්බන්ධයෙන් පැන්ඩෝරා පති‍්‍රකාව මගින් පසුගියදා මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබිණි.

මෙම ලැයිස්තුවේ හිටපු ඇමැතිනි නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියාගේ නම ද සඳහන් විය. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත නියෝගයක් කර තිබිණි.

අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment