දකුණේ ගිනි බිඳිල්ලට අහිංසකයෝත් බිලි වෙති

351

අපේ දරුවෝ මැරුවේ මොන වරදක් කළාටද? – දෙමාපියෝ කඳුළු සලති

ඇල්පිටිය – අම්බලන්ගොඩ ප්‍රහාර දෙකටම කොන්ත්‍රාත්තුව ‘සමන් කොල්ලාගෙන්’

ඇල්පිටිය, පිටිගල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලදී පෙරේදා (11 දා) රාත්‍රි පුද්ගලයන් සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් හයදෙනකුට බරපතළ තුවාල සිදු කළ ප්‍රහාර දෙකම එල්ල කර ඇත්තේ ඩුබායි හි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සමන් කොල්ලා’ ගේ නියෝග මත එකම කුලී ඝාතකයන් දෙදෙනකු විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම කුලී ඝාතකයන් දෙදෙනා ඇල්පිටිය, පිටිගල, හොරංගල්ල, ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසලක් වෙත මුල් ප්‍රහාරය එල්ල කළ අතර එහිදී එම වෙළෙඳසලෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි අහිංසක පුද්ගලයෝ දෙදෙනෙක් ඝාතනයට ලක් වූහ.

එම ප්‍රහාරය එල්ල කර පැයක් ගතවීමට පෙර මෙම කුලී ඝාතකයන් දෙදෙනා අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයට පැමිණ වෙළෙඳසලක් අසල සිටි තවත් තරුණයන් පිරිසකට වෙඩි තැබූ අතර එම ප්‍රහාරයෙන් ද තරුණයෝ දෙදෙනෙක් ඝාතනයට ලක් වූහ.

මෙම ප්‍රහාර දෙකම ටී 56 අවියක් යොදාගෙන එල්ල කර ඇති අතර ප්‍රහාර දෙකටම පැමිණ ඇත්තේ එකම ඝාතකයන් බව සී සී ටී වී කැමරා ඔස්සේ පොලිසිය හඳුනාගෙන තිබේ.

පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසලක් වෙත මුල්ම ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම වෙළෙඳසලේ හිමිකරු ඉලක්ක කරගෙන බව පොලිසිය පවසයි. වෙළෙඳසලේ හිමිකරු ඉකුත් 2022 වර්ෂයේදී හොරංගල්ල ප්‍රදේශයේ සිදුවූ මිනිමැරුමක ප්‍රධාන සැකකරුවෙකි. එහිදී ඝාතනයට ලක්වූ පුද්ගලයා සමන් කොල්ලා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකි. එම ඝාතනයට එකටඑක කිරීමක් ලෙස මෙම වෙළෙඳසලේ හිමිකරු ඝාතනයට කුලී ඝාතකයන් දෙදෙනා පෙරේදා රත්‍රි 8.30ට පමණ එහි පැමිණ ඇත.

ඒ වනවිට වෙළෙඳසලට පුද්ගලයන් හත්අට දෙනකු බඩු මිලදී ගැනීමට පැමිණ සිට ඇත. ඔවුන් වැඩිදෙනකු කුරුඳු තළා ජීවත් වූ පුද්ගලයන්ය. කුලී ඝාතකයන් දෙදෙනා වෙළෙඳසල් හිමියා ඉලක්ක කර ටී 56 අවියෙන් වෙඩි වරුසාවක් එල්ල කර තිබේ.

එහෙත් වෙළෙඳසල් හිමියා ප්‍රහාරයෙන් බේරී පලාගොස් ඇති අතර භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් පස්දෙනකු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ. එහිදී පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්‍ෂයට පත්වූ අතර තවත් තිදෙනෙක් රෝහල් ගතකර සිටිති.

මෙහිදී ඝාතනයට ලක්වූයේ කරන්දෙණියේ පදිංචිකරුවන් වන රනේපුර හේවගේ සතිස් මධුසංක (28) හා කටුකුරුන්ද කලුආරච්චිගේ කවිෂ්ක අංජන (25) නමැති තරුණයන් දෙදෙනාය.

තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත්තේ හොරංගල්ල පදිංචි නාගහමුල්ල කංකානම්ලාගේ දිනුෂ්ක කාරියවසම් වීරසිංහ, සුනිල් ශාන්ත සහ කාරියවසම් බෝපතන්ත්‍රි රුවන්මලී නමැති අය බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් පසු කුලී ඝාතකයන් කිලෝමීටර් 25කට අධික දුරක් ගෙවාගෙන අම්බලන්ගොඩ ප්‍රදේශයට පැමිණ රාත්‍රි 9.30ට පමණ සිය දෙවන ප්‍රහාරය එල්ල කර තිබේ. ‘සමන් කොල්ලා’ සමග මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී මුදල් නොගෙවූ පුද්ගලයකු එහිදී මෙම කුලී ඝාතකයන්ගේ ඉලක්කය වී ඇත.

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල තරුණයන් පිරිසක් සංගීත සාජ්ජයක් දැමීමට සූදානමින් සිට ඇති බව පොලිසිය පවසයි. සමන් කොල්ලාගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඒවා අලෙවියෙන් පසු මුදල් ලබා නොදුන් තරුණයා ද ඒ අතර සිට ඇත.

කුලී ඝාතකයන් දෙදෙනා එම ස්ථානයේ සිටි තරුණයන් වෙත ටී 56 අවියෙන් නොනවත්වා වෙඩි ප්‍රහාර එල්ල කර මුළු ප්‍රදේශයම භීතියට පත්කරමින් පලාගොස් තිබිණි.

මත්ද්‍රව්‍ය ආරවුලට සම්බන්ධ තරුණයා ද ප්‍රහාරයෙන් මියගිය අතර ඒ අසල වෙළෙඳසලේ හිමිකරුගේ පුත්‍රයා ද වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් මියගොස් තිබේ.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ ගලගොඩ පදිංචි 26 හැවිරිදි හැලඹගේ මධුරංග මෙන්ඩිස් සහ 22 හැවිරිදි දඩල්ලගේ සිතුම් රංජන නමැති තරුණයන් දෙදෙනා බව පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් අවුරුදු 19, 22 සහ 37 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනකු ද බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් කරාපිටිය සහ අම්බලන්ගොඩ රෝහල්වලට ඇතුළත් කර තිබේ.

අම්බලන්ගොඩ, ඇල්පිටිය සහ ගාල්ල ප්‍රදේශ සිය මත්ද්‍රව්‍ය රාජධානිය කරගෙන සිටි සමන් කොල්ලා නමැති ජාවාරම්කරු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින බව පොලිසිය පවසයි. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙම ජාවාරම්කරු සිය ගෝල බාලයන් යොදාගෙන මෙම ව්‍යාපාරය සිදුකරයි.

මියගිය සිතුම් අංජනගේ මිත්තිනය පැවසුවේ කාටවත් වරදක් කර නැති තම මුණුබුරා නිරපරාදේ ඝාතනයට ලක්ව ඇති බවයි.

මගේ මුණුබුරා කාටවත් වැරදක් කරලා නැහැ මහත්තයෝ….කුරා කූඹියෙකුටවත් වරදක් නෑ. අපි යන්න ඕනෑ ගමනක් පුතා ගිහින්. අපි ආච්චිලා. අපියි දැන් මැරෙන්න ඕනේ. කඩේ බඩු දුන්න නිසා පුතාටත් වෙඩි තියලා අපිට හිටපු එකම දරුවා. මෙහෙම දෙයක් වෙයි කියලා අපි කවදාකවත් හිතුවේ‘’ නැහැ යැයිද කඳුළු සලමින් ඇය කියා සිටියාය.

හේමන්ත රන්දුණු, ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරන්න, ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, පැලවත්ත – චන්දන සමන් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment