අලි-ඇතුන් ගැවසෙන කලා වැව අද්දර… වසර 30ක් දූ-දරුවන්ට සෙවණ දෙන ෆුල්ඩා වන උයනේ සෙනෙහසේ නවාතැන

වැව් බැඳි රටේ කැකිරාවට නුදුරු කලාවැවේ අසිරිය විඳ එහි දින කිහිපයක් ගතකරනු සඳහා ගිය ගමනේ අපූරු අත්දැකීම් එකින් එක ලිහන්නට කාලයයි මේ. ඒ අනුව පසුගිය සතියේ අප කතා කළේ කලාවැව පෙනෙන මානයේ නන්දනගේ එළවළු කොටුවේ (හේනේ) ගත කළ රාත්‍රියේ අත්දැකීම් ගැනය. සැබැවින්ම එදින රාත්‍රියේදී නන්දනගේ එළවළු හේනට නැතත්, අවට හේන් කිහිපයකට කඩා වැදුණු වන අලි රංචුවක කලබගෑනියකට මුහුණ දෙන්නට ද අපිට සිදුවිය. අවට හේන්කරුවන්ගේ එකමුතුකම වන්නටම වන අලි සියයකට ආසන්න රංචුවක් නැවත වනයට පලවා හරින්නට එදින රාත්‍රියේ හේන් රකිමින් සිටි පිරිස් පියවර ගත්හ. එනිසාම වන්නට හේනේ රාත්‍රිය සුන්දර වූ අතර, පහසුකම් නැති වාඩියේ නොසිට රාත්‍රී ආහාරයෙන් පසු මධ්‍යම රාත්‍රියේදීම කැකිරාවේ නගරයේ අපට වෙන් කරන ලද නවාතැන් පොළට අප පැමිණියේ නන්දනගේ ආරක්ෂාව හා මගපෙන්වීම යටතේය.

අලි-ඇතුන් ගැවසෙන කලා වැව අද්දර… වසර 30ක් දූ-දරුවන්ට සෙවණ දෙන ෆුල්ඩා වන උයනේ සෙනෙහසේ නවාතැන
පෙරපාසල් ගුරු මඬුල්ල

කලාවැවේ ගමන සැලසුම් කරගන්නට “සංචාරේ” අපේ කණ්ඩායමට පළමු ආරාධනාව ලැබුණේ කවදත් සංචාරේ කණ්ඩායම සමග දිවයිනේ කොතැනක හෝ සිදුකරන සංචාරයක් සඳහා තම නිබඳ කැපවීම ලබාදෙන අපගේ සුන්දර මිතුරා ජයන්ත විජේසිංහ විසින් බව පෙර අපි කීවෙමු. අමතරව කැකිරාවට නුදුරු තිබ්බටුවැව-ඔලොම්බෑවේ පිහිටි “ෆුල්ඩා” පෙර පාසල් සමූහයේ විදුහල්පතිනිය රේණුකා කුමුදුනී රත්නායක විසින් ද අපට ආරාධනාවක් කරනු ලැබුවේ ඇය විදුහල්පති ධුරය දරන “ෆුල්ඩා” පෙර පාසල් ජාලය අයත් “ෆුල්ඩා ශිෂ්‍ය සංවිධානයේ” 30 වැනි සංවත්සරික උත්සවය ද මේ දිනවලටම යෙදෙන බැවින් ඒ සඳහා ද සහභාගි වන ලෙස ඉල්ලමින් බවද අපි කීවෙමු. එම සංවිධානයේ පෙර පාසල් සමූහය ද පිහිටා ඇත්තේ කලාවැව ඉස්මත්තේම සුන්දර කොදෙව්වක බැවින් කලාවැවට යන ගමනේදී දඹුලුත් ගොසින් තලගොයිනුත් (තල ගොවීනුත්) මරාගෙන (අඩු මිලට තල මිලදීගෙන) එන්නට හැකි නිසා කැකිරාවේ ගමනට අප කැමැත්ත පළ කළේ එක දවසක් “ෆුල්ඩා” උද්‍යානයේ ද (කලාවැවට පෙනෙන සුන්දර පෙර පාසල් සමූහය) ගතකිරීම අතිශය ගත-සිත පිනවන කාර්යයක් නිසාය. සැබැවින්ම “ෆුල්ඩා උද්‍යානය” නම් වදන අප භාවිතා කරන්නේ පෙර පාසල් පිහිටි භූමිය වර්තමානයේ ගිනි ගත් කතරක ක්ෂේම භූමියක් ව ඇති නිසාය. පෙරපාසල් ජාලයේ නිර්මාතෘ “අයිවෝ වැන්කියුලන්බර්ග්” මහතාගේ සංකල්පයක් අනුව මෙම පෙර පාසල් භූමිය පුරා මීට වසර ගණනාවකට ඉහතදී රෝපණය කරන ලද කුඹුක්, කරඳ, නා, ඇහැල, මයිල වැනි ශාක ගොන්න අද විශාලව වැඩී මෙම භූමිය ක්ෂේම භූමියක් බවට පත්කර ඇත. එනිසාම හාත්පස දැඩි හිරු රැස් දාහයෙන් දැවෙද්දී මේ භූමිය පමණක් සිසිල බෙදන තුරු උයනක් බවට පත්ව ඇත. අප “ෆුල්ඩා” උද්‍යානයට කැමති ඒ නිසාය.

අලි-ඇතුන් ගැවසෙන කලා වැව අද්දර… වසර 30ක් දූ-දරුවන්ට සෙවණ දෙන ෆුල්ඩා වන උයනේ සෙනෙහසේ නවාතැන
ජයන්ත

“ෆුල්ඩා” යනු ජර්මනියේ ඇති නගරයකි. මෙම පෙර පාසල් සමූහයේ සමාරම්භකයා වන පෙර අප කිවූ සාඩම්බර ශ්‍රී ලාංකිකයා අයිවෝ දැන් පදිංචිව සිටින්නේ මෙම ෆුල්ඩා නගරයේය. ඒ ඔහු ජර්මනියෙන් පෙළවහක් කරගෙන ඇති නිසාය. එසේ හෙයින් ඔහුගේ නෑයෝ දැන් ඉන්නේ “ෆුල්ඩා” නගරයේය. එනම් දැන් අයිවෝ ට ජර්මනියේ (ෆුල්ඩා නගරයේ) පුරවැසිභාවය ඇත. මීට වසර 30 කට පෙර අද වැනි මාසයක අප මේ ඉන්නා තැනට නුදුරුව හරිම අපූරු සිදුවීමක් සිදුවිය. එවක අයිවෝ පදිංචිව සිටියේ කැලණියේ තම මහ ගෙදරය. එවක සංචාරක මගපෙන්වීමේ රැකියාවක නියුතු වූ ඔහු සංචාරක ආයතනයකට පැමිණි ජර්මන් සංචාරක පිරිසක් රැගෙන බස් රථයකින් මහනුවර පැත්තේ සිට අනුරාධපුර පැත්තට සංචාරයක නිරතව සිටියහ. ඒ යන අතරමගදී එම සංචාරක පිරිස් ලංකාවට රැගෙන විත් තිබුණු රෙදි-පිළි, ආභරණ, සෙල්ලම් බඩු, පාසල් උපකරණ යනාදිය සහිත බහාලුමක් අයිවෝ අතට පත්කළේ යන අතරමග දුප්පත් දරුවන්ට බෙදා දෙන ලෙස ඉල්ලමිනි. මෙම බඩු බාහිරාදිය දෙන්නට කෙනකු බලමින් යන අතර අයිවෝගේ නෙත ගැටුණේ කැකිරාවට නුදුරු සඳගල්පායේ පාර අභියස දහම් පාසලකි. බස් රථය නවතා බහාලුම දහම් පාසල අයත් සඳගල්පාය විහාරාධිපති ඔළොම්බෑවේ රතනපාල හිමියන්ට භාර කළ අයිවෝ තමන්ගේ ලිපිනය දී මෙම බඩු බාහිරාදිය දුප්පත් පවුල්වලට බෙදා ලෙස කියා නැවත බස් රථයට නැංගේය. දින සති මාස ගණන් ගෙවී ගොස් එක්තරා දිනයක අයිවෝට සවිස්තරාත්මක ලිපියක් ලැබිණි. කැලණියේ ලිපිනයට ලැබුණු එම ලිපිය ඒවා තිබුණේ පෙර කී රතනපාල හිමියන් විසිනි.

එහි සඳහන් වූයේ ජර්මන් සංචාරකයින් විසින් ලබාදුන් සියලු බඩු බාහිරාදිය ප්‍රදේශයේ දුප්පත් පවුල්වලට ලබාදුන් පැහැදිලි සවිස්තරාත්මක තොරතුරු එකතුවකි. එය දැක අයිවෝගේ සිත පැහැදිනි. බොහෝ මිනිසුන් තවත් මිනිසුන් මොනවට රවටන රටක තමන්ට පැවරුණු කටයුත්තක් ඉතා අවංකව සිදුකරන ලද රතනපාල හිමි ගැන අයිවෝ මහත්සේ පැහැදුනේය. එම තොරතුරු ඔහු ජර්මන් සංචාරක කණ්ඩායමට ද යැව්වේය. ඉන් අනතුරුව ජර්මන් ආධාර යටතේ සුළුවෙන් හෝ යමක් කැකිරාවේ පටන් ගන්නට අයිවෝ කල්පනා කළේය. එන එන නොහොත් තමන් ගෙන යන සෑම ජර්මන් නඩයකින්ම පාහේ ලැබෙන ආධාර ඉන්පසු නොකඩවා ප්‍රදේශයේ අසරණ පවුල්වලට, දූදරුවන්ට ලැබිණි. අනතුරුව ක්‍රමයෙන් කලාවැව අද්දර සුන්දර තිබ්බටුවැව-ඔලොම්බෑවේ “ෆුල්ඩා” පෙර පාසල් සමූහය බිහිකිරීම දක්වා ඒ ආධාර වැඩපිළිවෙළ දුරදිග ගියේය. එහි වඩාත්ම සුන්දර හා වටිනා කාරණය වන්නේ එදා වසර 30 කට පෙර අයිවෝ ලබා දුන් ආධාර මගින් පටන්ගත් පෙරපාසලේ මුල්ම ගුරුතුමිය වසර 30 කට පසුත් “ෆුල්ඩා” පෙර පාසල් ජාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් හා “ෆුල්ඩා” උද්‍යාන පරිශ්‍රයේ භාරකාරීත්වය දරමින් මෙවර අගනා සාංවත්සරික උළෙලක් සංවිධානය කිරීමය. ඇය රේණුකා කුමුදුනී රත්නායක ය.

අලි-ඇතුන් ගැවසෙන කලා වැව අද්දර… වසර 30ක් දූ-දරුවන්ට සෙවණ දෙන ෆුල්ඩා වන උයනේ සෙනෙහසේ නවාතැන

ෆුල්ඩා ආධාර යටතේ මේ වන විට රටේ පෙරපාසල් 06 ක් ක්‍රියාත්මක වේ. කැකිරාවේ පමණක් ඉන් පෙර පාසල් 04 ක් ඇත. ඒ ඔලොම්බෑව, සඳගල්පාය, ඉළුකේගම, බුදුගේකන්ද ලෙසිනි. දෙහිඅත්තකණ්ඩිය හා ත්‍රිකුණාමලයේ තවත් දෙකක් ඇත. මෙම පෙරපාසල් සමූහයේ වාර්ෂිකව දරුවන් 360 ක් පමණ නොමිලේ අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ට නිල ඇඳුම් සහ පොත් පත්, සපත්තු යනාදිය ද නොමිලේම ලබාදෙයි. වසරකට දරුවන් 200 ක් පෙර පාසල්වලින් ඉවත්ව යන අතර, අලුතින් තවත් 200 ක් වාර්ෂිකව ඊට එකතු වේ. ඉගැන්වීම සඳහා “ෆුල්ඩා” පදනමෙන් වැටුප් ලබන ගුරුවරියන් 30 දෙනකු සේවයේ යොදවා ඇත. එබැවින් සැබැවින්ම මෙය මහත් සමාජ සද් කාර්යයක් වන අතර, රටට විදෙස් විනිමය ලැබෙන කටයුත්තක් ද වේ.

අලි-ඇතුන් ගැවසෙන කලා වැව අද්දර… වසර 30ක් දූ-දරුවන්ට සෙවණ දෙන ෆුල්ඩා වන උයනේ සෙනෙහසේ නවාතැන

ගෙවී ගිය මාර්තු 17 වැනි ඉරිදාට මෙම “ෆුල්ඩා” පෙරපාසල් සමූහය ආරම්භ කර වසර 30 ක් සපිරීම නිමිත්තෙන් මෙසේ උත්සවය සංවිධානය කර තිබුණේ “ෆුල්ඩා” ශිෂ්‍ය සංවිධානයේ නිර්මාතෘ අයිවෝ වැන්කියුලන්බර්ග් මහතා ප්‍රමුඛ ඊට ආධාර සපයන ජර්මනියේ සිට පැමිණි ජර්මන් ජාතික මිතුරු-මිතුරියන් පිරිසකගේ සහභාගිත්වයෙනි. ජර්මන් ජාතික සියල්ලෝම එදින මෙම උත්සවයට පැමිණියේ සිංහල ඇඳුමින් සැරසී වීමද විශේෂත්වයකි. පිරිමි සියලු දෙනා බතික් කමිස හා සරම් වලින්ද, කාන්තාවන් සාරි-හැට්ටවලින්ද සැරසී මෙහි පැමිණීම අතිශය චමත්කාරජනක දසුනක් විය. එසේ පැමිණි ආරාධිත පිරිස් පෙර පාසල් දරුවන් හා පෙරපාසල් ගුරුතුමියන් විසින් සාඩම්බරයෙන් පිළිගන්නා ලදී.

පසුදා උදෑසන ෆුල්ඩා උද්‍යානය (පෙර පාසල් සංකීර්ණය) වෙත අප ළඟාවූ අතර, කලාවැව අසබඩ පිහිටි මෙම ස්ථානයත් පෙරදා අප සිටි නන්දනගේ හේනත් අතර ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුර ප්‍රමාණයක් නිසා පෙරදා විඳි අත්දැකීමට සමාන පාරිසරික අත්දැකීමක් අපට මෙහි සිටද විඳිය හැකි විය. මේ සඳහා ද අප කණ්ඩායම නියෝජනය කරමින් ජයන්ත විජේසිංහ, මහාචාර්ය ප්‍රියන්ත යාපා, කීර්ති අමරසේකර, ශ්‍රීලාල් නානායක්කාර, මාධ්‍යවේදීන් වන කාංචන, මහින්ද සහ මා ඇතුළු අපගේ “සංචාරේ” කණ්ඩායම ද ඊට ඇතුළත් වූහ. අයිවෝ සමග ජර්මනියේ සිට පැමිණ සිටි පිරිස 30 ක් පමණ වූහ.

අලි-ඇතුන් ගැවසෙන කලා වැව අද්දර… වසර 30ක් දූ-දරුවන්ට සෙවණ දෙන ෆුල්ඩා වන උයනේ සෙනෙහසේ නවාතැන

මේ සියලු පිරිස සමග පෙරවරුවේ සිට දහවල දක්වා “ෆුල්ඩා” දරුවන් ඉදිරිපත් කරන ලද අගනා සංස්කෘතික සංදර්ශනයක මිහිර විඳින්නට පැමිණ සිටි දෙමව්පියන්, අමුත්තන්, ආගන්තුකයින් ඇතුළු හැමටම අවස්ථාව ලැබිණි. “ෆුල්ඩා” වත්මන් දරුවන් සහ පෙර පාසල් අධ්‍යාපනය නිමා කර, එහෙත් උසස් අධ්‍යාපනය හා කලා අධ්‍යාපනය ලබන දරුවන් ඉදිරිපත් කරන ලද ප්‍රාසාංගික මිහිර විඳිමින් ජර්මන් ජාතික සොයුරු-සොයුරියන් අපමණ වින්දනයක් ලබන අයුරු අපි බලා සිටියෙමු. අප මේ සෞන්දර්යාත්මක අත්දැකීම විඳගත්තේ “ෆුල්ඩා” උද්‍යානයේ රුක් ගොමුවේ සිහිල හා සෙවණ තුළ සිටය. එසේම කලාවැව පිස එන මඳ සුළඟ, විඳිමින් හා ඈතින් පෙනෙන කලාවැවේ සුන්දර දසුන් දෙස අපගේ නෙත් යොමුකරමිනි.

එවන් සුන්දර අත්දැකීමක් විඳගැනීමෙන් අනතුරුව නැවත කලාවැවේ අසිරිය හා එහි හස්ති කැලගේ අපූරුව විඳින්නට නැවත කලාවැව ජාතික උද්‍යානය බලා අපි එදින සන්ධ්‍යාවේ ගමන් කළෙමු.

අලි-ඇතුන් ගැවසෙන කලා වැව අද්දර… වසර 30ක් දූ-දරුවන්ට සෙවණ දෙන ෆුල්ඩා වන උයනේ සෙනෙහසේ නවාතැන

සැරිසර – ජගත් කණහැරආරච්චි
කැමරාව – කීර්ති අමරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment