සුබසාධක ප්‍රතිලාභ දෙන්න සමෘද්ධිය වෙනුවට අස්වැසුම එයි

6398

අතීතයේ සිටම අප රටේ බොහෝ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක වී ඇත. ජනසවිය සහ සමෘද්ධිය මේ අතරින් ප්‍රධානම වැඩසටහන් දෙකකි. දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ දිළිඳුකම පිටු දැකීමට වුවත් මේ බොහෝ වැඩසටහන්වල ප්‍රතිලාභීන් නිසි ලෙස තෝරා නොගැනීම නිසා ඒවායේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටුවී නැත. එනම් සහන ලැබිය යුතු අය වෙනුවට දේශපාලන හිතවත්කම් මත සහන ලැබීමට නුසුදුස්සන් ද මේ වැඩසටහන්වලට ඇතුළත්ව ප්‍රතිලාභ ලැබීමයි. දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් සඳහා වැය කරන්නේ බදු ගෙවන ජනයාගේ බදු මුදල්ය. එසේ නම් දිළිඳුකම පිටුදැකීමේ නාමයෙන් මෙවැනි දේ වන විට සිදු වන්නේ රටේ බදු ගෙවන ජනයාගේ මුදල් නාස්ති වීමයි. මේ අඩුපාඩු

ගැන කෙතරම් පෙන්වා දී තිබුණත් දේශපාලනීකරණය නිසාම මේ තත්ත්වය නිසි පරිදි නිවැරදි නොවූ බව අපගේ අත්දැකීමයි. දැන් මේ තත්ත්වයන් බොහෝ දුරට නිවැරදි කර ගන්නට රජයට හොඳ අවස්ථාවක් ලැබී ඇත. එනම් දැනට ක්‍රියාත්මක වන සියලු සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් වෙනුවට අස්වැසුම වැඩසටහන යටතේ අලුතින් ප්‍රතිලාභීන් හඳුනාගෙන සහන සැලසීමට සැලසුම් කර තිබීමයි.

● සුබසාධක ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ පියවර

මේ වැඩසටහන යටතේ සුබසාධක ප්‍රතිලාභ ලැබීම පිණිස සුදුසු තැනැත්තන් හෝ පවුල් හඳුනාගැනීම සඳහා මෙතෙක් අනුගමනය කළ ක්‍රියාවලියක් තිබේ. ඒ පිළිබඳ පසුබිම මුලින්ම හඳුනාගෙන සිටීම ඉතා වැදගත්ය. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියන පරිදි එම විස්තර අපි මෙසේ සටහන් කරමු මේ අනුව 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 7(1) ව ගන්තිය අනුව 2022.08.30 දින පුවත්පත් දැන්වීමක් පළ කර සුබසාධක ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසු තැනැත්තන් හෝ පවුල් හඳුනා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවනු ලැබීය. ඒ අනුව රජයේ සුබ සාධක ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මූලික වශයෙන් අයැදුම්පත් 3,744,493 ක් ලැබී ඇත. අයැදුම් කළ සියලු දෙනා සඳහා කිව්ආර් (QR) කේතයක් පද්ධතිය මගින් නිකුත් කර ඇත.

වැඩසටහනේ දෙවන අදියර වූයේ ගෘහ ඒකක වෙත ගොස් අයැදුම්කරුවන්ගේ දත්ත “අස්වැසුම” ජංගම යෙදවුම් මෘදුකාංගය මගින් සංගණනය කිරීමයි. ඒ අනුව මේ වන විට පවුල් සහ තැනැත්තන් 3,393,865 ක දත්ත සංගණනයට සහභාගි වී ඇත. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2022 ඔක්තෝබර් 20 දින අංක 2302/23 – දරන ගැසට් නිවේදනයෙන් තෝරාගැනීමේ ප්‍රධාන මානයන් සහ දර්ශක 22 ක් අනුව සෑම පවුලකට සහ තැනැත්තෙකුට ලකුණු ලබා දීමේ බහුමාන ක්‍රමයක් ද හඳුන්වා දෙනු ලැබීය.

තුන්වන අදියර වන්නේ සංගණන තොරතුරු තේරීම් කමිටුව සහ ප්‍රාදේශීය ලේකම් විසින් නැවත පරීක්ෂා කර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයට අනුමැතිය ලබාදීමයි. ඒ අනුව 3,343,110ක අයදුම්කරුවන් මෙම අදියර අවසන් කර ඇත. 2023/04/21 දින අංක 2328 / 13 දරන රජයේ ගැසට් නිවේදනයෙන් “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය එම මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු ලෙස කණ්ඩායම් 4 ක් යටතේ “අස්වැසුම” දීමනා ලබා දීමට නියමිතය.

● අස්වැසුම සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය

2022 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 9 වන වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති “අස්වැසුම” සුබසාධක යෝජනා ක්‍රමය යටතේ 2022 වර්ෂයේ ආරම්භ කළ වැඩසටහන මගින් සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම් සඳහා සුදුසුකම් ලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නම් ලැයිස්තුව පසුගිය ජුනි 20 දින සිට ප්‍රසිද්ධ කරනු ලැබ ඇත. මෙය ප්‍රසිද්ධියට පත් කිරීම වැඩබලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එදින මුදල් අමාත්‍යාංශයේ දී සිදු විය. ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ (www.wbb.gov.lk) ඇති “අස්වැසුම” සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය දැන් කාටත් දැකබලා ගැනීමට හැකිය. එය දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් දැන් ප්‍රසිද්ධියට පත්ව ඇත. එමෙන්ම එහි සඳහන් සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ගම් මට්ටමින් ඇති අනෙකුත් රජයේ කාර්යාලවල ද ප්‍රදර්ශනය කරනු ලබන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ පවසයි.

● විරෝධතා හෝ හිමිකම්පෑම්

සුබසාධක ප්‍රතිලාභ පනතේ 11 (1) වගන්තිය අනුව සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ ඇතුළත් නම්වලට විරෝධතා හෝ හිමිකම්පෑම් (අභියාචනා) කැඳවීමට ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව තමන් සුදුස්සෙක් නොවීම පිළිබඳ අතෘප්තියට පත් තැනැත්තන්ට හිමිකම්පෑමක් (අභියාචනාවක්) ඉදිරිපත් කළ හැකිය. එසේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුරවැසියන්ට නුසුදුසු අයෙක් මේ නාම ලේඛනයට ඇතුළත්ව ඇතැයි සිතන්නේ නම් තම විරෝධතා ද ඒ සඳහා ගොනු කළ හැක.

තොරතුරු සංගණනයට භාජන වූ සියලුම ඉල්ලුම්කරුවන්ට තමා ලබාදුන් තොරතුරු සහ එහි නිවැරදිභාවය www.wbb.gov.lk යන වෙබ් ලිපිනයට පිවිස “අයදුම්කරුවන්ගේ සංගණන තොරතුරු 2022” මෙනුවට පිවිස ඒවා නැවත පරීක්ෂා කර බැලිය හැක. එම තොරතුරුවල වැරැද්දක් හෝ වෙනස්කමක් තිබේ නම් ඒ අනුව සිය හිමිකම්පෑම් (අභියාචනා) ඉදිරිපත් කළ හැකි වේ. එසේම සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ ඇතුළත් තැනැත්තෙකු විසින් සපයා ඇති තොරතුරුවල අසත්‍යතාවන් පවතින බව නිරීක්ෂණය කරනු ලබන ඕනෑම තැනැත්තෙකුට සිය විරෝධතාව දැක්විය හැකිය.

● හිමිකම් පෑම්

මෙම වැඩසටහන සඳහා මූලික අයැදුම්පතක් ඉදිරිපත් කර තොරතුරු සංගණනයට භාජන වූ එහෙත් එම සංගණනයේදී ලබා දී ඇති තොරතුරුවල වැරැද්දක් හෝ වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ තම නම සඳහන් වී නොමැති ඉල්ලුම්කරුවන්ට සහ වැඩසටහන සඳහා මූලික අයැදුම්පතක් ලබාදුන් නමුත් තම නිවසට සංගණන නිලධාරියෙකු පැමිණ නැති අවස්ථාවක් වේ නම් හෝ සිය දත්ත තොරතුරු පද්ධතියට ඇතුළත් වී නොමැති නම් එවන් ඉල්ලුම්කරුවන්ටද හිමිකම්පෑමක් (අභියාචනා) කිරීමට හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

● විරෝධතා හෝ හිමිකම්පෑම් ඉදිරිපත් කිරීම

විරෝධතා හෝ හිමිකම්පෑම් ඉදිරිපත් කිරීමට දින දහයක කාලයක් ලබා දී ඇත. එනම් 2023 ජූනි 30 දිනට පෙර එය සිදු කළ යුතුය. පහත සඳහන් කුමන හෝ ආකාරයකින් විරෝධතා හෝ හිමිකම්පෑම් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

■ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ www.wbb.gov.lk වෙබ් අඩවියට ඇතුළත් “විරෝධතා/අභියාචනා භාරගැනීම” පෝරමයට පිවිසෙන්න. ඉන්පසු දැන්වීමේ සඳහන් ආදර්ශ අයැදුම්පතට සමාන ඉලෙක්ට්‍රොනික අයැදුම්පතට ඔබගේ ඉල්ලීම ඇතුළත් කරන්න.

■ ඔබගේ විරෝධතා/හිමිකම්පෑම් (අභියාචනා) ආදර්ශ අයැදුම්පතට අනුව සකස් කර ඔබ පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
ගෙනවිත් බාරදෙන්න.

■ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ 1924 ක්ෂණික ඇමතුම් අංකය අමතා ඔබගේ විරෝධතා/හිමිකම්පෑම් (අභියාචනා) ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ලබා ගත හැකිය.

● අභියාචනා පරීක්ෂා කරන ආකාරය

මෙසේ යම් අයෙක් විරෝධතාවක් හෝ අභියාචනයක් ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය මෙසේ විස්තර කළ හැකිය. සුබසාධක ප්‍රතිලාභ පනතේ 12(1) වගන්තිය අනුව ලැබෙන විරෝධතා සහ අභියාචනා විමර්ශනය කිරීම සඳහා අභියාචනා කමිටු පත්කළ යුතුය. අභියාචනා කමිටුවේ සාමාජිකයන් ගණන 5 ක් වන අතර අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැර වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ප්‍රාදේශීය ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රජයේ නිලධාරීන් දෙදෙනකු, අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාජ සුබසාධක කටයුතුවල සක්‍රියව නිරත වන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් දෙදෙනකුගෙන් අභියාචනා කමිටුව සකස් වේ. අභියාචනා කමිටුව දත්ත පද්ධතිය ආශ්‍රයෙන් ලැබී ඇති විරෝධතා හෝ අභියාචනා විමර්ශනය කර දින 30 ක් ඇතුළත විරෝධතාකරුට හෝ අභියාචනාකරුට පිළිතුරක් ලබාදිය යුතුය. මේ ආකාරයට විරෝධතා හෝ අභියාචනා විමර්ශනය කිරීමෙන් පසු අදාළ ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය තවදුරටත් යාවත්කාලීන වනු ඇතැයි සිතිය හැකිය. වඩාත්ම වැදගත් වන්නේ සැබෑ ලෙසම ප්‍රතිලාභ හිමිවිය යුතු කිසිවෙක් අත්නොහැරෙන පරිදි නිවැරදි ප්‍රතිලාභීන්ට මේ සහනය ලබා දීමයි. එසේම නුසුදුස්සන් මේ සඳහා ඇතුළත් නොවන බවට වගබලා ගැනීමයි.

● අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ජුලි මාසයේ

ප්‍රතිලාභී නාමලේඛනය ගැන විරෝධතා හෝ අභියාචනා විමර්ශනය කර අවසන් ප්‍රතිලාභී ලැයිස්තුව නිර්ණය කළ පසු තිබෙන්නේ ඒ අයට ප්‍රතිලාභ මුදල් ගෙවීමයි. එය ජුලි මාසයේ දී සිදුවෙන බව වැඩබලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන ජුලි මාසයේ දී ගෙවීමට රජය දැන් කටයුතු කරමින් සිටී. මෙම අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා අයැදුම්පත් කැඳවා ලැබුණු ලක්ෂ 37 කට අධික අයැදුම්පත් අතරින් අවසානයේ මිලියන 2.3 ක පිරිසක් (ප්‍රතිලාභී පවුල් සහ තැනැත්තන්) සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වශයෙන් මේ වන විට තෝරාගෙන ඇත. සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය වශයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ මෙම ප්‍රමාණයයි. කලින් සඳහන් කළ පරිදි අවශ්‍ය කරන්නේ වඩාත්ම සුදුසු නිවැරදි පිරිසකට පමණක් මෙම සුබසාධක ප්‍රතිලාභ ලබා දීමයි. එසේ නැතහොත් වන්නේ මුදල් නාස්තියක් මෙන්ම මෙම සහන ලබා දීමේ අරමුණ ද ඉටු නොවීමකි. මේ ගැන අපට අතීත අත්දැකීම් ඕනෑ තරම් තිබේ. එම වැරදි හැකි උපරිම මට්ටමක් දක්වා අවම කර ගැනීම මේ නව වැඩසටහන යටතේ සිදු කිරීමට බලධාරීන් වගබලා ගැනීම ඉතා වැදගත්ය. හේතුව නම් මේ මොහොතේ රට තිබෙන්නේ ඉතාම තීරණාත්මක අවස්ථාවක වීමයි. දැන් අප සිටින්නේ බංකොලොත් වී ඉන් ක්‍රමයෙන් නැගී සිටීමට වෙර දරන මොහොතකය. රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ තවත් අලුතින් සැලකිය යුතු පිරිසක් දුප්පත්කමට ඇදවැටී ඇති බව ද රහසක් නොවේ. මේ නිසා වෙනදාට වඩා වැඩි පිරිසකට මේ සහන සැලසීම කිරීමට ද සිදුව ඇත. අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසා එහි සඳහන් කොන්දේසි අනුව ඉටු කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී දිළිඳු සහ අවදානමට ලක්වෙන පිරිස් තවත් බලපෑමට ලක් වෙන බව ද අපි දනිමු. මේ නිසාම එවැනි අය ඉලක්ක කරගෙන සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පවසා තිබේ. මේ දෙස එම අරමුදල ද බලා සිටින නිසා අන් කවරදාකටත් වඩා නිවැරදිව ප්‍රතිලාභීන් තේරීමේ කටයුත්ත සිදු කළ යුතුව ද තිබේ.

● ඇස්තමේන්තුගත වියදම බිලියන 208 ක්

නිවැරදි ප්‍රතිලාභීන් හඳුනා ගැනීමෙන් පසු තිබෙන්නේ ඒ අයට එම සහන මුදල් ලබා දීමයි. එය සිදු වන්නේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමක් හරහාය. ඒ අනුව මේ ප්‍රතිලාභීන් ලක්ෂ 23 දෙනාට රුපියල් බිලියන 208 ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ වශයෙන් ගෙවීමට ඇස්තමේන්තු කර ඇත. එම මුදල් කෙළින්ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම ජුලි මාසය තුළ සිදු කෙරෙන බව වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මෙම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කරන අවස්ථාවට එක්වෙමින් කීවේය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති මෙම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට සහන මුදල බැර කිරීම සෘජුවම සිදු කිරීමට නියමිතය. ආධාර දීමට අමතරව අවශ්‍ය කරන්නේ ඒ අය දිළිඳුකමින් මුදා ගෙන ඔවුන් සවිබල ගැන්වීමයි. එනම් දිළිඳුකමින් ඒ පිරිස මුදා ගැනීමයි. එනම් රටක දිළිඳු ජනකොටසින් පිරිසක් සවිබල ගැන්වී ඉන් ඉවත්ව යන විට අලුතින් පිරිසක් දිළිඳුභාවයට ඇද වැටීම ද සිදු වේ. ඒ නිසා සැමදාම එකම පිරිසකට සුබසාධක ප්‍රතිලාභ ලබා දීමෙන් ඵලක් නැත. එනම් මේ කියන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී ලැයිස්තුව නිරන්තරයෙන් යාවත්කාලීන වීම අවශ්‍ය කෙරේ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ මේ නාමලේඛනය වසරක් පාසා යාවත්කාලීන කරන බවයි. එය සුදුසු දෙයකි.

මේ සුබසාධක ගෙවීම් ගැන විස්තර ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ දී පසුගිය ජුනි 20 වැනිදා දවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ මේ ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරෙන බවයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ද ශෙහාන් සේමසිංහ ඇමැතිවරයා සඳහන් කළේය. මේ අනුව ඉදිරියට මේ ප්‍රතිලාභ මුදල් ගෙවන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් මිස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් නොවේ. එසේම මින් ඉදිරියට ඇත්තේ අස්වැසුම ප්‍රතිලාභ මිස සමෘද්ධි ප්‍රතිලාභ නොවේ. රජය පවසන පරිදි පෙර සිටි සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් තෝරාගත් සුදුසු ප්‍රතිලාභීන් මෙම නව වැඩසටහනට ද ඇතුළත් වනු ඇත. එසේම එහි නුසුදුසු ප්‍රතිලාභීන් සිටියේ නම් ඒ අය ඉවත් වීම ද සිදුවනු ඇති බව සඳහන් කළ හැකිය. එය සිදුවිය යුතු දෙයකි. දිළිඳුකම පිටු දැකීමේ නාමයෙන් නුසුදුසු අයට ප්‍රතිලාභ ලබා දීම නොකළ යුතුව තිබේ. එසේම සහන ලබාදෙන අය පවා පිළිගත හැකි සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක් මගින් සවිබල ගන්වා ඔවුන් වැඩසටහනින් ඉවත් කිරීම ද අවශ්‍ය වේ. මේ දෙය නිවැරදිව සිදු වන්නේ නම් වසරක් පාසා සහන සැලසිය යුතු වඩා නිවැරදිම කණ්ඩායම තෝරා ගැනීම මෙහිදී සිදුවේ. මේ හරහා දිළිඳුකම පිටු දැකීමේ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණ වඩාත්ම සාර්ථකව සිදුවනු ඇති බව කිව හැකිය.

● කර්මාන්ත ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්ව වර්ධනය

මේ අතර ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය – 2023 පසුගිය ජුනි 22 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය එදින සිට ජුනි 25 දින එනම් අද දින දක්වා පැවැත්වේ. මෙය දෙස් විදෙස් ගැනුම්කරුවන් සහ ආයෝජකයන් මුණගැසෙන වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනයයි. මෙවැනි කර්මාන්ත සහ ව්‍යවසායකත්වය දිරිගැන්වෙන කටයුතු මෙවැනි ආර්ථිකය වැටී ඇති අවස්ථාවක ආර්ථිකය යළි පණ ගන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. නිදහසෙන් පසු අති දුෂ්කරම කාලය අප මේ වන විට පසුකර ඇත. තවමත් අප ගත කරමින් සිටින්නේ ද දුෂ්කර කාලයක් බව ඇත්තය. එහෙත් අප පසුකළ පසුගිය දුෂ්කරම කාලයට සාපේක්ෂව මේ වන විට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට රට පැමිණ ඇති බව රහසක් නොවේ. පසුගිය අර්බුද කාලයේ අතිමහත් බහුතර ජනයාට අමතරව මේ රටේ ව්‍යාපාරිකයා සහ කර්මාන්ත හිමියා ද දහසකුත් එකක් ප්‍රශ්නවලට මුහුණ දුන් බව අපි කවුරුත් දනිමු. අපනයන කර්මාන්තවලට අමුද්‍රව්‍ය ප්‍රශ්න මෙන්ම ප්‍රවාහන ගැටලු නිසා කලට වෙලාවට සිය ඇණවුම් ලබා දීම ද දුෂ්කර තත්ත්වයට පත් විය. මේ නිසා කම්හල්වලට උපරිම ධාරිතාවයෙන් වැඩ කිරීමට අපහසු තත්ත්වයක් ද උද්ගත විය. මෙය එම ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවට ද අහිතකර ලෙස බලපාන ලද කරුණක් විය. මේ පසුබිම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර බොහොමයක් වැසී ගොස් ලක්ෂ ගණනකට රැකියා අවස්ථා ද අහිමි වී ගියේය. මේ අතර තවත් කර්මාන්ත සහ ව්‍යාපාර බොහොමයක් එම දුෂ්කර කාලයේ එම ප්‍රශ්නවලට අමාරුවෙන් නමුත් මුහුණ දෙමින් එම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය බව සහ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඇති කළ බව ද අප මතක් කළ යුතුමය. තවමත් එම ආයතන රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පවත්වාගෙන යන්නේ අමාරුවෙන් විය හැකිය. මේ නිසා මෙය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය පණ ගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු මොහොතක් බව අප කියන්නේ මේ නිසාය. අභියෝග තිබුණත් සුබ ලකුණ ද නැතුවා නොවේ.

අප මේ වන විට කිසියම් ආර්ථික ස්ථාවර බවකට පැමිණ සිටියත් අප තවමත් සිටින්නේ ඍණ ආර්ථිකයක ය. බොහෝ විට ලබන වසරේ (2024) සිට සුළු වශයෙන් හෝ ධන ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට ඉඩහසර සැලසෙනු ඇත. ඒ සඳහා උද්ධමනය සහ පොලී අනුපාත අඩු වෙමින් යහපත් පරිසරයක් ක්‍රමයෙන් නිර්මාණය වෙමින් තිබේ. ඇමෙරිකානු ඩොලරය සහ රුපියල අතර විනිමය අනුපාතය ද කිසියම් ස්ථාවරත්වයකට පත්ව ඇත. රුපියල මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 20 ක පමණ ශක්තිමත් වීමක් ද සිදුව ඇත. ආර්ථික ක්‍රියාකාරිත්වය පණ ගැන්වීම සඳහා පවතින අභියෝග සමනය කර ගැනීමට අවශ්‍ය සහාය රජය සහ රාජ්‍ය ආයතන විසින් ව්‍යාපාර සහ කර්මාන්තකරුවන්ට ලබාදිය යුතුව තිබේ. ඉකුත් ජුනි 22 දින ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන ලද්දේ අභියෝගවලට මුහුණ දෙමින් කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට කාලය පැමිණ තිබෙන බවයි. ඒ අතරම අලුත් ව්‍යවසායකයන් ද රටේ බිහි කර ගැනීමට රජය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් අතහිත දීම ද අත්‍යවශ්‍ය කරුණකි. මේ පසුබිම තුළ ව්‍යවසායකයන් ශක්තිමත් කරන මෙවැනි දැවැන්ත ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයක් මේ අයුරින් පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටු විය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment