පාපන්දු පරිපාලනය ත්‍රිපුද්ගල කමිටුවකට

96

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (ෆීෆා) දැනට තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනය යළි ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

එම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති ලෙස ඒ. ජී. සී. දේශප්‍රිය මහතා ද, ලේකම් ලෙස එන්. කේ. කපුරුබණ්ඩාර මහතා ද සහ ඒ. ආර්. සී. කහඳවල මහතා භාණ්ඩාගාරික ලෙසද පත් කර තිබේ. මෙම සාමාජිකයන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීහු වෙති.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා එහි සංශෝධන අනුව 32, 33 සහ 41 වගන්ති ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පැවරී ඇති බලතල අනුව ඒ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන හා අනෙකුත් අවැසි කටයුතු සහ අදාළ නිලවරණයන් කැඳවීමට, පැවැත්වීමට අදාළව පත් කර ඇති එම කමිටුව ඊයේ (25 වැනිදා) දින සිට ක්‍රියාත්මක වේ.

අමාත්‍යවරයා ඒ සඳහා 2342/09 දරන අංකය යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද යොමු කර ඇත.

ක්‍රීඩා පනත හා එහි සංශෝධන අනුව 32, 33 හා 41 වගන්ති යටතේ අමාත්‍යවරයාට පවරා ඇති බලතල ප්‍රකාරව සහ 1974 අංක 2 දරන ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසි සහ එහි සංශෝධන යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් පහත නියෝගයන් ක්‍රියාත්මක කළ යුතු බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.

ඒ අනුව නිලවරණයෙන් පත්වන නිලධාරී මණ්ඩලයේ නිල කාලය වසර හතරක් විය යුතු බවත්, මහලේකම්/ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීම කළ යුතු බවත් 2022 සැප්තැම්බර් මස 22 දින සම්මත කරන ලද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව නව විධායක කමිටුව නිලවරණයකින් තෝරා පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත් අදාළ කමිටුවට අමාත්‍යවරයා බලය පවරා තිබේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment