මම බන්ටි තරම් කටකාර නෑ

454

සරණිගේ වෙඩින් එක හරි…. දුෂේනිගේ වෙඩින් එක අනාගතයට භාරයි
 

පාරදිගේ බන්ටි සරණි වෙලා රෙහාන් එක්ක වෙඩින් එක ගන්න බැරිවෙයි කියලා  තමයි හැමෝම හිතුවේ. මේක කඩාකප්පල් වෙයි, එහෙමත් නැත්නම් කවුරුහරි පැනලා වෙඩින් එක විනාශ කරලා දායිද කියලා බයේ හිටියේ. අන්තිමට එහෙම දෙයක් වුණේ නෑ. සරණිගේ වෙඩින් එක ජයටම අරගෙන සමාජ මාධ්‍යවල මේ දවස්වල හරි හරියට ෂෙයාර් වෙනවා. ඉතිං ඇත්තටම හැමෝම හොයන්නෙ මේ සරණිගෙ වෙඩින් එක ගැන නෙවෙයි දුෂේනි  මියුරංගිගේ වෙඩින් එක ගන්නෙ කවද්ද කියලා. ඉතිං මේ කතාව කියවන්න. සරණි වගේම දුෂේනිත් ඉක්මණින්ම වෙඩින් එකක් ගනීවි ද කියලා ඔන්න  මේ කතාබහ ඇතුළේ තියෙනවා.

● සරණිගෙ වෙඩින් එකනම් හරි ජයටම ගත්තා නේද?
මං හිතන්නේ සරණි රෙහාන් වෙඩින් එක වගේ වෙඩින් එකක් මෑත කාලයේ ප්ලෑන් කරලා මේ විදියට කරපු එකක් තියෙන්නෙ නැතුව ඇති. මට නම් ඇත්තටම දැනුනේ එදා මගේ වෙඩින් එක වගේ. ඒකට ඉතිං ඇත්තටම ඒ ලකුණු යන්න ඕනෑ අපේ චාමර සමරවික්‍රම නිෂ්පාදකවරයාට, ශිවගුරුනාදන් අධ්‍යක්ෂකවරයාට වගේම තිර රචක සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා යන තුන්දෙනාට. වෙඩින් එක ඒ විදියට සාර්ථකව කරගන්න පුළුවන් වුනේ ඒ තුන්දෙනා නිසා. ඒ වගේම නිෂ්පාදන කණ්ඩායමෙනුත් ලොකු  සහයෝගයක් තිබුණා වගේම නලින්ද උදයසිරිවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ. පාරදිගේ නාට්‍ය තුළින් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අමුතු අත්දැකීමක් ලබාදුන්නා කියලා මම හිතනවා.

● මේ දවස්වල සරණි හරි හිට්නේද?
ඒක මෙහෙමයි, ප්‍රේක්ෂකයන් ඇත්තටම ඒ චරිතයට ආදරය කළා. මං හිතන්නෙ ඒක මගේ වාසනාව. සරණිව මිනිස්සු ආදරයෙන් වැළඳ ගත්තෙ එයාගේ තියෙන ගතිගුණ එක්ක. සරණි, බන්ටි, බණ්ඩා කියන්නෙ ටෙලි නාට්‍ය තුළ ටිකක් කළු චරිත. ඒ වුණාට ඒවා සුදු චරිත විදියට මිනිස්සු  භාරගෙන තියෙනවා. මං හිතනවා සරණිව ගොඩක්ම හිට් වෙන්න ඇත්තෙ රෙහාන්ගේ ආදරෙත් එක්ක වෙන්න ඇති කියලා.

මම බන්ටි තරම් කටකාර නෑ

● දුෂේනිට සරණි ගැන මොකද හිතෙන්නෙ?
මං හරිම ආදරේ කරන චරිතයක් සහ මගේ ජීවිතේ අමතක වෙන්නෙ නැති චරිතයක්. මම හරි ආසාවෙන් සරණි බවට පත්වෙනවා. මොකද අපි වැඩි කාලයක් ගත කරන්නෙ පාරදිගේ එක්ක. ඉතිං අපි දැන් එක පවුලක් වගේ. මගේ ජීවිතේ සරණි කියන චරිතය මට වාසනාවන්ත චරිතයක් වුණා.

● සරණි කරන වැඩ දුෂේනි අනුමත කරනවද?
සරණිගේ හැම වැඩේම අනුමත කරන්නෙ නෑ. මෙහෙමයි ඉතිං අපි හැමෝගෙම ජීවිතවල ඔය වගේ පොඩි පොඩි සිදුවීම් තියෙන්න පුළුවන්. සරණි ගොඩක්ම බොරු කරන්නෙ ආදරේ වෙනුවෙන්ම විතරයි. ගොඩක් ගෑණු ළමයි ආදරේ නිසා නොකරන දෙයක් නැති තරම්. ඒ තමන්ගෙ මහත්තයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව පෙන්වන්න. ඉතිං මම ඒක අනුමත කරනවා.

● දැන් සරණිගෙ වෙඩින් එකනම් හරි, එතකොට දුෂේනිට මොකද වෙන්නෙ?
 
ඒක ගැන නම් ඇත්තටම මම දන්නෙ නෑ. ඒක මම අනාගතේට භාරදීලා ඉන්නවා.

● කට්ටිය අහනව නේද ඇයි වෙඩින් එකක් ගන්නෙ නැත්තේ කියලා?
ගොඩක් අය කියන්නෙ මේ වෙලාවේ චරිත තෝරා බේරාගෙන වැඩ කරන්න කියලා. මොකද මේ කාලය සුදුසු ඒකට කියලා. ඊට පස්සේ හොඳ සහකාරයෙක් හම්බවුණොත් විවාහ ජීවිතයක් ගැන හිතනවා.

මම බන්ටි තරම් කටකාර නෑ

● මොනවගේ කෙනෙක්ද හොයන්නෙ?
මාව හොඳින් තේරුම්ගන්න පුළුවන්, මට ආදරය කරන, නොගැළපීම් ගැළපීම් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් තමයි මම හොයන්නෙ.

● රෙහාන් වගේ කෙනෙක්ද?
එහෙම සියයට සියයක්ම නැහැ. රෙහාන් කියන චරිතය ඇතුළේ මම කැමති ගතිගුණත් තියෙනවා. ඒ වගේ පරිණත බවින් යුක්ත චරිතයකට මම හරි කැමතියි.

● ආ පස්සට හැරිලා බලද්දි ජීවිතේ පසුතැවීම් හා කලකිරීම් තියෙනවද?
සමහර දේවල් නොවුණා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඒත් එක්කම හිතෙනවා ඒ දේවල් නොවුණා නම් ජීවිතයේ ඒ දේ මං ඉගෙන ගන්න එකක් නෑ කියලා. මොකද හැම සිදුවීමක්ම අත්දැකීමක්. ජීවිතයේ එදා ඒ දේ වුණේ නැත්නම් ඊට වඩා දෙයකට මට මුහුණ දෙන්න සිද්ධවෙයි. මේ ගමන බොහොම පරිස්සමෙන් යන්න තමයි මම නිතරම උත්සහ කරන්නෙ.

● ආදරයේදී විඳවපු අවස්ථා තියෙනවද?
දෙයියනේ කියලා එහෙම ලොකුවට නම් විඳවලා නැහැ. හැබැයි සමහර ආදර කතා නම් තියෙනවා ඒවා හරියට ආරම්භ වුණෙත් නැති, නිමා වුණෙත් නැති ඒවා. එහෙම දේවල් නිසා ටිකක් දුක හිතුණා. මම හිතන්නෙ දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ අපිට ලැබෙයි කියලා. ඉතිං මට උරුමකෙනා කවදහරි මට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

● සැබෑ ජීවිතෙත් දුෂේනිට බණ්ඩා වගේ යාළුවෝ ඉන්නවද?
ඇත්තටම මගේ හොඳම යාළුවත් පිරිමි ළමයෙක්. බණ්ඩා කියල කියන්නෙ හරි පරාර්ථකාමී යාළුවෙක්. හැබැයි ඒ වගේ යාළුවෙක් නම් මට සැබෑ ජීවිතේ හම්බවෙලා නැහැ. මොකද හැමෝගෙම ඇතුළේ පොඩිහරි ආත්මාර්ථකාමීත්වයක් තියෙනවනේ. මට හරිම සුළු යාළුවෝ පිරිසක් තමයි ඉන්නෙ. ඉතිං වචනෙකින් හරි උදව් කරගෙන මගේ හැමදේම කතා කරගෙන, ඉන්න පුළුවන් යාළුවොත් ඉන්නවා.

මම බන්ටි තරම් කටකාර නෑ

● ඇත්තද මේ දුෂේනිත් බන්ටි වගේ කටකාරයි කියන්නෙ?
අනේ නැහැ. මම හරිම අඩුවෙන් කතා කරන්නෙ. හැබැයි මට ගොඩක් සමීපතම අයත් එක්ක නම් හොඳට කතා කරනවා. බන්ටි තරම් නම් කටකාර නැහැ.

● රඟපෑවේ නැත්නම් මොනවා කරයිද?
උසස් පෙළෙන් පසුව මම ගණකාධිකරණය හදාරමින් හිටියේ. පසුව රංගනයට පිවිසියා. එහෙම ආවේ නැත්නම් ගණකාධිකාරිවරියක් විදියට වැඩ කරාවි. නැතිනම් බොහෝ දුරට විදේශ ගතව ඉදීවි.

● රංගන ශිල්පිනියක් නොවුනා නම් කියලා හිතුණ අවස්ථා තියෙනවද?
එක දිගට සති ගණන් උදේ තුනට විතර නැගිටින කොට නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතිං. මොකද අපි එහෙම කැපකිරීම් කරලා තෙහෙට්ටුවෙලා කෙට්ටු වුණාම ප්‍රේක්ෂකයෝ කියනවා අනේ එයා කෙට්ටුවෙලා එහෙම කියලා. තිරෙන් පිටුපස එයාලා දකින්නෙ නැහැ. හැබැයි මම හැමතිස්සෙම හිතන්නෙ මම හරිම වාසනාවන්තයි කියලා. මිනිස්සුන්ගෙ ආදරය දිනාගන්න ලැබුණ එකට. මොකද නිළියක් වුණත් හැමෝටම ප්‍රසිද්ධත්වය තිබුණට ජනයාට ප්‍රියවීම හැමෝටම ලැබෙන්නෙ නැහැ. ඒක ලැබුණ එකට මම සතුටුවෙනවා සහ සරණිට ලැබුණ ඒ ආදරය තමයි අද දුෂේනි භුක්තිවිදින්නෙ.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment