නෙතන්යාහු පරදා ඊශ්‍රායලය දිනාගත් මොසාඩ් සංවිධානයේ ලොක්කා…

526

ශානක ලියනගම

බෙන්ජමින් නෙතන්යාහු මහතා පළමු වරට ඊශ‍්‍රායල අගමැති ධුරයට පත් වූයේ 1996 දීය. එකී මැතිවරණ ව්‍යාපාරයේදී ඔහුගේ කළමනාකරුවා වූයේ ජෝර්ජ් බර්න්බෝම් නම් ඇමෙරිකානු ජාතික දේශපාලන උපදේශකයෙකි. එයින් වසර විසිපහකට පසු අද නැවතත් විපක්ෂයේ අසුන්ගන්නා නෙතන්යාහු පිළිබඳව බර්න්බෝම් තම හඬ අවදි කර ඇත්තේ තම පැරණි සගයාව, හිටපු බි‍්‍රතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල්ට සමාන කරමිනි.

”චර්චිල් තමයි විජයග‍්‍රහණයේ නායකයා. 1945 දී හිට්ලර්ව පරාජය කළාට පස්සේ දැන් හොඳටෝම ඇති කියලා මිනිස්සු චර්චිල්ව ගෙදර යැව්වා. ඒත් අවුරුදු හයකින් චර්චිල් සුළඟ එක්ක උන්නැහේ ආපහු ආවා. ‘‘දැන් නෙතන්යාහු මහත්තයාටත් ගම් පැත්තේ ගිහින් පොඩි විවේකයක් ගන්න පුළුවන්.”බර්න්බෝම් එසේ පවසන්නේ නෙතන්යාහුගේ පුනරාගමනයක් ගැන ලිකුඞ් පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු දල්වමිනි.

බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයාට සිය තනතුර අහිමිවන්නේ මැතිවරණයකින් පරාජය වීම නිසා නොවේ. ඒ කලක් ඔහුගේ දේශපාලන මිතුරන්ව සිටි පිරිසක් සතුරන්ට එකතුවීම නිසාය. නෙසට් නමින් හඳුන්වන ඊශ‍්‍රායල පාර්ලිමේන්තුව විසින් පසුගියදා නෆ්තාලි බෙනට් නම් තරුණ දේශපාලඥයෙකු අගමැති පුටුවට ගෙන ආවේ නෙතන්යාහු මහතාගේ දොළොස් වසරක පාලනය නිමාකරමිනි. වසර දෙකක් තුළ මැතිවරණ හතරකට මුහුණ දුන් ඊශ‍්‍රායලයේ පැවති දේශපාලන අස්ථාවරභාවය නිමා කරන බවට නව අගමැතිවරයා ප‍්‍රතිඥා දී තිබේ.

බෙනට් මහතා එසේ ප‍්‍රතිඥා දුන් නමුත් ඔහුට හිමිව ඇත්තේ යුදෙව් රාජ්‍යයේ බිහි වූ අස්ථාවරම ආණ්ඩුව බවට සැකයක් නැත. මන්ත‍්‍රීවරුන් 120ක් සහිත පාර්ලිමේන්තුවේ විශ්වාසය ඔහු දිනාගෙන ඇත්තේ 60-59 වශයෙනි. නෙතන්යාහුටත් වඩා අන්ත දක්ෂිණාංශිකයකු වන නෆ්තාලි බෙනට්ගේ භැඅ රසටයඑ නොහොත් යමීනා පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමිව ඇති ආසන සංඛ්‍යාව හයක් පමණි. සභාග රජයක් උදෙසා එකට එකතු වූ පක්ෂ අටකින් සැදුම් ලත් සන්ධානය බිහිවූයේම නෙතන්යාහු පාලනය පෙරළා දැමීමේ අරමුණින්ය. එකී පක්ෂ බොහොමයක සිටින්නේ නෙතන්යාහු සෙවණේ හැදී වැඩුණු නායකයන්ය. නව අගමැතිවරයා පවා දේශපාලනයට අත්පොත් තැබුවේ නෙතන්යාහුගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වෙමිනි. ඔහු නෙතන්යාහු පාලනය තුළ ආරක්ෂක, අධ්‍යාපන ආදී වැදගත් ඇමතිධුර කිහිපයක්ම දැරූ දේශපාලඥයෙකි. අවසානයේ ඒ සියලූදෙනා එකතු වී තම දේශපාලන ගුරුවරයා පාවා දී ඇත.

නව සභාග ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව අනාවැකි කීම අපහසු වුවත් එය ආඬි අට දෙනෙකුගේ කැඳ හැළියක් වනු ඇති බවට සලකුණු දැනටමත් පහළ වී ඇත. ඊශ‍්‍රායලය විසින් අත්පත් කරගෙන ඇති නැගෙනහිර ජෙරුසෙලමේ පැරණි නගරය තුළ සංවිධානය කරන ලද යුදෙව් ජාතිවාදීන්ගේ පාගමනක් නිසා ළදරු ආණ්ඩුව තුළ දැනටමත් පරස්පරතා ඉස්මතුව ඇති බව ලිපිය ලියන මොහොත වනවිට වාර්තා වෙයි. සංහිඳියාව පිළිබඳව කෙතරම් සුරංගනා කතා කීවද මෙම පා ගමනට අනුමැතිය දීමට නව රජයට සිදුව ඇත. මතභේදාත්මක පාගමන හේතුවෙන් එහි වෙසෙන පලස්තීන ජනතාව අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත. යුදෙව් රාජ්‍යය තිරය පිටුපස සිට මෙහෙයවන මොසාඞ් සංවිධානයට මෙවැනි අස්ථාවර ආණ්ඩුවක් ගෙදරයැවීම ඒ තරම් අපහසු නොවේ.

ishral2වාමවාදයේ සිට දක්ෂිණාංශික අන්තවාදය දක්වා විහිදෙන පක්ෂ සන්ධානයකින් සමන්විත නව සභාග රජය තුළ ඉස්ලාමීය අරාබිවරුන්ගෙන් සැදුම් ලත් රාම් පක්ෂය ද අසුන් ගෙන සිටියි. මෙසේ අරාබි පක්ෂයක් සයන්වාදී රජයක කොටස්කරුවකු වීම මැද පෙරදිග ඉතිහාසයේ පළමුවරට සිදු වූවකි. උග‍්‍ර ජාතිවාදී ස්ථාවරයක් දරන බෙනට්ගේ යමීනා පක්ෂය හා පලස්තීනුවන්ට සහයෝගය දක්වන රාම් පක්ෂය අතර සංහිඳියාවක් ඇතිවීම සතුටුදායක වුවත් එහි දිගුකාලීන පැවැත්ම අවිනිශ්චිත බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. එසේම රාම් පක්ෂය සභාග රජයට සහාය දක්වන්නේ ඊශ‍්‍රායලයේ වෙසෙන මිලියන දෙකක් පමණ වූ පලස්තීනුවන්ගේ සුබසිද්ධිය උදෙසා ඊශ‍්‍රායල භාණ්ඩාගාරයෙන් ඩොලර් කුට්ටි ගණනින් කඩා ගැනීමේ අරමුණින් බව ද එකී විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

හිටපු හමුදා මේජර්වරයෙකු වූ හා මෘදුකාංග ව්‍යාපාරිකයෙකු වන නෆ්තාල් බෙනට්ට 2023 දක්වා වසර දෙකක කාලයක් අගමැතිධුරය දැරීමට අවස්ථාව ලැබී ඇත. අවබෝධතා ගිවිසුම අනුව ඔහුගෙන් පසුව ශැිය ්එසා පක්ෂයේ නායක මධ්‍යස්ථ මතධාරී යාර් ලැපීඞ්ට අගමැති ධුරය හිමිවීමට නියමිතය. සිය සමාරම්භක කතාවේදී බෙනට් මහතා අනතුරු ඇඟවූයේ ඊශ‍්‍රායලය මේ වනවිට දේශපාලන මඩ ගොහොරුවක ගිලී ඇති බවයි. නෙතන්යාහුවාදීන් විසින් සමාජ මාධ්‍ය හරහා තමන් අපරාධකාරයෙකු හෝ බොරුකාරයෙකු ලෙස හංවඩු ගැසීමට ගන්නා උත්සාහයෙන් සිදුවන්නේ තව තවත් වෛරය හා බෙදීම් ඇතිවීම පමණක් බව ඔහු පැවසීය.

”මගේ මතයට වඩා වෙනස් මත දරන්නන් සමඟ එකට වාඩිවීමට ඇති හැකියාව ගැන මම ආඩම්බර වෙනවා,” නෆ්තාල් බෙනට් මහතා අගමැතිධුරයේ වැඩ භාරගනිමින් පවසා තිබිණි.

කෙසේ නමුත් ඊශ‍්‍රායලයේ පැවැත්ම හෝ අනාගතය සම්බන්ධයෙන් වන කාරණා වලදී එරට සිදුවන දේශපාලන පෙරළි ඒ තරම් බල නොපාන බව ඉතිහාසය සාක්ෂි දරයි. ‘‘සියලූ ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරනවා” යන නව අගමැතිවරයාගේ ප‍්‍රකාශය බොහෝ දුරට අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි කාරණා වලදී පමණක් ප‍්‍රමුඛ වනු ඇත. බටහිර ඉවුරේ පලස්තීන ආණ්ඩුවත්, ගාසා තීරයේ බලය හොබවන හමාස් සංවිධානයත් මෙම බලපෙරළිය ලොකුවට ඇඟට නොගත්තේ එබැවිනි. ඔවුහු එය ඊශ‍්‍රායලයේ අභ්‍යන්තර කාරණයක් සේ සලකා බැහැර කරති.

නෙතන්යාහු මහතා නව අගමැතිවරයා අසලට ගොස් සුභපැතූ අතර තමන් නැවත බලය ලබා ගන්නා බවට ද ඉඟි කළේය. ‘‘ අපි සතුරන් නොවේ. අපි එකම ජනතාවක්. යමෙකුගේ පරාජය නිසා සතුටු වෙන්න එපා.” යනුවෙන් බෙනට් මහතා තම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙයි. කෙසේ නමුත් රට ජාතිය වෙනුවෙන් රතිඤ්ඤා පුපුරවමින් හන්දි ගානේ ෆලාෆෙල් උයාගෙන කන පාක්ෂිකයන් එහි දක්නට නැත. නෙතන්යාහුගේ ලිකුඞ් පාක්ෂිකයන්ට හිරිහැර කිරීමට නව රජයේ ආධාරකරුවන් කටයුතු කළ බවක් වාර්තා වන්නේ ද නැත.

බලයෙන් පහ කළද බෙන්ජමින් නෙතන්යාහු සාධකය ඊශ‍්‍රායල දේශපාලනයෙන් ඉවත්කිරීම ලෙහෙසි පහසු නැත. ඔහු මේ වනවිට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා බවට පත්ව ඇත. 1948 දී බිහි වූ ඊශ‍්‍රායල රාජ්‍යය වැඩිම කලක් එනම් වසර පහළොවක් තිස්සේ පාලනය කරන ලද්දේ නෙතන්යාහු විසිනි. එල්ල වී ඇති දූෂණ හා අක‍්‍රමිකතා චෝදනා නිසා ඡුන්ද පදනමට හානි සිදුවුවද තවමත් ඊශ‍්‍රායලයේ ජනප‍්‍රියම නායකයා බෙන්ජමින් නෙතන්යාහු බවට විවාදයක් නැත. එක්සත් ජාතීන්ගේ ඊශ‍්‍රායල් තානාපතිවරයා ලෙස තම රාජකාරි හමාර කිරීමෙන් පසු දේශපාලනයට එක් වූ නෙතන්යාහු පසුව ප‍්‍රබල ලිකුඞ් පක්ෂයේ නායකත්වයට පත්විය. 1993 දී එරට විපක්ෂ නායකයා බවට පත්විය.

අරාබි සතුරන්ගෙන් වට වී ඇති ළදරු ඊශ‍්‍රායල් රාජ්‍යය ආර්ථික හා යුදමය වශයෙන් ශක්තිමත් කිරීමට නෙතන්යාහු මහතාට හැකි වූ බව ඔහුගේ දේශපාලන සතුරෝ වුවද පිළිගනිති. දේශපාලන භූමියේදී ඔහුව බොහෝ අය හඳුන්වන්නේ බිබී නම් වූ ළමා කාලයේ සුරතල් නමිනි. තම කුළුඳුල් ඡුන්දයේ සිටම බිබීට කතිරය ගැසූ අද වැඩිහිටියන් බවට පත්ව ඇති ඊශ‍්‍රායල් පුරවැසියන් එමටය. ඔවුන්ට අනුව බිබී යනු තවත් සොලමන් රජෙකි. මෝසෙස් වැනි ගැලවුම්කරුවෙකි. සැබැවින්ම ඊශ‍්‍රායල් ජාතියේ ආරක්ෂාවට බොහෝ දේ ඔහුගේ පාලනය යටතේ සිදුවිය. සතුරු ප‍්‍රහාරයන්ට මුහුණ දීමට හැකි වන පරිදි තම රටේ ආරක්ෂාව තර කිරීම ඔහුගේ මූලිකම අභිප‍්‍රාය වී තිබිණි. කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට වෙනත් කිසිම රටකට වඩා වේගයෙන් ජනතාව එන්නත් කිරීමට කටයුතු කළේද ඊශ‍්‍රායලයයි.

ගාසා තීරයේ බලය අල්ලා ගෙන සිටින හමාස් සංවිධානයෙන් හෝ අසල්වැසි සතුරු රාජ්‍යයකින් එල්ල වන ප‍්‍රහාරයකට දැඩිව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට නෙතන්යාහු මහතා පසුබට වූයේ නැත. පසුගිය දා ගාසා තීරයට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම තුළින් නෙතනියාහු මහතා තමන්ගේ ප‍්‍රතිරූපය ගොඩනංවා ගැනීමට උත්සාහ කරන ලද බවට ද විවේචන පවතී. හමාස් සංවිධානයට අරමුදල් සපයන ඉරානය සමඟ ඔහුට තිබුණේ දැඩි කෝන්තරයකි. පලස්තීනුවන්ගෙන් අල්ලා ගත් ඉඩම් නැවත ඔවුනට ලබාදෙන ලෙස බටහිර රටවල් විසින් කරන ඉල්ලීම් ඔහු කනකට නොගත්තේය. පලස්තීන ප‍්‍රශ්නය සම්බන්ධයෙන් හා ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් මැඩපැවැත්වීම සඳහා වූ සාකච්ඡා සම්බන්ධයෙන් හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සමඟ දිගින් දිගමට ගැටුම් ඇතිකර ගත්තේය. 1967 සය දින යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසුව ඊශ‍්‍රායලය විසින් අත්පත් කරගත් මැදපෙරදිග භූ දේශපාලනික බලය තමන්ගේම අච්චුවකට දමා නැවත සකසා ගැනීමට නෙතන්යාහුට හැකි විය.

කෙසේ නමුත් ආසන හයක් ඇති සුළු පක්ෂයක නායකයෙකු එරට අගමැතිවරයා බවට පත්වීම නෙතන්යානු මහතා දකින්නේ සමච්චලයක් ලෙසයි. ඔහු නෆ්තාලි බෙනට්ව හඳුන්වන්නේ අල්පෙනෙති හිසක් උඩ සිටගෙන සිටින අගමැතිවරයෙකු ලෙසයි. බෙනට් වැනි දුර්වලයකුගේ පත්වීම පිළිබඳව ඉරානය සතුටින් ඉපිල යනු ඇති බව ඔහුගේ අදහසයි. අත්පත්කර ගත් ප‍්‍රදේශවල යුදෙව් ජනාවාස පිහිටුවීමේ සිට න්‍යෂ්ඨික ගිවිසුම් අලූත් කිරීම දක්වා සියලූම කටයුතු වලට එල්ල වන ඇමෙරිකානු පීඩනය බෙනට් මහතාට දරාගත නොහැකිවනු ඇතැයි ඔහු අනතුරු අඟවයි. තමන්ට එරෙහිව ව්‍යාජ දූෂණ චෝදනා නිර්මාණය කර අගමැතිධුරය ඩැහැගැනීමේ දේශපාලන ප්‍රෝඩාව ජනතාව ලෙහෙසියෙන් අමතක නොකරනු ඇති බවත් ඔහු පවසා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment