ඩෙංගු පරදා ද වොයිස් ටීන් කිරුළ දිනූ බදුල්ලේ පුංචි කෙල්ල

293

නම – ත්‍යාගරාජා ප්‍රණිර්ෂා
ගම – බණ්ඩාරවෙල
වයස – අවුරුදු 13 යි
පාසල – බණ්ඩාරවෙල දමිළ මහා විද්‍යාලය
පන්තිය – 9 ශ්‍රේණිය
පවුලේ විස්තර – අම්මා (බණ්ඩාරවෙල රුනන්ටල් දමිළ විද්‍යාලයේ  ප්‍රාථමික අංශයේ ගුරුවරියක්), තාත්තා (ව්‍යාපාරිකයෙක්) අක්කා.


ද වොයිස් ටීන් තරගය පසුගිය දා නිමාවට පත් වුණා. එහිදී ජයග්‍රාහිකාව වුණේ බදුල්ලේ ත්‍යාගරාජා ප්‍රණිර්ෂා. මේ ඇයගේ කතාවයි.

වොයිස් ටීන් මුල්වටයට තරගකරුවන් තෝරාගන්න අපේ ගමටත් සිරස ටීවී එකේ කණ්ඩායමක් ආවා. ඒ වෙලාවෙ මට හිතුනා මමත් මේ තරගයට ඉදිරිපත් වෙන්න ඕන කියල. එදා මම වගේම තව බොහෝ පිරිසක් ඇවිත් හිටියා. ලොකු තරගයක් තිබුණා. කොහොම වුණත් මුල්වටයේ තරග වලට ඉදිරිපත්වීමෙන් පස්සෙ දෙවැනි වටයේ තරග වලට තෝරාගත් බව ආයතනයෙන් මට දැනුම් දුන්නා. එතැනින් පස්සෙ පියවරෙන් පියවර ඉදිරියට එන්න මට හැකියාව ලැබුණා.

තරගයෙන් තරගය ඉදිරියට යන විට මම සිංහල ගීත හැර අනෙකුත් භාෂාවන් වල ගීත ගායනා කළා. එතැනදි මගේ කෝච් අභිෂේකා මට කිව්ව ඔයාගේ හැකියාවන් රටට පෙන්වන්න මේක හොඳ අවස්ථාවක්” අනෙකුත් ගීත ගායනා කළා වගේම සිංහල ගීතයකුත් ගායනා කරමු කියල. ඒ අනුව තමයි නොකවුට් රවුන්ඩ් එකේදි ‘මගේ රටට දළදා හිමි සරණයි. ගීතය ගායනා කරන්නෙ. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ජාතිභේදයක් නැතිව බොහෝ දෙනෙක් මට වෝට් කළා.

මගේ පවුලේ අය කලාවට සම්බන්ධ නැහැ. අපේ අම්මා පොඩිකාලෙ ඉන්දියාවේ ජීවත් වෙලා තියෙන්නෙ. එයා ඒ කාලෙ සංගීතය ඉගෙනගෙන තිබුණත් අද වන විට ඒවාට සම්බන්ධ වෙන්නෙ නැහැ. මේ හැකියාව මට උපතින්ම ආපු දෙයක්. පාසලේ විවිධ ගායන තරග වලට සම්බන්ධ වෙලා ඒවායින් ජයග්‍රහණ ලබාගෙන තියෙනව. ඒ වගේම සමස්ත ලංකා තරගවලින් පවා සහතිකපත් ලබාගෙන තියෙනවා. කෝවිලේ ගීතිකා කියනවා. මේ දේවල් වලින් තමයි මගේ හැකියාව දියුණු වුණේ වගේම හඳුනාගත්තෙ. සංගීතය විතරක් නෙමෙයි” නර්තනයටත් මම බොහොම කැමතියි. ඒ නිසා කර්ණාටක සහ භරතත් ඉගෙනගන්නවා.

ඩෙංගු පරදා ද වොයිස් ටීන් කිරුළ දිනූ බදුල්ලේ පුංචි කෙල්ල

මේ තරගයට සහභාගි වන කාලය තුළදී පාසලේ වැඩ ගොඩක් මගහැරුණා. නමුත් විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය ඒ දේවල් මගනොහැරෙන්න මට හැම මොහොතකම උදවු උපකාර කළා. ඒ වගේම පන්තියේ යාළුවොත් පුළුවන් හැටියට මට උදවු කළා.

තරගයේදි ගොඩක් දෙනෙක් හිටියෙ මට වඩා වැඩිමල් අයියල අක්කල. ඒ වුණත් මට තරගවදින්න බයක් දැනුණේ නැහැ. කවුරුත් අභියෝගයක් හැටියට දැනුණෙ නැහැ. ඒ අයත් සහෝදරයො වගේ මට උදවු කළා. විශේෂයෙන්ම කෝච් අභිෂේකා නිතරම මට ධනාත්මක විදිහට හිතන්න පුරුදු කළා. ඇයගේ අවවාද අනුශාසනා මේ ගමන එන්න මට ලොකු ශක්තියක් වුණා.

එකින් එක එකින් එක තරග වට ජයග්‍රහණය කරමින් ඉදිරියට එද්දි අවසන් මහා තරගය පෙනි පෙනී ඩෙංගු වැළඳීම නිසා මම අසනීප වෙනව. ඇත්තටම එතනදි මට බයක් දැනුණ තරගයට සහභාගි වෙන්න බැරිවෙයි කියල. ඒත් ලංකාවේ බොහෝ දෙනෙක් මම වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා එකතු කළා. මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා. මේ දේවල් එක්ක වෛද්‍ය ප්‍රතිකාරවලින් රෝහලේ සිට මට අවසන් වටයේ පුහුණුවීම් වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනව. ඒ වන විටත් මම සම්පූර්ණ සුවය ලබලා තිබුණේ නැහැ.

ඩෙංගු රෝගයත් එක්ක මට තිබුණේ ලොකු තරගයක්. ඒක බොහෝ දුරට පරාජය කරල ද වොයිස් ටීන් අවසන් මහා තරගයට මම ඉදිරිපත් වෙනව. මං එක්ක තරග වැදුණෙ මට වඩා වයසින් වැඩිමල් අයියල තුන් දෙනෙක්. එතනදි එදා මම තරග වැදුණ මුල්ම තරගයත් මගේ මතකයට ආව. එදා මේ අවස්ථාව හීනෙකින්වත් මම දැකල තිබුණෙ නැහැ. තරගයට ඉරිරිපත් වෙනව කියන දේ හැරෙන්න ලොකු බලාපොරොත්තුවක් මට තිබුණෙ නැහැ. නමුත් අවසන් මහා තරගයට මුහුණ දෙන්න මට අවස්ථාව ලැබුණා. එදාත් මම තෝරාගන්නෙ සිංහල ගීතයක්. ඒ වික්ටර් රත්නායක මහත්මයා සහ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ගායනා කරන ‘පෙම්රස වෑහෙන මංගල ගීතේ. ගීතය. මට පුළුවන් උපරිම දේ මම කළා. ඒත් මම හිතුවෙ නැහැ මම ජයග්‍රහණය කරයි කියල. අවසානයේ නිවේදිකාව අතට පත් වුණ ප්‍රතිඵල සටහනේ ද වොයිස් ටීන් ජයග්‍රාහිකාව හැටියට මගේ නම කියවෙනව. කුසලානයේ බර මගේ අත්දෙකට දැනෙනව. ලංකාවේ මිනිස්සු මම දමිළ කියල වෙනස් විදිහකට මං දිහා බලල නැහැ. හැමෝම එකතුවෙලා මට වෝට් කළා. ඇත්තටම ඒක කියාගන්න බැරි සතුටක්. මගේ කෝච් අභිෂේකා දුවගෙන ඇවිත් මට සුබපතනව. ප්‍රේක්‍ෂකාගාරය පුරා ඇහුනෙ ඔල්වරසන් හඬ. මේ අත්දැකීම මගේ ජීවිතේට ලැබුණු විශාල අත්දැකීමක්.

ඒ අවස්ථාවෙන් පස්සෙ මගේ නෑදෑයන්ගෙන්” යාළුවන්ගෙන්” ගමේ අයගෙන් සුබපැතුම් එකතුකරල දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ආවා. මම තව දවස් තුනහතරකින් ගමේ යනවා. එතනදි මාව පිළිගන්න ගමේ අය සූදානම් වෙලා ඉන්නවා.

මම ඉගෙන ගන්නෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. කැමැතිම විෂය විද්‍යාව. ඒ වගේම සංගීතයටත් ගොඩක් කැමැතියි. මගේම ගීත කිහිපයක් කරල එළිදක්වන්නත් ආසාවෙන් ඉන්නව. මගේ එකම බලාපොරොත්තුව අනාගතයේ වෛද්‍යවරියක් වීම. සිංදු කියන වෛද්‍යවරියක් වීම.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment