පොලිසියේ ඉහළම තැනකින් නිසි පියවර නොගැනීමත් මැයි 9 ප්‍රචණ්ඩ ක්‍රියාවලට හේතුවක් – කරන්නාගොඩ කමිටුව කියයි

175

රට තුළ සාමය සහ මහජන ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා පොලිසියට ඕනෑම අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමේ හකියාව ඇතත්, පොලිසියේ ඉහළම තැනකින් කටයුතු නොවීමත්, පසුගිය මැයි 09 සහ 10 රට තුළ සිදුවූ නිවාස හා දේපළ ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවලට විශේෂ හේතුවක් වී ඇති බව තම කමිටුව නිරීක්‍ෂණය කළැයි, වසන්ත කරන්නාගොඩ කමිටුව මගින් පෙන්වා දී තිබේ.

රටේ පැවැති ආර්ථික තත්ත්වය නිසා රජයට එරෙහිව විරෝධතා රැල්ලක් මතුව තිබියදී පසුගිය මැයි 09 වැනිදා රජයට පක්‍ෂපාති විශාල පිරිසකට ගාලු පාර ඇතුළු ප්‍රධාන මාර්ග ඔස්සේ අරලියගහ මන්දිරයට පැමිණීමට ඉඩදීමෙන් අනතුරුව ඔවුනට ගාලු මුවදොර පිටියට පිවිසීමට ඉඩහැරීමත් පොලිසියේ දුර්වලතාවක් බව එම කමිටුව පවසයි.

රජයට එරෙහිව රට තුළ විරෝධතා රැල්ලක් මතුවීමට හේතු වී ඇත්තේ එක්තරා පිරිසක් මහජන මුදල් අවභාවිත කරන බවට බහුතර ජනතාව තුළ මතයක් ගොඩනැඟීම නිසා බව තම කමිටුව නිරීක්‍ෂණය කළ බව ද එම කමිටුව පෙන්වා දී තිබේ. මැයි 09 වැනිදා අතිවිශාල පිරිසකට අරලියගහ මන්දිරයට ඇතුළුවීමට ඉඩදීම අගමැති ආරක්‍ෂක අංශය රටේ අගමැතිවරයාගේ මෙන්ම ඔහුගේ සාමාජිකයන්ගේත්, මැතිඇමැතිවරුන්ගේත් ජීවිත අනතුරේ හෙළීමට තැත්කිරීමක් බවත්, එබැවින් ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මනා දැනුමක් ඇති සුදුසුකම් හා පළපුරුදු නිලධාරීන් එම ඒකකයට යොදවා වහාම ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බවත් එමගින් පෙන්වා දී ඇත.

පොලිසියේ සියලු අංශවල මෙන්ම බුද්ධි අංශවල ද දුර්වලතා රට එවන් භයානක තත්ත්වයකට ඇදදැමීමට හේතුවක් වී ඇති බවද පවසන එම කමිටුව 250කට අධික යුද හමුදා භටයන් පිරිසක් අනුරාධපුර ඥානා මෑණියන් වෙසෙන ප්‍රදේශයේ රාජකාරියේ යොදවා තිබූ නමුත් එම නිවසට සිදුවූ ප්‍රහාර වළක්වා ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇතැයි ද සිය නිර්දේශ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

හිටපු හමුදා ප්‍රධානීන් වන අද්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් වසන්ත කරන්නාගොඩ, ජෙනරල් දයා රත්නායක හා මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් විසින් මෙම කමිටුවට සිය නිර්දේශ ලබාදී ඇත.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment