වෙල්ලාලගේ නියම වෙලාවට ජාතික කණ්ඩායමට ගේන්න ඕනා

596

මේ කණ්ඩායමේ හතර පස් දෙනෙක් තව අවුරුදු දෙක තුනකින් ජාතික කණ්ඩායමේ සිටීවි

තරග 20න් 15ක් අපි දිනුවා

ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය”ට කියයි

2022 යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය බදාදා දිවයිනට පැමිණියේය. අවිශ්ක ගුණවර්ධන මහතාගේ පුහුණුකාරීත්වය යටතේ සහ මහේල ජයවර්ධන මහතාගේ පුහුණු උපදේශකත්වය යටතේ තරගාවලියට එක් වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී හය වන ස්ථානය දිනා ගත්තේය. කණ්ඩායම් 16ක් තරග වැදුණු තරගාවලියක හයවන ස්ථානය යනු යම් ඉහළ ස්ථානයක් වුවද ඉන් අපට සෑහීමකට පත්විය හැකිද යන්න අදාළ කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා සමඟ ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” පැවැත්වූ සාකච්ඡාව මෙසේ දැක්වේ.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායමක් ලෙස දැක්වූ දස්කම් පිළිබඳ පුහුණුකරු වශයෙන් ඔබ තෘප්තිමත්ද?

පිළිතුර – තරගාවලියේ මීට වඩා ඉදිරියට යන්න තිබුණා නම් හොඳයි. ඒත් අර්ධ අවසන් පූර්ව තරග වටයට ආවහම එක වැරැද්දකින් ඔක්කොම අවසන් වෙන්න පුළුවන්. නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි මාස හතරක් තුළ මේ පැමිණි දුර ගැන නම් අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්. මට මේ කණ්ඩායම භාර දීලා තවම මාස 5ක් වත් නැහැ. ලෝක කුසලාන තරගාවලියට සූදානම් වෙන්නට අපට තිබුණේ මාස හතරක කාලයක් පමණයි. කොවිඞ් වසංගතය නිසා වසර එකහමාරකින් පාසල් ක‍්‍රිකට් තිබුණේ නැහැ. මේ ළමයින්ට පුහුණුවෙන්න නිසි කාලයක් ලැබුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ අපි මේ පැමිණි ගමන ගැන සතුටුයි.

ප‍්‍රශ්නය – එසේ සතුටු වෙන්න තරම් මොනවද මේ කාලය තුළ ඔබ ලබාගත් ජයග‍්‍රහණ?

පිළිතුර – මේ මාස 4 ඇතුළත අපි තරග විස්සක් ක‍්‍රීඩා කරල තරග පහළොවක් ජයග‍්‍රහණය කරලා තියෙනවා. ලෝක කුසලාන තරග ද ඇතුළත්ව. බංග්ලාදේශයට එරෙහිව අපි 5-0ක තරගාවලි ජයග‍්‍රහණයක් ලැබුවා. බංග්ලාදේශය තමයි පසුගිය වර ලෝක ශූරයන් වුණේ. ඒ වගේම එංගලන්ත කණ්ඩායමට එරෙහිව 3-2ක තරගාවලි ජයග‍්‍රහණයක් ලැබුවා. එංගලන්තය කියන්නේ මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනාගත් කණ්ඩායම. ඒ වගේම ආසියානු කුසලාන තරගාවලියේ දී අපි අනුශූරතාවය ජයග‍්‍රහණය කළා. එහිදී අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයත් පරාජය කළා. ලෝක කුසලාන තරගාවලියේ දී ඔස්ටේ‍්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප‍්‍රිකාව යන ප‍්‍රබල කණ්ඩායම් අපි පරාජය කළා. ඔස්ටේ‍්‍රලියාව මෙවර තරගාවලිය තුළ තුන්වන ස්ථානය දිනා ගත් කණ්ඩායමයි. බටහිර ඉන්දීය කොදෙව්වන් තරගාවලියේ සත්කාරකත්වය දැරූ කණ්ඩායම. තරගාවලියේ වීරයා බිහි වුණේ දකුණු අප‍්‍රිකා කණ්ඩායමෙන්. මේ වගේ ප‍්‍රබල ජයග‍්‍රහණ කිහිපයක් අපි පසුගිය මාස 4 තුළ ලබාගෙන තිබෙනවා. ඉතින් මේ පැමිණි ගමන ගැන කණ්ඩායමක් ලෙස අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය තුළදී වැරදුනේ අවස්ථා දෙකයි. එකක් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීම. දෙවැන්න පකිස්තානය හමුවේ පරාජය වීම. මේ පරාජයන් දෙකට බලපෑ ප‍්‍රධාන හේතු කාරණා මොනවාද?

පිළිතුර – ඇෆ්ගනිස්තානය සමග තරගයේදී පිතිකරුවන් 10 දෙනකුගෙන් හතර දෙනෙක්ම දුවද්දී දැවී ගියා. ඒ කඩුලූ හතර අතරින් කඩුලූ තුනක් ප‍්‍රබල පිතිකරුවන්. එහෙම වුණහම තරගයක් දිනන්න ලේසි නැහැ. ඒ වගේම එදා අපි ක‍්‍රීඩා කළ තණතීරුව අර්ධ අවසන් පූර්ව තරගයකට එතරම් සුදුසු තණතීරුවක් නොවෙයි. තණ තීරුවේ එක පැත්තක තණකොළ ගොඩක් තිබුණා. තවත් පැත්තක් ඉරි තැලී ගොස් තිබුණා. සමහර තැන්වල පන්දුව වැදී අසාමාන්‍ය විදිහට පන්දුව කැපෙන්න ගත්තා. ඒත් ෆිච් එක කොච්චර අවුල් වුණත් දුවද්දී දැවී යෑම් අඩු කර ගන්න තිබුණා නම් අපට තරගය දිනන්න තිබුණා.

හැබැයි පකිස්ථානය සමග පැවති තරගයෙන් පසුව මම ක‍්‍රීඩකයන්ට කිව්වේ ඒ තරගය සම්පූර්ණයෙන් මතකයෙන් අයින් කරන්න කියලයි. එදා අපි කළ කිසිම දෙයක් හරි ගියේ නැහැ. සැලසුම් ඔක්කොම අසාර්ථක වුණා. එදා අපි දිනුවේ කාසියේ වාසිය විතරයි. වෙනදාට එම තණ තීරුවේ උදේ වරුවේ පැයක් විතර වේගපන්දු යවන්නන්ට වාසිදායකයි. ඒ හින්දා අපි පන්දු යැවීමට තීරණය කළා. උඩ පන්දු දෙකක් ලැබුණා. ඒත් අවාසනාවට අපිට ඒවා අල්ල ගන්න බැරි වුණා. අපට ළඟා වෙන්න බැරි ඉලක්කයකට පකිස්තානය ඔවුන්ගේ ලකුණු පුවරුව අරන් ගියා. ශ‍්‍රී ලංකාවට 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුණා.

ප‍්‍රශ්නය – ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගය ශ‍්‍රී ලංකාව පරාජය වුණා. කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ වැටුණා. ඒත් අනතුරුව පැවැති දකුණු අප‍්‍රිකාවට එරෙහි තරගය ජයග‍්‍රහණය කරන්න ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ප‍්‍රධාන බලාපොරොත්තුව බිඳ වැටුණු පසු දකුණු අප‍්‍රිකාවට එරෙහි තරගය ජයග‍්‍රහණය කරන්න ශ‍්‍රී ලංකා කණ්ඩායම යොමු කළේ කොහොමද?

පිළිතුර – ඒක ලොකු අභියෝගයක්. යොවුන් කණ්ඩායමක් යනු එතරම් අත්දැකීම් බහුල කණ්ඩායමක් නොවෙයි. ඒ වගේම ආරක්ෂිත බුබුළු යටතේ අපි දීර්ඝ කාලයක් රැඳී සිටිනවා. ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වුණු අපි යළි ශ‍්‍රී ලංකාවටත් නොපැමිණ තමයි ලෝක කුසලාන තරගාවලියට එක් වුණේ. මේ නිසා ක‍්‍රීඩකයන්ව මානසික අතින් ශක්තිමත් කළ යුතු වුණා. එක තරගයක් පරාද වූ පමණින් ඒ අයට වැටෙන්න දෙන්න බැහැ. එහෙම තමයි දකුණු අප‍්‍රිකාව පරාජය කරන්න පුළුවන් වුණේ.

ප‍්‍රශ්නය – අපි තරගාවලිය තුළ මෙතරම් දුර ආවේ තනි අශ්වයෙක්ගෙන් කියලා කිව්වොත්?

පිළිතුර – ඔබ කියන්නේ දුනිත් ගැන වෙන්න ඇති. ඔහු ඉතාම දක්ෂ ක‍්‍රීඩකයෙක්. ඒ ගැන වාදයක් නැහැ. ඔහු තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වුණා. ඒ වගේම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනෙත් දුනිත්. ඒත් අපි මේ ජයග‍්‍රහණය ලබා ගත්තේ තනිවම නොවේ. කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන්ගෙ දායකත්වය ජයග‍්‍රහණයට හේතු වුණා. ඒත් දුනිත් යනු අනෙක් ක‍්‍රීඩකයන්ට වඩා කැපී පෙනෙන ක‍්‍රීඩකයෙක්.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාව පැත්තෙන් තරගාවලිය තුළ අත්හදා බැලූ සහ අනුගමනය කළ උපක‍්‍රම සාර්ථක වූ අවස්ථා මොනවාද?

පිළිතුර – ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී දුනිත් අංක 4 පිතිකරු ලෙස පිතිකරණ අනුපිළිවෙළේ ඉහළ ස්ථානයක පන්දුවට පහර දීමට යොමු කළා. එය සාර්ථක වුණ. ඔහු අර්ධ ශතකයක් ලබා ගෙන තරගය ජයග‍්‍රහණය කළා. ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගයේදී සදීෂ රාජපක්ෂ ආරම්භක පිතිකරු ලෙස යොදා ගත්තා. ඔහු එහිදී ලකුණු 80ක් ලබා ගත්තා. තරගය අපි ජයග‍්‍රහණය කළා.

ප‍්‍රශ්නය – දුනිත් වෙල්ලාලගේ ක‍්‍රීඩකයා මේ වන විට ජාතික කණ්ඩායමටත් සුදුසු බවයි ඇතමුන්ගේ මතය. ඔහුගේ නම අයිපීඑල් ක‍්‍රීඩක වෙන්දේසියට පවා එකතු වුණා. කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔබ මොකද මේ පිළිබඳව සිතන්නේ?

පිළිතුර – සමහර ක‍්‍රීඩකයන් ඉක්මනින්ම දියුණු වෙනවා. තවත් අය එම තත්ත්වයට එන්න කල් යනවා. මම කලින් කිව්වා වගේ දුනිත් ඉක්මනට දියුණු වූ ක‍්‍රීඩකයෙක්. ජාතික කණ්ඩායමට ඔහු ඉදිරියේ දී සුදුසු වෙයි. ඔහු පමණක් නොවෙයි මේ කණ්ඩායමේ සිටින තවත් ක‍්‍රීඩකයන් හතර පස් දෙනෙක්ම තව අවුරුදු දෙකක් තුනක් යනවිට ජාතික කණ්ඩායම තුළ සිටීවි. හැබැයි ඒ ක‍්‍රීඩකයන් කවුද යන්න නම් ගම් අපි කතා නොකර ඉමු. පාසල් කාලයෙන් පසුව ක‍්‍රීඩා සමාජ තරගවලදී, පළාත් තරගවලදී ඔවුන් දක්වන දස්කම් අපි බලා ගෙන ඉමු. 2016 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට මගේ පුහුණුකාරීත්වය යටතේ තරග වැදුණු ක‍්‍රීඩකයන් පස් හය දෙනෙක්ම අද ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. චරිත් අසලංක, අවිශ්ක ප‍්‍රනාන්දු, වනි`දු හසරංග සහ ලහිරු කුමාර ඉන් කිහිප දෙනෙක්. ඒ විදිහට මේ කණ්ඩායමේ සිටින ක‍්‍රීඩකයනුත් අනාගතයේදී ජාතික කණ්ඩායමට එයි. හැබැයි නිසි වෙලාව බලලා, හොඳින් ඇහැ ගහගෙන ඉඳලා මේ ක‍්‍රීඩකයන්ව ජාතික කණ්ඩායමට ගෙන ආ යුතුයි. නැත්නම් ඒ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා අපතේ යන්න ඉඩ තියෙනවා. දුනිත් අනිවාර්යයෙන් ජාතික කණ්ඩායමට එයි. ඔහු ජාතික කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුළුවන් ක‍්‍රීඩකයෙක්. තවම ඔහුට වයස අවුරුදු 19 යි. ඒත් පුහුණුකරුට හෝ තේරීම් කමිටුවට හෝ මාධ්‍යයට අවශ්‍ය ලෙස ඉක්මන් විය යුතු නැහැ. මෙවැනි අනවශ්‍ය ඉක්මන්කකම් නිසා දක්ෂ ක‍්‍රීඩකයන් රැසක් අපට අතීතයේදී අහිමි වෙලා තිබෙනවා. එය පාඩමක් කරගත යුතු වෙලාවක් තමයි මේ උදා වී තිබෙන්නේ.

ප‍්‍රශ්නය – ඉන්දියාව පස් වතාවක් යොවුන් ලෝක කුසලාන තරගාවලිය ජයග‍්‍රහණය කිරීමත් ශ‍්‍රී ලංකා කණ්ඩායම එහි විශිෂ්ටතම ජයග‍්‍රහණය ලෙස එක් වරක් පමණක් එහි අනුශූරයන් වීමටත් ප‍්‍රධාන හේතුව කුමක්ද?

පිළිතුර – මෙවර ශූරයන් වූ ඉන්දියාව ඇතුළු තරගාවලිය තුළ අවසන් කණ්ඩායම් 8 අතරට පැමිණි සෙසු කණ්ඩායම් දෙස බලන්න. ඉන්දීය කණ්ඩායමේ හිටිය ක‍්‍රීඩකයන්ගෙන් කිහිප දෙනෙක්ම එරට ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කරනවා. අනුශූරතාවය ජයග‍්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමේ ක‍්‍රීඩකයන් එරට කවුන්ටි ක‍්‍රිකට් සෙල්ලම් කරනවා. ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ සිටි ක‍්‍රීඩකයන්ගෙන් කිහිප දෙනෙක් එරට ක‍්‍රීඩා සමාජ තරගවලදී ක‍්‍රීඩා කරනවා. දකුණු අප‍්‍රිකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් එරට ස්ටේට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවා. ඔය විදිහට පාසල් මට්ටමින් ඔබ්බට ගොස් වඩාත් තරගකාරී ක‍්‍රීඩා තරගවල නිරත වූ ක‍්‍රීඩකයන් තරගාවලිය තුළ සිටියා. ඔවුන් අපට වඩා අත්දැකීම් අතින් ඉහළින් සිටියා. අපේ ක‍්‍රීඩකයන්ට තිබුණේ පාසල් තරග අත්දැකීම් පමණයි. ඒක තමයි අපට තරගාවලිය තුළ සිදු වූ ලොකුම අවාසිය.

ප‍්‍රශ්නය – හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගේ විශේෂ පුහුණු සහාය මෙවර ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලැබුණා. ඔහුගේ සේවය කණ්ඩායමේ දක්ෂතා වර්ධනයට කොහොමද බලපෑවේ?

පිළිතුර – මහේල සතු විශාල අත්දැකීම් සම්භාරය කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට ගොඩක් ප‍්‍රයෝජනවත් වුණා. එය මේ තරගාවලියට පමණක් සීමා වූවක් නොවේ. මේ ක‍්‍රීඩකයන්ට අනාගතයටත් එය ප‍්‍රයෝජනවත් වේවි. සති තුනකට ආසන්න කාලයක් මහේලගේ දැනුම මේ ක‍්‍රීඩකයන්ට ලැබුණා වගේම එක් එක් අවස්ථාවලදී තරගයට හැඩ ගැසෙන්නේ කොහොමද කියලත් ක‍්‍රීඩකයන්ට අවබෝධයක් ලැබුණා.

ප‍්‍රශ්නය – මහේල ජයවර්ධන මහතා සහ ඔබ තරගාවලිය තුළදී මොන වගේ අවබෝධයකින්ද කටයුතු කළේ?

පිළිතුර – ඔහුත් මාත් අතර ක‍්‍රිකට් සම්බන්ධතාවය අවුරුදු 35ක් විතර වෙනවා. 1992 වසරේදී මම 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරද්දී මහේල එම කණ්ඩායමේ උප නායකයා. ඒ නිසා අපි දෙදෙනා අතර බොහෝ කල් සිට ලොකු අවබෝධයක් තිබුණා. ඒ වගේම තරගාවලිය පුරාවටම අපි තීන්දු තීරණ ගත්තේ සාමූහිකවයි. කවුරුත් තනි තීරණ ගත්තේ නැහැ. අන් මතවලට ගරු කළා. බහුතර මතයට ඉඩ දුන්නා. කොටින්ම තරගයකදී පළමුව පන්දුවට පහර දෙනවද, පන්දු රකිනවද කියලා තීරණය කළේත් වැඩි දෙනාගේ කැමැත්තටයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන්ගේ සිහිනය කවදා හෝ ජාතික කණ්ඩායමට පැමිණීමයි. ඒ වගේ යොවුන් කණ්ඩායමේ පුහුණුකරු වන ඔබට ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරක් ගැන බලාපොරොත්තුවක් නැද්ද ?

පිළිතුර – වසර ගණනාවක් පුරාවට මම එක් එක් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම, නැගී එන කණ්ඩායම, 19න් පහළ කණ්ඩායම, ක‍්‍රීඩා සමාජවල, පළාත් තරගවලදී මේ ආකාරයට නොයෙක් කණ්ඩායම් සමග මම මගේ පුහුණුකාරීත්වයේ අත්දැකීම් බෙදාගෙන තිබෙනවා. ඕනෑම පුහුණුකරුවකු කැමැතියි ජාතික කණ්ඩායමේ පුහුණුකරු වෙන්න පුළුවන් නම්. ඒත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගෙන් බලාපොරොත්තු වන සේවය තමයි මම ඉටු කරන්නේ. ඔවුන් කියනවා නම් 19න් පහළ කණ්ඩායම හදලා දෙන්න කියලා මම ඒක කරනවා. ඔවුන් ගේ කැමැත්ත මම ශ‍්‍රී ලංකා ඒ, කණ්ඩායම බලන එක නම් මම ඒ දෙය කරනවා. මේ මොන දේ කළත් අපි රට වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ.

සාකච්ඡා කළේ –
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment