නිදහස් දිනයෙන් තවත් දවසකට පසු…

689

75 වන නිදහස් දිනය පසුවී තවත් පැය 24 ක් ගතවීමෙන් පසු ඔබ වෙත මේ කතාව ඉදිරිපත් කරමු. මේ රටේ සිටින විශ්‍රාමිකයන් නඩත්තු කිරීම රටට ලොකු ප්‍රශ්නයකි. හැබැයි ඒ මිනිසුන් මුළු ජීවිතේම රාජ්‍ය සේවය වෙනුවෙන් කැප කළ බැවින්ද තුට්ටු දෙකේ වැටුපට ශ්‍රමය සූරා කෑමට ඉඩ දුන් බැවින්ද ඔවුන් නඩත්තු කිරීමේ ජාතික වගකීමක් අප සතුව ඇත. මේ රටේ රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගිය තැනැත්තා අන් මිනිසුන් සේම කන බොන, ගමන් යන, එහෙත් අන් මිනිසුන්ට වඩා තුන් හතර ගුණයක් බෙහෙත් බීමට සිදුවන අය වෙති. පවතින ජීවන වියදම සමග සසඳන කල විශ්‍රාම වැටුපෙන් ජීවත් වනවාට වඩා ණය වීමට ඔවුන්ට සිදුවී තිබේ. මේ නිසා විශ්‍රාම ජීවිතේට වඩා මිය යෑම සුදුසු බව විශ්‍රාමිකයන් වැඩි දෙනාගේ හෘද සාක්ෂිය වන නමුත් එය ප්‍රසිද්ධියේ කතා කිරීමට කවුරුත් කැමති නැත. මේ අතර සති අන්තයේදී අප වෙත වැදගත් පුවතක් ලැබිණ. ඒ වූකලී මේ රටේ සිටින විශ්‍රාමික ජනාධිපතිවරුන් සිව් දෙනකු සහ විශ්‍රාමික ජනාධිපති ආර්යාවක් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වෙන් කිරීමට සිදුව ඇති බවය. මෙය පෙර කී විශ්‍රාමිකයන් පස් දෙනාගෙන් බෙදූ විට එක් අයකු වෙනුවෙන් වැයවන මුදල රුපියල් කෝටි 20 ක් පමණ වන බව පෙනේ. මෙය තවදුරටත් විමසා බැලීමේදී පැහැදිලි වන්නේ විශ්‍රාමික ජනාධිපතිවරයකු සඳහා මසකට රුපියල් ලක්ෂ 11 ත් 15 ත් අතර ගණනක් විශ්‍රාම වැටුප වශයෙන් ගෙවිය යුතු බවය.

ඊට අමතරව ඔවුන්ගේ ගෙවල් දොරවල් නඩත්තු කිරීමටද ආරක්ෂාව සැපයීමටද තවත් සෑහෙන මුදලක් වැය කෙරෙනු ලැබේ. අප විසින් පෙර කියූ රුපියල් බිලියනය සෑදෙන්නේ ඒ සියලු මුදල් එකතු කළ විටය. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට වේතන සහ පහසුකම් සැපයෙන්නේ ජනතාවගේ බදු මුදලිනි. මතුයම් දිනයක බලයට පැමිණියොත් මේ තත්ත්වය වෙනස් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක කියා තිබේ. කිරීමට හැකි වුවත් නැතත් ප්‍රතිපත්තියක් වශයෙන් ඔහු ඉදිරිපත් කළ එම කියමනට අපි ගරු කරමු. 75 වන නිදහස් දිනයෙන් පසු එළඹෙන ඊළඟ අවුරුද්දේද මේ බිලියනය මෙසේම ගෙවීමට මේ රටට සිදුව ඇත. ශ්‍රී ලංකාව යනු සුබ සාධක රාජ්‍යයකි. සුබ සාධන පහසුකම් ලැබිය යුත්තේ පහළ මධ්‍යම පන්තිය සහ දිළිඳු පන්තිය වුවද ලංකාව කොතරම් මාර රටක්ද යත් හිටපු ජනාධිපතිවරුනටත් ජනාධිපති ආර්යාවන්ටත් ඒ සුබ සාධනය අත්කර ගැනීමේ හැකියාව නීතියෙන්ම ලැබී තිබේ. එහෙත් එහි ලොකු වෙනසක් ඇත.

ආණ්ඩුවේ ක්ලාක් මහත්තයෙක් මුළු ජීවිතයම ගතකරන්නේ බස් එක සහ කෝච්චිය ප්‍රවාහන මාධ්‍ය හැටියට යොදාගෙනය. දැන් නම් බොහෝවිට බස් හෝල්ට් තුනේ හතරේ දුර ඔවුහු පයිනුත් යති. ඔවුන් උදේ වැඩට එන්නේ මෙහෙමය; උදේ පාන්දර අවදිවන ක්ලාක් මහත්තයා මාළුවකුත් එළවළුවකුත් සමග බත් පත බැඳගෙන හමගිය හම් බෑග් එකේ දමාගෙන උදේ පාන්දරම කෝච්චියේ හෝ බස් එකේ එල්ලෙයි. ජීවිතයත් මරණයත් අතර සටනක් කර වැඩට එන මේ මිනිහා ඒ විදිහටම ආපහු ගෙදර යයි. මේ ආකාරයෙන් අවුරුදු 25 ක් 30 ක් රාජ්‍ය සේවයෙහි යෙදීමෙන් පසු ඔහුට විශ්‍රාම ගැනීමට සිදුවෙයි. ඊළඟට සිය විශ්‍රාම වැටුප හදාගැනීම සඳහා අවුරුදු දෙක තුනක්ම විශ්‍රාම වැටුප් කාර්යාලයට බඩ ගෑමට ඔහු බැඳී සිටියි. එකී ව්‍යායාමයෙන් පසු රුපියල් තිස් හතළිස් දහසක විශ්‍රාම වැටුපක් ඔහුට ලැබෙයි. එම මුදලින් තමාටත් තම වියපත් බිරියටත් බෙහෙත් ගැනීම, කසාද නොබැඳපු දුව නඩත්තු කිරීම (වයස පැන ඇති බැවින් ඇයට හිමියකු සෙවිය නොහැක. එබැවින් ඇයද නිල නොවන විශ්‍රාමික වැන්දඹුවකි) යනාදියට කැපවීමට විශ්‍රාමිකයාට සිදුවෙයි. මුළු ජීවිතයම දුක් අනුභව කළ හෙතෙම ඉතිරි කාලය ගත කරන්නේත් දුකෙහිම ගැලී ගෙනය. රට වෙනුවෙන් කැපවූ එවැනි විශ්‍රාමිකයෙක් රුපියල් තිස් හතළිස් දහසක මාසික විශ්‍රාම වැටුපක් ගනිද්දී විශ්‍රාමික ජනාධිපතිලාට සහ විශ්‍රාමික ජනාධිපති ආර්යාවන්ට මසකට රුපියල් ලක්ෂ 15 දක්වා විශ්‍රාම වැටුප් ගෙවීම කවරාකාරයෙන් විග්‍රහ කළ යුතුද යන්න අපට නම් වැටහෙන්නේ නැත.

ශ්‍රී ලංකාව 1948 දී නිදහස ලැබීමෙන් පසු ඉතා ක්‍රමානුකූල ලෙස හොර ගුහාවක් බවට පත්විය. මේ හොර ගුහාවේ වෙසෙන සාමාන්‍ය ජනතාව අලි බබා බවටත් දේශපාලනඥයන් රැළ හොරු 40 බවටත් පත්ව තිබේ. ජනතාවගේ දේපළ කොල්ලකන හොරු හතළිහ ගුහාවට ගෙනවිත් එම දේපළ බෙදා ගනී. ගුහාව අරින මන්තරය දැනගත් අලි බබාද හොරුන් නැති වෙලාවට ගුහාවට වැද හොර බඩු ටිකක් අරගනී. මේ ශ්‍රී ලංකාවේ දේශපාලනය කළ වැඩි දෙනෙක් අද වනවිට ප්‍රකෝටිපතියෝය. ගිය ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස සිටි වැඩි දෙනෙක් අද වනවිට සාමාන්‍ය මන්ත්‍රීවරුන් ලෙස ජීවිත ගත කළත් ඔවුන්ගේ ගෙවල්වලට ගිය විට ජනතාවට පිස්සු හැදීම නොවැළැක්විය හැකිය. මෙවැනි මන්ත්‍රීවරුන් වැඩි දෙනකුගේ ගෙවල් AC කර ඇති අතර ඇමැති කාලයේදී ලැබුණු ආරක්ෂාව හා සමාන ආරක්ෂාවක් අදටත් ඔවුන්ට ලැබේ. අප දන්නා පරිදි මෙවැනි සමහර මන්ත්‍රීවරුන්ගේ පය පාමුලට ටෙන්ඩර් වර්ෂා කඩා හැලීම අදටත් සිදුවන්නේය. මේ කාටවත් සල්ලිවලින් කිසිදු අඩුවක් නැත. සල්ලි නැත්තේ අපටය. හැබැයි AC වෙනුවට අපට හුළං තිබේ. කොතරම් දිගට ලිව්වත් මෙය ඉවරවන කතාවක් නොවේ. මේ කතාව ඉවරවීමට නම් මේ රටේ දේශපාලනයද ඉවරවී රට ජනශූන්‍ය බිමක් බවට පත්විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment