චාමර සම්පත්ගේ ජංගම උසාවිය

1435

තම අමාත්‍යාංශය යටතේ ඇති ලංකා පොස්පේට් ආයතනයේ නිරීක්‍ෂණ සංචාරයේ නිරත වූ රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක හැසිරුණ ආකාරය පිළිබඳ මතභේද රැසක් මතුව තිබේ. ආයතනයේ නිලධාරියකු විසින් ආයතනය සඳහා මිලට ගෙන ඇති යාන්ත්‍රික කොටසක් පාවිච්චියට නුසුදුසු තත්ත්වයේ පවතින බව සේවකයන් කියන නිසා එම නිලධාරියා කැඳවූ රාජ්‍ය ඇමැති දසනායක ආයතන භූමියේදී පිස්සුවක් කෙළියේ ය. රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක එප්පාවල පිහිටි ලංකා පොස්පේට් සමාගමේ පරිශ්‍රයට පැමිණීමත් සමඟම පැය භාගයක් පමණ දීර්ඝ වූ විකට වැඩසටහනක් ඇරඹිණ. මේ වැඩසටහන මුලින්ම පටන් ගන්නේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් ආරක්‍ෂක පෙරට්ටුවක් නිරීක්‍ෂණය කිරීම ය. එම පෙරට්ටුවේ සිටි මුළු ගණන ආරක්‍ෂක නිලධාරීන් 10 ඉක්මවූයේ නැත. ඒ සියලුම දෙනා පෞද්ගලික ආරක්‍ෂක සමාගමකට අයත් සිකුරිටිගාඩ්ලා වෙති. රාජ්‍ය ඇමැති චාමර සම්පත් මේ අය අතරින් ඇවිද ගොස් කරන ලද විකාරය ඔහු විහිළුවක් බවට පත් කිරීම සඳහා ආයතනයේ ඉහළ නිලධාරීන් විසින් හිතාමතාම සංවිධානය කරන ලද දෙයක් ලෙස අපි විශ්වාස කරමු. අපට දුක චාමර සම්පත් මේ විකට ගැටයට හසුවීමය. මේ රාජ්‍ය ඇමැතිවරයා සාමාන්‍ය ජනතාව අතරින් පැමිණි දේශපාලනඥයෙකි. ඔහු හොරෙකු බවට කිසිදු තැනක කිසිදු චෝදනාවක් නැත. එබැවින් ආරක්‍ෂක භට ඛණ්ඩය නිරීක්‍ෂණය කර විකටයකු නොවී තම තත්ත්වය රැක ගැනීම ඔහු කළ යුතුව තිබිණ. මීට පෙර මෙවැනි හරක් වැඩ කළේ කැලණියේ සිටි ප්‍රචණ්ඩ දේශපාලනඥයා ය. රාජ්‍ය නිලධාරීන් ගස් බැඳීම ඇතුළු විහිළු වැඩ රාශියකට සම්බන්ධ වූ ඔහු අන්තිමට ආසනයත් පැරදී ගෙදරටම වී පුවත්පත් සාකච්ඡා පවත්වමින් සිටී.

නැවතත් චාමර සම්පත් සිද්ධිය දෙසට හැරෙමු. මතභේදයට තුඩු දී ඇති යාන්ත්‍රික කොටස මිලට ගත් කනිෂ්ඨ නිලධාරියා කැඳවූ රාජ්‍ය ඇමැති දසනායක ඔහුට හොඳටම බැණවැදී ලොකු කලබලයක් කළේය. නිලධාරියාත් රාජ්‍ය ඇමැතිවරයාට උත්තර දීමට තැත් කළ අවස්ථා සියල්ලම වළක්වන ලදි. ඇමැතිතුමා නිලධාරියා කෙරෙහි කෝපයෙන් පසුවන බව දැනගත් සේවකයන් පිරිසක් එම නිලධාරියාට පහරදීමට තැත් කළහ. එම සිද්ධියේදී නිලධාරියාගේ කමිසය ඉරී ගියේය. ඊළඟට පොස්පේට් සමාගමේ සභාපතිනිය ඇමතූ රාජ්‍ය ඇමැතිවරයා මතභේදයට තුඩු දුන් නිලධාරියාගේ වැඩ තහනම් කරන ලෙස නියෝග කළේය. මූලික විනය පරීක්‍ෂණයකින් තොරව කිසියම් කෙනෙකුගේ වැඩ තහනම් කරන්නේ කෙසේ දැයි අපට නොතේරේ. ඒ අතර දැනටමත් එම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත. රාජ්‍ය ඇමැති ඉදිරියේදී නිලධාරියාට පහරදීමට තැත් කොට ඔහුගේ කමිසය ඉරා දැමූ ලංකා පොස්පේට් සේවකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති නමුදු එවැන්නක් සිදු වී නැත. මේ ඇමැතිතුමා නියම මිනිහෙකු නම් පෙර කී ප්‍රචණ්ඩකාරීන්ගේ ද වැඩ තහනම් කළ යුතුව තිබේ. සෑම ආණ්ඩුවකම විකටයෝ සිටිති. එම විකටයන් විවිධ තැන්වලට ගොස් කරන ගොන් වැඩවල විපාක විඳීමට සිදුවන්නේ පවතින ආණ්ඩුවට ය. මෙහිදී ලංකා පොස්පේට් සභාපතිනිය ගැන ද යමක් කිව යුතුව තිබේ. තම ආයතන පරිශ්‍රයට පැමිණෙන දේශපාලනඥයකු තම නිලධාරියකුට පහරදීම සඳහා සේවකයන් උසිගන්වන විට එයට එරෙහිව කතා කිරීමට හෝ ඉලපතකින් පහරදී දේශපාලනඥයා පලවා හැරීමට හෝ ඇයට කොන්ද පණ නොතිබුණේ ඇයි? දේශපාලනඥයාගෙන් භාගයක් නරක් කරන්නේ ඡන්දදායකයන් විසිනි. ඉතිරි භාගය නරක් කරන්නේ නිලධාරීන් විසිනි.

අදාළ ආයතනයේ මතභේදයට තුඩු දුන් යන්ත්‍ර කොටස මිලට ගත් නිලධාරියා හොරෙක්ද නැද්ද යන්න අප දන්නේ නැත. ඔහුට පෙර වැරදි තිබේද යන්න ගැනත් අප දන්නේ නැත. කෙසේ වුවද ලංකා පොස්පේට් සේවකයන් සහ ඔහු අතර අර්බුදයක් තිබෙන බව පෙනේ. සේවකයන් ඔහුට පහර දීමට සූදානම් වුණේ කිසියම් පදනමක් ඇතිව බව අපිද පිළිගන්නෙමු. මන්ද නිලධාරීන් විසින් හොරකම් කරනු ලැබ පොස්පේට් ආයතනය වැසී ගියහොත් මහපාරට වැටෙන්නේ එහි සේවය කරන සාමාන්‍ය කම්කරු ජනතාව ය. ඒ කෙසේ වුවත් වැඩක් කරන පිළිවෙළක් තිබේ. රාජ්‍ය ඇමැති චාමර සම්පත්ගේ සහ නිලධාරියාට පහරදීමට තැත් කළ සේවකයන්ගේ කල්ක්‍රියාවට අනුව පෙනී යන්නේ ඔවුන් සිවිල් සමාජයේ තිබෙන නීති ගැන නොදන්නා බව ය. කෙනෙක් මිනීමැරුමක් සිදුකළ විට එම ස්ථානයේම තබා මිනීමරුවා ඝාතනය කරනු නො ලැබේ. ඒ සඳහා නෛතික ක්‍රමවේදයක් ඇත. මිනීමරුවාට එරෙහිව නඩුවක් පවරා එය විභාග කර දඬුවම් කිරීම සිදු වේ. පොස්පේට් සමාගම තුළ එදා ඇති වූ සිද්ධිය මගින් අපට මතක්කර දෙන්නේ මෙයට කලකට පෙර ඇෆ්ගනිස්තානයේ තිබූ ජංගම උසාවි ක්‍රමයයි. මෙයට අවුරුදු ගණනාවකට පෙර ඇෆ්ගනිස්තානය අල්ලා ගත් අන්තවාදී තලේබාන් සංවිධානය ජංගම උසාවි ක්‍රමයක් පිහිටුවූහ. එය මෙසේය. බූරුවකු බැඳි කරත්තයකට නඟින ආගමික විනිශ්චයකාරයෙක් කඩු පොලු අතින් ගත් තමා බඳුම අන්තවාදීන් පිරිසක් සමඟ ගමින් ගමට යයි. ඊළඟට ගමේ එක තැනක නවතින විනිසුරුවා ඇතුළු පිරිස පළාතේ හටගත් විවිධ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන සැකකරුවන් ඒ වෙලාවේම එතැනට කැඳවා ඝාතනය කරනු ලැබේ. මෙහිදී විත්තිය හෝ පැමිණිල්ලේ සාක්‍ෂි විභාග නොකෙරේ. කෙනෙකුට මරණ දඬුවම දීමට අවශ්‍ය වන්නේ ඔහු වරදක් කළ බව කියැවෙන පැමිණිල්ලක් පමණි. මේ රටේ ඇමැතිවරුන් සියලුදෙනාම තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් චාමර සම්පත්ගේ ජංගම උසාවිය හා සමාන උසාවි පවත්වන්නට ගියහොත් විශාල පරිපාලනමය අර්බුදයක් හට ගන්නවා ඇත. ඒ නිසා මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. මේ නඩුව කීමට අපට ඇත්තේ එතුමා පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment