රිය අනතුරු පෙළපොතට: ගිය වසරේ වාහනවල හැපී ළදරුවන් 400ක් මිය ගිහින්

164

මහා මාර්ගයේ සිදුවන අනතුරු හා එයින් වැළකීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන 06 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ගණිතය පෙළපොත්වලට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා පැවසීය.

මාර්ග ආරක්ෂාව, රිය අනතුරු සහ මාධ්‍ය භාවිතය පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක දී ඔහු එසේ කීය.

මාර්ග රිය අනතුරු වළක්වා ගැනීමේ කාර්යය පිළිබඳව පාසල් කාලයේ සිට ම දැනුවත් කිරීම ඉතා වැදගත් බැවින් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ජාතික අධ්‍යාපන ආයතනය සමග සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම කීය.

කොළඹ පදනම් ආයතනයේ පැවැති මෙම වැඩමුළුවේදී තවදුරටත් කතා කළ සභාපතිවරයා මෙසේ ද කියා සිටියේය.

රිය අනතුරුවලින් වැළකීම ගැන 6 හා 11 ශ්‍රේණිවල විද්‍යාව හා ගණිතය පෙළ පොතට ඇතුළත් කිරීම තුළින් දරුවන්ගේ ජීවිත කාලයට මතක හිටින විදිහට මනසට යාවි. මේ තුළින් අනතුරු හුඟක් වළක්වාගන්න පුළුවන් වෙනවාට කිසිදු සැකයක් නැහැ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය සමත් ධර්මරත්න මහතා යුද්ධ කාලයේ මියගිය සංඛ්‍යාවටත් වඩා රිය අනතුරුවලින් මිය යනවා. දැනටමත් දවසකට රිය අනතුරුවලින් පුද්ගලයින් 8 ත් 9 ත් අතර සංඛ්‍යාවක් මිය යනවා. මේක ඉතාමත්ම බරපතළ තත්ත්වයක්.

ඒ වගේ ම පසුගිය 20 22 වසරේදී රිය අනතුරුවලින ළදරුවන් 400 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ වගේම ඉදිරි අවුරුදු 20 තුළදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 60,000 ක් මිය යයි කියලා අපේක්ෂා කරනවා. මේ තත්ත්වය තුළ අපිට රුපියල් බිලියන 200ක පමණ මුදලක් අහිමි වෙන්න පුළුවන්. මෙම තත්ත්වයන් ගැන හිටපු ජනාධිපතිවරුන් දෙන්නෙකුටත් කිව්වා. ඒත් පලක් වුණේ නැහැ.

ලෝකයේ සිදුවන රිය අනතුරුවලින් වැඩියෙන්ම මිය යන්නේ යතුරුපැදිකරුවන්, පදිකයින් හා පාපැදිකරුවන්, ඉන් වැඩිපුරම මිය යන්නේ තරුණ පිරිස, තවත් අය තුවාල වෙනවා. තවත් අය සදාකාලික අබ්බගාතයෝ බවට පත් වෙනවා. ඒ වගේම රිය අනතුරු නිසා වසරකට අපේ රටේ පුද්ගලයින් 3000 ක් විතර මිය යනවා. ලක්ෂ 2 ක් විතර තුවාල ලබනවා. 72,000 ක් විතර අබ්බගාතයෝ බවට පත් වෙනවා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා මේ තත්ත්වය බරපතළ බව ජනතාව අතරට ගෙනියන්න මාධ්‍යකරුවන් වැඩි වශයෙන් කටයුතු කරන්න ඕන.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජුඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment