ලංකා බැංකුව සිය අභිමානවත් 84 වැනි සංවත්සරය සමරයි

62

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව (BOC) 2023 අගෝස්තු 1 වැනි දින සිය 84 වන සංවත්සරය සමරයි. එමෙන් ම ශක්තිමත් ශේෂ පත්‍රය, තාක්ෂණික ප්‍රවේශය සහ සමස්ත දිවයින ම ආවරණය වන ශාඛා ජාලය සමඟින් මෙරට ශක්තිමත් ම බැංකුව ලෙස සිය ස්ථාවරය පවත්වාගෙන යන ලංකා බැංකුව 2023 වසර සඳහා රුපියල් බිලියන 50ක සන්නාම වටිනාකමක් වාර්තා කරමින් මෙරට අංක 1 බැංකු සන්නාමය ලෙස Brand Finance Lanka වෙතින් ශ්‍රේණිගත කිරීම සමඟ අඛණ්ඩව වසර 15ක් සම්මානයට පාත්‍ර වී ඇත. ඊට අමතරව ලංකා බැංකුව ‘The Banker UK’ විසින් සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීමේ දී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් කෙරුණු අතර, එම ශ්‍රේණිගත කිරීම ලැබූ එක ම ශ්‍රී ලාංකේය බැංකුව ලෙස ද හඳුන්වා දිය හැකිය.

මෙවර සංවත්සරයේ විශේෂත්වය වන්නේ ලංකා බැංකුවේ ආරම්භය මෙරට ආර්ථික ඉතිහාසයේ ප්‍රධාන සංධිස්ථානයක් වීමයි. ලංකා බැංකුවේ 84 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ දී රට තුළ පවතින මූල්‍ය සේවා ඉල්ලුම හා සැපයුම පිළිබඳ ස්වභාවය 1939 වසරේ දී ලංකා බැංකුව ආරම්භ කළ කාල වකවානුවේ මෙරට පැවති ආර්ථික තත්ත්වයට අනුරූපීව පැවති මූල්‍ය සේවා ඉල්ලුමේ හා සැපයුමේ ස්වභාවයට සමාන බව ඒ පිළිබඳ ව විශ්ලේෂණාත්මකව විමසා බැලීමේදී පෙනේ. ලංකා බැංකුවේ ආරම්භයත් සමඟ මෙරට තිරසාර සංවර්ධනය වෙනුවෙන් සිදු කෙරුණු ආකාරයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව වර්තමානයේ දීද මතුව ඇත. ලංකා බැංකුව ‘මූල්‍ය ඇතුළත් කිරීම් (Financial inclusion) හා සම්බන්ධ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකි අතර, එමගින් ඉතා පහසුවෙන් මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය කරයි.

ලංකා බැංකුවේ ආරම්භක වකවානුව වන විට මෙරට ණය ඇතුළු මූල්‍ය සේවා බොහෝ විට ලබා දෙනු ලැබුවේ නාට්ටුකෝට්ටයි චෙට්ටියාර් නමින් හැඳින් වූ ව්‍යාපාරික ප්‍රජාවක් විසිනි. 1920 දශකයේ දී මෙම චෙට්ටියාර් ව්‍යාපාර යම් බිඳවැටීමකට ලක් වූ අතර, ඒ හේතුවෙන් දේශීය ව්‍යාපාරික ප්‍රජාව මහත් අපහසුතාවට පත් විය. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා විසින් මෙම කාරණය රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් විසින් කීර්තිමත් ඉන්දීය පාර්සි බැංකු කරුවෙකු වන ශ්‍රීමත් සොරාබ්ජී පොක්කනවාලා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමක් පත් කිරීමට අවසර ලබා දුන් අතර, එම සිදුවීම 1939 අගෝස්තු 01 වැනි දින එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් මහතා විසින් ලංකා බැංකුව පිහිටුවනු ලැබීමට මූලික හේතුවක් විය. මෙම ප්‍රවේශය සමඟින් මෙරට ඉතිහාසයේ පළමු වතාවට සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරයකට ගිණුම් විවෘත කිරීමේ හැකියාව මෙන් ම ගනුදෙනු කිරීමේ දී චෙක්පත් භාවිත කිරීමේ හැකියාව ලංකා බැංකුව ලබා දුන් අතර, එවකට කුඩා ව්‍යාපාර ලෙස ආරම්භ වී වර්තමානය වන විට මහා පරිමාණ ආයතන බවට පත් වී ඇති බොහෝ ආයතනවල සාර්ථකත්වයට මෙම සේවාව බෙහෙවින් ඉවහල් විණි. ‘මූල්‍ය ඇතුළත් කිරීම් (Financial inclusion) සංකල්පයේ සාර්ථකත්වය තහවුරු කරමින්, එය මෙරට සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් බවට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment