රටට මිතුරු හා හතුරු කවුද කියා ජනතාව තේරුම්ගෙන හමාරයි

137

ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න

දැන් මේ රටට ආදරය කරන්නේ කවුද? මිතුරු කවුද? හතුරා කවුද? කියා ජනතාව තේරුම් ගෙන හමාර’ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය

ජාතික ජන බලවේගය බලංගොඩ ආසන සමුළුව අමතමින් ඒ මහතා මේ බව කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය

අද හැමෝම කියන්නේ මේ රට ඊළඟට බාරදෙන්නේ කාටද? කොළවලටත් දුන්නා. නිල්වලටත් දුන්නා. දැන් ඇති. දැන් මාලිමාවට දෙන්න, ජාතික ජන බලවේගයට දෙන්න. 2023 වසර මේ රටේ දේශපාලනයේ නව පිටුවක් පෙරළන, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදනවා. මේක ඔබේ වාරය. පොදු ජනතාවගේ වාරය. ජාතික ජන බලවේගය වටා එකතු වීම හැර අන් විකල්පයක් නැහැ. අද පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ. ඩලස්, වීරවංශ, මෛත්‍රී, කෑල්ල, කෑල්ල ගලවගෙන ගිහිල්ලා. ඒකට රනිල්ගේ මුක්කුවක් ගහලා අටවගෙන තිබෙනවා. රනිල් හිතනවා නම් ඒ මුක්කුවෙන් මේ ගැලවෙන, ඇලවෙන වැටෙන්න හදන වහලයි, ගේයි රැකගන්න පුළුවන් කියලා ඒක විහිළුවක්. දැන් පොහොට්ටුව ඉවරයි. අලියි, පොහොට්ටුයි එකතු වෙලා පූට්ටු වෙලා ඉන්නවා.

රනිල්ගේ දේශපාලන මන්දිරේට ගිනි තිබ්බේ කවුද? රනිල්ගේ දේශපාලන මන්දිරේ තිබුණු බඩුමුට්ටු සජිත් හොරෙන් අරන් ගියා. සජිත් කිව්වේ රනිල්ට බැහැ. මම ඊළඟට බලය ගන්නවා. දැන් රනිල්, සජිත් හොරෙන් අරන් ගිය බඩු ආපහු අරගෙන එනවා. හරින්, මනූෂ ගෙනාවා. අපට ආරංචියේ හැටියට රාජිතත් හොරෙන්ම නැවත එනවා. රනිල් පතුරු එකතු කරනවා. මේ ඔක්කොම පතුරු රටට හතුරු. අවශ්‍ය වෙලාවට උන් උන්ටම අමුණනවා. පසුගිය ඉතිහාසයේ අපේ රටේ අවාසනාවන්ත තත්වයක් තිබුණා. මේ රටට සැබෑ ලෙසම ප්‍රේම කරන, මේ රට ගොඩගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය, ඇත්තම මිත්‍රයා කවුද කියා තේරුම් ගන්න මිනිස්සුන්ට අපහසු වුණා. නමුත් දැන් මේ රටට ආදරය කරන්නේ කවුද? මිතුරු කවුද? හතුරා කවුද? කියා ජනතාව තේරුම් ගෙන හමාරයි.

අපි සන්ධාන ආණ්ඩුව කාලයේ ඉඩම්, කෘෂිකර්ම, පශුසම්පත්, වාරිමාර්ග ඇමති අනුර කුමාර දිසානායක. අපි මාස 14ක් ඇමති ධුර දැරුවා. නුවරඑළිය, අඹේවෙල කිරි කර්මාන්ත ශාලා අපි ගන්නකොට පාඩුයි. බැංකු ලෝන් එකක් දාලා තමයි පඩි ගෙව්වේ. ආදායම නැහැ. චන්ද්‍රිකා යොජනා කළා වහමු කියලා. අපි මාස 14න් යන කොට අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවේ පාඩුව පියවලා, බැංකු ලෝන් එක සම්පූර්ණයෙන් ගෙවලා, මිලියන ගණනක් ඉතුරු කරලා, කිරි ගොවියාට වැඩි මිලක් ගෙවලා, කිරි කර්මාන්තය දියුණු කරලා, ලංකාවේ කිරි

ගම්මාන 500ක් දාලා වැඩ පිළිවෙළ ආරම්භ කළා.

අපි ලංකාවේ කිරි කර්මාන්තය නගා සිටවූ මිනිස්සු. කිරි කර්මාන්තය දියුණු කිරීමට අපි සූදානම්. අනුර සහෝදරයා ගෙනාවා යෝජනාවක්. “දැයේ කිරි සුවඳ, කිරි ගොවි ගම්මාන 500’ කියලා අපි ආරම්භ කළා. පළමු එක බදුල්ල, වැලිමඩ, දික්කාපිටිය ගම්මානය. පවුල් 50ක් ඕනෑ. අලුත් කොල්ලෝ කෙල්ලෝ තෝරා ගත්තා. දැනුම දීලා ඔළුව හැදුවා. නවීන ක්‍රමයට කරන්න, ගාල හදා ගන්න, ලක්ෂයක බඩු දුන්නා. භාජන නොමිලේ දුන්නා. 2% වාගේ අඩු පොලියට ණයක් දුන්නා කිරි වැස්සියන් මිලදී ගැනීමට. ඉන්දියාවේ අමූල් ව්‍යාපාරයෙන් දවසට කිරි ලීටර් 30-35ක් දෙන කිරි වැස්සියෝ ගෙනත් දුන්නා. අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවට කිරි වැඩියි. ඒ නිසා අපි කුරුණෑගල ඉඩමක් වෙන් කරලා, නව කිරි කර්මාන්ත ශාලාවක් බිහි කරලා, කොල්ලන්ට කෙල්ලන්ට දහස් ගණනක් රැකියා දෙන්න කැබිනට් පත්‍රිකාවක් දාන්න අනුර සහෝදරයා ලක්ෂ 500ක් වෙන්කර ගත්තා. අපි සියල්ල සූදානම් කරගෙන ඉන්න කොට මාස 14න් අපිට එළියට එන්න සිදුවුණා. ඊළඟට ආව කිරි ඇමතියා කිරි ගම්මාන වැඩේ නැවැත්තුවා. අර ලක්ෂ 500 වෙන වැඩකට ගත්තා. ඉඩමත් වෙන වැඩකට ගත්තා.

ඇයි මේ පාලකයෝ කිරි කර්මාන්තය හැදුවේ නැත්තේ. ලූනු, සුදු ලූනු, පරිප්පු, තෙල්, බෙහෙතේ

ගේන්නේ, කිරි පිටි පිටරටින් ගේන්නේ දේශපාලනඥයෝ සහ ඔවුන්ගේ ඥාති හිතවතුන්. ඒ අය ගිහින් කිව්වා ජේවීපී කාරයෝ මේ විදිහට කිරිගොවි ගම්මාන දැම්මොත් අපේ බිස්නස් වැටෙනවා. අපිට ලාභෙ නැතිවෙනවා. ඔබතුමාට කොමිෂන් දෙන්න බැරි වෙනවා. ඒ නිසා කිරි ගම්මාන වැඩේ නවත්තන්න කිව්වා. ඉතින් ෆැක්ටරිය නැවැත්තුවා.

මේ රටේ පාලකයෝ දුප්පතුන් තියා ගන්නවා. නූගත්කම තියා ගන්නවා. ඒ ඇයි? දුප්පත්කම, නූගත්කම පාලකයන්ට ආශිර්වාදයක්. දේශපාලන වුවමනාව සඳහා ඒ අය දුප්පතුන් පාවිච්චි කරනවා. ඉගෙන ගන්නේ නැති තරමට ඔවුන් කැමතියි. එතකොට අරක්කු කාලට, වැසිකිළි පෝච්චියට මිනිස්සු රවට්ටන්න පුළුවන්. දැන් ඒ ජනතාව රැවටීමේ යුගය ඉවරයි.

advertistmentadvertistment
advertistmentadvertistment