සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක්: සහල් මෙට්‍රික් ටොන් 735ක් පාසල්වලට බෙදීම ඇරැඹෙයි

72

පාසල් ඇරැඹීමෙන් පසු පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක් හා රටඉඳි මෙට්‍රික් ටොන් 300කුත් පාසල් වෙත

පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී ඊයේ (19 දා) ආරම්භ කෙරිණි.

පාසල් දරුවන් අතර යකඩ ඌනතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්. රිෆ්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම ඊයේ ආරම්භ වූ අතර එය අද (20) දිනයේ ද ක්‍රියාත්මකය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කෙරෙයි.

මේ අතර ලබන මැයි 19 වැනිදා නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, සන්ෆ්ලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක්, රටඉඳි මෙට්‍රික් ටොන් 300ක් පාසල් වෙත බෙදා දීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්. රිෆ්ලාන් මහතා පැවසීය.

දිවයිනේ 1-5 දක්වා ශ්‍රේණිවල සියලුම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලුම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDIA) ඇතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment