‘බලතල දෙන්න බලය දුන්නේ කවුද’

264

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් උතුරට ඉඩම්, පොලිස් බලතල ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලයක් ලබා දුන්නේ කවුදැයි කියා ප්‍රශ්න කරන බව මිහින්තලා විහාරාධිපති අතිපූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරයා එලෙස කටයුතු කිරීමට සැරසෙන්නේ තෛපොංගල් දා රටේ රාජ්‍ය නායකයා යාපනයට පැමිණෙද්දී එයට විරෝධය දක්වමින් ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට අශූචි මිශ්‍ර මඩවතුර ගැසූ පසුබිමක බව ද උන්වහන්සේ පැවසූහ.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ඊයේ (08 වැනිදා) කොළඹදී පැවැති විරෝධතාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරවරුනි අපි ජාතිවාදීන් නෙමෙයි. ඒ විදිහට අශූචි මිශ්‍ර මඩවතුර ප්‍රහාර එල්ල කරලත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ පළාත් නවයකට රට බෙදන්න සූදානම් වෙනවා නම් රනිල්ට ජනාධිපති වෙන්න පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන්න අය මේවාට පිළිතුරු ලබාදිය යුතුයි.

අපේ නායකයෝ වෙන්නේ අවුරුදු පහක් බලයට එන දේශපාලනඥයෝ නෙවෙයි. ත්‍රෛනිකායික මහා සංඝරත්නයයි මේ රටේ බෞද්ධ නායකත්වය. මහා සංඝරත්නයේ නායකයන් උන්වහන්සේලායි.

එනිසා එන්න මේ රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපි පෙරමුණට යමුයි කියල බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගෙන් වගේම හින්දු කුරුක්කල් තුමන්ලාගෙන් හා ඉස්ලාම් මව්ලවිතුමන්ලාගෙනුත් මම ඉල්ලා සිටිනවා යැයි ද උන්වහන්සේ එහිදී වැඩදුරටත් පැවසූහ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment