රන්ජන්ව මංගල දර්ශනයට ගේන ජනිත්ලාගේ ගේම සාර්ථක වෙයිද?

280

‘ද ගේම්’ කියන්නේ ආතල් චිත්‍රපටයක් සිංහල සිනමාවේ සුපිරි තරුව වන රන්ජන් රාමනායක සිරගත කිරීමට පෙර රඟපෑ ‘ද ගේම්’ චිත්‍රපටය එළැඹෙන 20 වැනිදා සිට දිවයින පුරා සිනමා හල්වල තිරගත කිරීමට සියල්ල සූදානම් වෙනවා.

ඉතිං රන්ජන් සමග ‘ද ගේම්’ චිත්‍රපටයේ කරට කර රඟ පෑ කලා පවුලකින් පැවත එන ජනප්‍රිය නළුවෙන් වන ජනිත් වික්‍රමගේ සමඟ ‘ද ගේම්’ ගැන කතා බහ කරන්න

අපි හිතුවා. මොකද රන්ජන් රාමනායක නැතිව ජනිත්ලාට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද? අනික රන්ජන්ව මංගල දර්ශනයට එක්කගෙන එන කතාව ඇත්තක්ද?

ඒ වගේම ජනිත් වික්‍රමගේත් රශ් චිත්‍රපටයෙන් පසුව තමයි ‘ද ගේම්’ චිත්‍රපටයෙන් දකින්න ලැබෙන්නේ. ඒ නිසාම ජනිත් වික්‍රමගේට අපි මේ ඉඩකඩ වෙන් කළා.

රන්ජන්ව මංගල දර්ශනයට ගේන ජනිත්ලාගේ ගේම සාර්ථක වෙයිද?

● ජනිත් 20 වැනිදා ඉඳලා ගේමක් ගහන්න ලෑස්ති වෙනවා කියන්නේ?

ඔය කියනවා ඇත්තේ සුරංග ද අල්විස් මහත්මයාගේ ‘ද ගේම්’ චිත්‍රපටය ගැන වෙන්න ඇති. අපි මේ චිත්‍රපටය නිර්මාණය කරලා වසර දෙකක් විතර බලාගෙන හිටියා තිරගත කරන්න. දැන් තමයි වේලාව. ඒක හින්දා මැයි 20 වැනිදා චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

● රන්ජන් රාමනායක නැතිව මේ ගේම ගහන්න පුළුවන් වෙයිද?

මම හිතනවා ඔහුට වුණ අසාධාරණයත් එක්ක එළියේ ඉන්නවාට වඩා අනුකම්පාවක් ඇතුලේ ඉන්නකොට තියෙනවා කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. ඔහුගේ සියලුම ආශිර්වාද ඇතිව තමයි මේ චිත්‍රපටය තිරගත කරන්න හදන්නේ. ඔහුට විරුද්ධව හිටපු අය පවා ඔහුට වුණ අසාධාරණයත් එක්ක ඔහුට ලෙංගතුභාවයක් තියෙනවා කියන ලොකු විශ්වාසයක් මට තියෙනවා.

● රන්ජන් රාමනායක සමඟ අවසන් වරට ඔබටත් රඟපෑමේ අවස්ථාව උදාවුණා නේද?

මම ගොඩක් ආශාවෙන් බලාගෙන හිටියේ ඔහුත් සමඟ වැඩ කරන්න. මම සෑහෙන්න ඔහුට ආදරය කරලා තියෙනවා. මම අදටත් විශ්වාස කරන්නේ ෆැන්ටසි සිනමාව බිහි කරන්න පුළුවන් නළුවා ඔහු කියලයි. අන්තිමට වැඩ කරන කොට මට පෞද්ගලිකව හිතුණේ ඉතාමත් නිහතමානී චරිතයක් කියලා. මෙහි පිටපත ලැබෙනකොටම තිබුණ දෙයක් තමයි චරිත දෙකම කරට කර රඟපාන්න තිබුණ අවස්ථාව. මම ඒ වෙලාවේ අධ්‍යක්‍ෂවරයාගෙන් විමසුවේ මේ චිත්‍රපටයේ නිළිය මට දැනගන්න අවශ්‍ය නැහැ එහා පැත්තේ ප්ලේ කරන නළුවා මට දැන ගන්න ඕනෑ කියලා. ඒකත් එක්කයි මම මේ චරිතය භාරගන්නේ කියලා රන්ජන්ගේ නම කිව්වහම මට පොඩි චකිතයක් ආවා. මොකද සිනමාවේ සුපර්ස්ටාර් එක්කනේ මට රඟපාන්න තියෙන්නේ. දර්ශන තලයේදී ඇහුන දෙයක් තමයි ගොඩක් දේවල් ඔහුගෙන් ඉගෙන ගන්න තියෙනවා කියන කාරණාව.

රන්ජන්ව මංගල දර්ශනයට ගේන ජනිත්ලාගේ ගේම සාර්ථක වෙයිද?

● රූගත කිරීම්වලදී බිහිසුණු අත්දැකීම්වලට එහෙම මුහුණ දුන්නාද?

රූගත කිරීම්වලදී ප්‍රශ්න කිපයක්ම ආවා. එකවරක් රන්ජන් අයියා ගේ ඇමැතිකම නැති වෙනවා. ඊට පස්සේ ආණ්ඩුව මාරු වෙනවා. හරියටම අවසන් ෂූට් එක කරපු දවසේ තමයි රන්ජන් අයියාව පළමු වතාවට අත්අඩංගුවට ගත්තේ. ඊට පස්සේ හඬ කැවීම්වලට ගෙන්වා ගැනීමටත් ලොකු ගැටලුවක් තිබුණා. පළමු සිරගත කිරීමෙන් පසුව නිදහස් වුණාම පස්සේ තමයි හඬ කැවීම් සිදු කර ගත්තේ. අන්තිමට අධ්‍යක්‍ෂවරයාට කියලා ගිහිල්ලා තියෙන්නේ ඔන්න මල්ලි මම උඹලාට නිධානයක් දීලා ගිහිල්ලා තියෙන්නේ කියලයි. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔහුව මංගල දර්ශනයට ගෙන්න ගන්න. හැබැයි ඒක කොහොම වෙයිද කියන්නෙ දන්නේ නැහැ. මොකද මේ රටේ මිනිස්සු කලාවට සිනමාවට, සිනමාකරුවාට කොච්චරට ආදරෙයිද කියන එකත් ප්‍රශ්නයක්.

● ඇත්තටම මංගල දර්ශනයට රන්ජන්ව ගෙන්වා ගන්න පුළුවන් වෙයිද?

උත්සාහ කරනවා ඒ වෙනුවෙන් සියලුම වැඩකටයුතු කරගෙන යනවා. ඇත්තටම අපිට අවශ්‍ය මිනිස්සුන්ට ඔහුව පෙන්වනවාට වඩා ඔහුට මේ චිත්‍රපටය පෙන්වීමටයි. අපි දන්නේ නැහැ අපේ උත්සාහය අසාර්ථක වෙයිද කියලා.

● ජනිත් ටෙලිනාට්‍යවලින් දකින්න ලැබෙන්නේ නැහැ?

මට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මම අන්තිමටම සම්බන්ධ වුණේ සිරස නාලිකාවේ විකාශනය වුණු නීල පබලු ටෙලිනාට්‍යයට විතරයි. ඊට පස්සේ ‘ද ගේම්’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ජුලි මාසයේ පටන් ගන්න චිත්‍රපටයක රූගත කිරීම්වලට දායක වෙන්නයි ඉන්නේ. මේ වසර අවසානයේ තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒකත් එක්ක ගොඩක් වෙලාවට සුරංග ද අල්විස් ගේ චිත්‍රපටයක් වේවි. ඇත්තටම චිත්‍රපටයක හරියටම වැඩ කළොත් ටෙලිනාට්‍යයක ෂූටින් භාර ගන්නවා කියන එක මට නම් ප්‍රශ්නයක්. ටෙලි විෂන් එකේ පෙනෙන මුහුණක් බලන්න සල්ලි වියදම් කරලා සිනමා ශාලාවකට එන්නේ ඇයිද කියන කාරණාව ඒකාලේ ඉඳලා තිබුණ ප්‍රශ්නයක්.

ටෙලිනාට්‍යවල පසුගිය කාලයේ සිද්ධ වුණ දේවල් වගේම වෘත්තීමය ස්වභාවය නොමැති වීම නිසා මම වැඩියෙන් කැමැති සිනමාවේ වැඩ කරන්න.

● ටෙලිනාට්‍ය කලාව ගැන කලකිරීමෙන්ද ඉන්නේ?

කලකිරීමෙන් නෙමෙයි. මම හැම තිස්සේම විශ්වාස කරන දෙයක් තමයි අපිට මිනිස්සු හදන්න බැහැ කියන විශ්වාසය. අපි කරන දේවල් අනුව මිනිස්සු අපේ පැත්තට හැරුණොත් මිසක් මිනිස්සුන්ව අපිට කියලා හදන්න බැහැ. දීර්ඝව කරන ටෙලි නාට්‍යවලට මම කොහොමටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි හොඳ නිර්මාණයක් හම්බ වුණොත් මම රඟපානවා. ඊට අමතරව හොඳ චිත්‍රපට නිර්මාණ ටිකක් කරගෙන හොඳ වැඩක් කරන්න තමයි බලාපොරොත්තුව.

● මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපේ රටේ මිනිස්සු චිත්‍රපටයක් බලන මානසිකත්වයේ ඉන්නවා කියලා ඔබ හිතනවාද?

ඕක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මත්ද්‍රව්‍ය බොන මනුස්සයා මත්පැන් බෝතලයක මිල කීයක් වුණත් මිලදී ගෙන පානය කරනවා. අපි හිතමු ගෑස් සිලින්ඩරය රුපියල් දහදාහට ගියා කියලා මිනිස්සු බණිනවා තමයි. ඒ වගේම පීඩනයට පත්වෙනවා තමයි. නමුත් බැණ බැණ හරි පාවිච්චි කරනවා. ලංකාවේ අන්තිමට තිරගත වුණ ආශාවරී සහ හැපීබර්ත්ඩේ චිත්‍රපටය හොඳට තිරගත වෙලා තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා හැම දේකටම හේතු කියන.

ඉන්දියාවේ ඉන්නේ අපිටත් වඩා දුප්පත් මිනිස්සුනේ, ඒකනේ ඇත්ත කතාන්දරය.

ඒ වුණාට ඒ මිනිස්සුන්ගේ සිනමාව පිළිබඳ සංස්කෘතියක් තියෙනවානේ. මොන ප්‍රශ්න ආවත් පඩි හම්බවුණ ගමන් චිත්‍රපටි බලන්නේ යන්නේ. එහෙම කැපකිරීමක් කරලා යන්න පුළුවන් තරමේ නිර්මාණ අපේ රටේ තියෙනවාද කියන එකයි ප්‍රශ්නය. එහෙම නිර්මාණ බිහිවුණොත් මිනිස්සු සිනමා ශාලාවලට යනවා.

● කාලෙකට පස්සේ මල්ලි ලංකාවට ආවා නේද?

ඔව් ඔව් ඇවිත් ආපසු ගියා. මල්ලිගේ පළමු දරුවාගේ උපතට තමයි ආපසු ගියේ. මල්ලි මේ පාර ආවහම වැඩ කිහිපයක් සැලසුම් කරලයි ගියේ. එහේ වැඩ කටයුතු අවසන් කරලා ආපසු ලංකාවේ වැඩ කරන්න ඉඩ තියෙනවා. මිහිර අයියාගේ කෝ කුක්කෝ වේදිකා නාට්‍යයෙත් මල්ලී රඟපෑවා.

● අම්මා තාත්තා එක්ක ඔබ ගෙවන ජීවිතය

බොහොම සුන්දරව ගෙවී ගෙන යනවා. මගේ වැඩකටයුතුවලට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබාදෙනවා. ඒ ගොල්ලො තමයි හැමදාම ශක්තිය. ඒක ආපහු අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. මගේ නම වගේම මල්ලිගේ නම කියනකොටම මිනිස්සුන්ගේ ඔළුවට එනවා අපේ දෙමව්පියන්ගේ නම්.

● අම්මා තාත්තා කියන්නේ නැතිද මල්ලි වගේ පිළිවෙලක් වෙන්න කියලා.

එහෙම කියන වෙලාවල් තියෙනවා. හැමදාම මම හිතන දෙයක් තමයි අම්මට තාත්තාට ඕන හින්ද මම දෙයක් කරන මනුස්සයෙක් නෙමෙයි. ජීවිතේ කියන්නේ හැමදේම සාපේක්‍ෂයි. සමහර දේවල් නොලැබෙන්න පුළුවන්. සමහර දේවල් ලැබෙන්න පුළුවන්. ලැබීම තුළ හෝ නොලැබීම තුළ සංතෝෂය තියෙන්න පුළුවන්. අපි හොඳින් ජීවත් වුණොත් හැමදේම හොඳින් ස්වභාව ධර්මය ලබාදේවි කියන විශ්වාසයේ තමයි මම ඉන්නේ. බඳින්නේ නැහැ කියන තීරණයේ නැහැ. හැබැයි ඒක මට දුකකුත් නෙමෙයි. මිනිස්සු කොහොමත් ප්‍රශ්න අහනවානේ ජීවිතයේ හැමදේම මට හම්බ වුණා වගේම ඒ දේවලුත් මට වෙලාවට හම්බ වේවි.

● ජනිත් අධ්‍යක්‍ෂණයට අතගසන්න සූදානමක් නැතිද?

නැහැ. ඒක ඇවිල්ල වෙනම විෂයක්. අපේ කට්ටිය ඊළඟට පටලවා ගන්න එකම දේ ඕක තමයි. නළුවෙකුගේ ඊළඟ පියවර අධ්‍යක්‍ෂණයනේ. අධ්‍යක්‍ෂණය කියන්නේ වෙනම පාත් එකක් කියලයි මගේ විශ්වාසය. නළුවෙක් විඳිහට කරන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මම නිෂ්පාදන සම්බන්ධීකරණයට ආසයි. බොරු කියන්න ඕනෑ නැහැ. අධ්‍යක්‍ෂණයට එන්න ආශාවක් නැහැ.

● ජනිත් රසිකයන්ගෙන් ඉල්ලන ඉල්ලීම

මම කවදාවත් මගේ රසිකයන්ට බොරුවක් කරපු නැති කෙනෙක්. මුදලටත් නිර්මාණ කරපු නැති කෙනෙක්. රශ් තමයි මගේ අන්තිමට තිරගත වුණ නිර්මාණය. ඒකේ මගේ රංගනයට මිනිස්සු කොයි තරම් ආදරය කළාද? ඊට වඩා දහගුණයක් සිය ගුණයක් මේ චිත්‍රපටය හරහා ලබාගන්න පුළුවන්. රන්ජන් අයියාගෙයි මගෙයි සම්බන්ධය හොඳටම පෙනේවි කියලා මට හොඳටම විශ්වාසයි. ‘ද ගේම්’ කියන්නේ ආතල්ම චිත්‍රපටයක්. හොඳට දුවයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. වැඩේ පත්තු වෙන්නෙත් ආතල් වුණොත් විතරයි. ‘ද ගේම්’ ඉතිං ආතල්නේ.

 ● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment