13 ට ගිනි තබති – පොලිසිය මහ සඟරුවන ඇවිළෙති

224

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීරණයට එරෙහිව ඊයේ (08 දා) මහා සංඝරත්නය ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතකට ද ගිනි තබමින්, පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් හටගැනුණි.

13 ට ගිනි තබති - පොලිසිය මහ සඟරුවන ඇවිළෙති

මෙම විරෝධතා පෙළපාලිය සඳහා මහා සංඝරත්නය ඊයේ (08 දා) පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් ගමන් ආරම්භ කර තිබිණි.

මෙහිදී මහා සංඝරත්නය පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමත් සමග පොලිසිය ගමන වළකාලීම සඳහා බාධා පැමිණවීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගැනුණි.

13 ට ගිනි තබති - පොලිසිය මහ සඟරුවන ඇවිළෙති

මිහින්තලේ රාජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන මාහිමි, රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි හා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර, අගලකඩ සිරි සුමන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, ඉඳුරාගාරේ ධම්මරතන, ඌවතැන්නේ සුමන, අම්පිටියේ සුමනරතන, රජවත්තේ වප්ප යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විරෝධතාවයට එක්ව සිටියහ.

13 ට ගිනි තබති - පොලිසිය මහ සඟරුවන ඇවිළෙති

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බලය බෙදා නැවත හොරකම් කිරීමට සූදානම් වන බවත්, පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහට එය ඉටුකර ගැනීමට ඉඩ ලබානොදෙන බවත් තමන් වහන්සේලා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වනු ලබන්නේ රටේ අනාගතය වෙනුවෙන් බවත් මෙහිදී මහා සංඝරත්නය ප්‍රකාශ කළහ.

අපි රටේ දරුවන්ගේ අනාගතය රැකුමට ඉදිරියට ආවේ. පොලිසියේ මහත්වරු මේ කාවද රකින්න හදන්නේ. අපිව තල්ලු කරලා පස්සට යවලා, හොරු රැකලා රට රකින්න හිතනවා නම් ඒක වෙන්නේ නැහැ. අතීතයේත් මේ වගේ දේශද්‍රෝහී ක්‍රියාවන්ට බොහෝ උත්සහයන් ගෙන ආවා. නමුත් අපි එය එදත් පරාජය කළා. හෙටත් පරාජය කරනවා යැයි මහා සංඝරත්නය මෙහිදී ප්‍රකාශ කළහ.

මෙහිදී පොල්දූව මංසන්ධියේ මාර්ගයේ අසුන් ගනිමින් විරෝධතාවයේ නියැළුණු මහා සංඝරත්නය අවසානයේදී 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතකට ගිනි තැබීමට ද ක්‍රියා කළහ.

විරෝධතාවය අතරතුරදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස දන්වමින් ජනාධිපතිවරයා විසින් මහා සංඝරත්නය වෙත භාරදීම සඳහා රැගෙන ආ ලිපිය ප්‍රතික්‍ෂේප කිරීමට ද මෙහිදී මහා සංඝරත්නය පියවර ගත්හ.
සුජීව තත්සර සහ නිශාන් එස්.ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment