පොලිස් කැන්ටිමේ ලාබ කොරෝනා – අබ්ලික් Story

328

කරුණාසේන කොළඹ එක්තරා පොලිසියක රාජකාරි කරන කොස්තාපල්වරයෙක්. කරුණාසේනට භාරවෙලා තිබුණේ පොලිසයේ කැන්ටින් එක කරන එකයි.

 පොලිසියේ රාජකාරි කරන දෙතුන්සීයක් නිලධාරීන් කෑවෙ බිව්වෙ පොලිසියේ මේ කැන්ටිමෙන්. කොරෝනා වසංගතය නිසා පොලිස් නිලධාරීන් පිට කඩවලින් කන්න බොන්න ගියේ නැහැ. වැඩි ආරක්‍ෂාවට ඒ අය හැමදේම කෑවෙ බිව්වෙ මේ කැන්ටිමෙන්.

 කරුණාසේනත් බොහොම මහන්සි වෙලා මේ කැන්ටිම හොඳට කරගෙන ගියා. කරුණාසේනගෙ නෝනට රහට කෑම ජාති හදන්න පුළුවන්. කැන්ටිමට ඕන කරන රෝල්ස්, කට්ලට්, පෑන් කේක් ඇතුළු බොහෝ කෑම ජාති හැදුවෙ කරුණාසේනගෙ බිරිඳ.

 මේ කෑම ජාතිවලට පොලිසියෙ හැමෝම වගෙ වහවැටිලා හිටියෙ නිලදාරීන් වැඩිදෙනෙක් කොහෙ ගියත් පොලිසියේ කැන්ටිම හොයාගෙන ආවා. පිරිසිදුවට කටට රහට මොනව හරි කන්න.

 කරුණේ ඇස්වහක් කටවහක් නෑ උඹේ නෝනට නම් පුදුම පිහිටීමක් තියෙන්නේ. මේ වගේ රහට කෑම අපි කොහෙන්වත් කාලා නැහැ. පොලිසියේ අය බොහෝ දෙනෙක් කරුණාසේනට නෝන ගැන වර්ණනා කළා.

 කරුණාසේනත් පුදුම ආසාවකින් කැපවීමකින් මේ කැන්ටිම කරගෙන ගියා. මොන රාජකාරි තිබුණත් එයා උදේ පාන්දරම කෑම ජාති ටික හදාගෙන ඇවිත් කැන්ටිම ඇරලා නිලධාරීන්ට කන්න බොන්න දෙනවා.

 පසුගිය දවස්වල මේ කැන්ටිමේ කෑම ජාත එක දෙක අඩුවෙන්න ගත්තා. මේ කැන්ටිමේ ජනපි‍්‍රයම කෑම වර්ගය වුණේ පෑන් කේක්. ඒත් දවස් ගාණක ඉඳලා කැන්ටිමේ පෑන් කේක් තිබුණෙ නැහැ.

 කෝ… කරුණෙ පෑන් කේක්. නිලධාරීන් මේ ගැන විමසන්න වුණා.

 නෝනට නින්ද ගියා. නෝනා ගමේ ගියා. කරුණාසේන එක එක දවසට එක එක පිළිතුරු දීලා ෂේප් වුණා. ඔන්න ඔය අතරේ කරුණාසේනට හදිසියේම උණ ගැනුණා. හොඳටම කැස්ස. පොලිසිය කලබල වුණා කරුණාසේනට මොකද කියලා. අන්තිමේදී පී.සී.ආර්. එකක් කළා කරුණාසේන පොසිටිව්.

 එදා තමයි පොලිසියෙ කට්ටිය කරුණාසේනගේ ගෙදර වගතුග හොයන්න ගත්තේ. අන්තිමේදී හැම දෙයක්ම හෙළිවුණා.

 දවස් ගාණක් තිස්සේ කරුණාසේනගෙ නෝනා කොරෝනා ආසාදිතයෙක් වෙලා ඉඳලා තියෙන්නෙ. පොලිසියේ කැන්ටිම වහන්න බැරි නිසා නෝනා රෝගී තත්ත්වයෙන්ම ඉඳගෙන කෑම ජාති හදලා කැන්ටිමට එවලා.

 කැන්ටිම වහන්න වෙයි කියන බයට කරුණාසේන මේ හැම දෙයක්ම රහසක් විදිහට තියාගෙන හිටියා. කොරෝනා වෛරසය තියෙද්දී තමයි නෝනා කෑම ජාති හද හද පොලිසියේ කැන්ටිමට එවලා තියෙන්නෙ. අන්තිමේදී කරුණාසේන පොසිටිව් වුණාට පස්සෙ තමයි හැමදේම එළියට ආවෙ.

 කොහොම කොහොම හරි ඊට දින දෙක තුනකට පස්සෙ පොලිසියේ තුන්හතර දෙනෙකුත් පොසිටිව් වුණා. කරුණාසේනගෙ නෝනා හදපු පෑන්කේක් කාලද එහෙමත් නැත්නම් වෙන කොහෙන් හරි ලෙඬේ බෝ කරගත්තද කියන්න දන්නෙ උඩඉන්න දෙයියො විතරයි.

 රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment