ලිට්‍රෝ ගෑස් හිඟයේ රහස හෙළිවෙයි

428

මිල සූත්‍රයට අනුව ඉකුත් මාස තුනේදී ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහළ දැමීම නිසා ලබන 05 වැනිදාත් මිල පහළ වැටෙතැයි සිතා ඇතැම් ගෑස් අලෙවිකරුවන් ඇණවුම් පමාකිරීම හේතුවෙන් ගෑස් හිඟයක් රටේ ඇති වී තිබේ.

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතාගෙන් “දිවයින” කළ විමසීමේදී ඒ මහතා කියාසිටියේ ගෑස් හිඟයකින් තොරව මෙරටට ලබාගෙන තිබෙන බවයි.

ඉකුත් දිනවල මෙරටට පැමිණි එපික් බොලිවර් නෞකාවෙන් ගෑස් මෙටි්‍රක් ටොන් 3733 ක් මුතුරාජවෙලට ගොඩබා දිවයින පුරා බෙදාහැර ඇතැයි ද ඒ මහතා කීය.

මීට අමතරව ලබන ඉරිදා (06 වැනිදා) මධ්‍යම රාත්‍රියේ දී සෙන් හාමනි නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3750 ක් ද පෙටි්‍රයා නෞකාවෙන් තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3750 ක් ද ගොඩබෑමට නියමිත බව ද සභාපතිවරයා පැවසීය.

ලබන 05 වැනිදා ගෑස් මිල පහළයාවිද වැඩිවේවිද යන්න මිල සූත්‍රය මත තීරණය වන දෙයක් යැයි ද ඒ පිළිබඳ පසුව ප්‍රකාශ කළ හැකි බව ද ඒ මහතා කීය.

කෙසේ වෙතත් රටට අවශ්‍ය ගෑස් තොග සමාගම සතුව තිබෙන බවත් ලබන 2024 වසරේ අප්‍රේල් දක්වාම හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට සියලු ඇණවුම් සිදුකර ඇති බවත් ලිට්‍රෝ සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment