මොස්කව් ප්‍රහාරයේ මහමොළකරු ෂහාබ් අල් – මුහාජිර්?

1102

ඇමරිකාව-රුසියාව මත ගැටුමක:

සිකුරාදා රාත්‍රියේ මොස්කව් නගරයේ මායිම් ප්‍රදේශයක පිහිටි ක්‍රොකස් නගර ශාලාවේ ප්‍රසංගයට එල්ල වූ ප්‍රහාරය මෑත ඉතිහාසයේ රුසියානු සිවිල් වැසියන් ඉලක්ක කරගත් දරුණුතම ප්‍රහාරය විය. Picnic නමැති රොක් සංගීත කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් සඳහා 6,000කට අධික රුසියානුවන් පිරිසක් ක්‍රොකස් නගර ශාලාවට පැමිණ තිබුණේ මහත් උන්නදුවෙනි. එහෙත් රාත්‍රී 08.00 ට පෙර හදිසියේම මේ ශාලාව ඉදිරිපිටට සුදු පැහැති වාහනයක් පැමිණි අතර එයින් පිටතට පැමිණි හමුදා කැලෑ ඇඳුමට සමානව සැරසුණු සිව් දෙනෙක් ක්ලශ්නිකොව් ස්වංක්‍රීය තුවක්කුවලින් දිගටම වෙඩි තබන්නට පටන්ගත් නිසා බොහෝ දෙනකුගේ ඉරණම වෙනස් විය. මේ මාරාන්තික ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ඩේව් ප්‍රිමොව් පවසා තිබුණේ ප්‍රසංග ශාලාවට ඇතුළු වූ තුවක්කුකරුවන් ඉදිරිපස පේළියේ සිටි පිරිසට කෙලින්ම වෙඩි තබන්නට වූ බවයි. වෙඩි තියනකොට මිනිසුන් කලබල වෙලා දුවන්න පටන් ගත්හ, දුවන්න හදන අය පොරකන්න වුණා. සමහරු බිම වැටුණා, තවත් සමහරුන්ට ඔවුන්ව පෑගුණා. 61 හැවිරිදි එලේනා පැවසුවේ වේදිකාව අසල සිටි තුවක්කුකරුවකු දිව ගිය පුද්ගලයන්ට වෙඩි තබන ආකාරය ඇය දුටු බවයි. ‘තරුණයෙක් එක පාරටම තුවක්කුකරු මතට පැන්නා. ඔහු පැන්නේ කෙසේදැයි මම දැක්කේ නැහැ. පැනලා ප්‍රහාරකයාගේ තුවක්කුව ඇදලා ගත්තා මේ නිසා අපිට වේදිකාවෙන් පිටතට යෑමට අවස්ථාව ලැබුණා. හදිසි පිටවීම හරහා අපි සියල්ලෝම පාරට දුවගෙන ආවා. ඇත්තටම ඔහු බොහෝ මිනිසුන් බේරා ගත් වීරයෙක් ඔහු තවමත් ජීවතුන් අතර සිටිනවාද කියා නම් දන්නේ නැහැ.

මේ ප්‍රහාරය මීට වසර විසි දෙකකට පෙර එනම් 2002 වසරේ ඔක්තෝම්බර් මාසයේ මොස්කව් හි රංග ශාලාවකට එල්ලවූ ප්‍රහාරය සිහිගැන්විණි. එහිදී, චෙච්නියා සටන්කාමීන් 40 දෙනකු විසින් NordOst නම් සංගීත සංදර්ශනයක් අතරතුර පුද්ගලයන් 900කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබිණි. රුසියානු විශේෂ බළකාය නිර්වින්දන ගෑස් මුදාහරිමින් රංග ශාලාවට කඩා වැදුණු අතර ගැටුම් අවසානයේ ප්‍රාණ ඇපකරුවන් 130 දෙනකු පමණ එහිදී මරණයට පත්ව තිබිණි. මෙම ප්‍රාණ ඇපකරු බේරා ගැනීමේ මෙහෙයුම දින හතරක් පුරා පැවතිණි. එවිට පුටින් බලයට පත්ව වසර දෙකක් ගෙවුණා පමණි.

පසුගිය මාර්තු 07 වැනිදා මොස්කව් හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබුණේ රුසියානු අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ බරපතළ අවධානමක් ඇති බවයි. එය රඟහලකට විය හැකි බවත් එහි දක්වා තිබිණි. නමුත් රුසියානු ආණ්ඩුව මේ නිවේදනය ගැන උනන්දුවක් දක්වා තිබුණේ නැත. ‘ඔවුන් මරා දමන්න, අනුකම්පා නොකරන්න’: යනුවෙන් දැක්වෙන අයිසිස් සංවිධානය විසින් නිකුත් කළ තත්පර 90ක සෙල්ෆි වීඩියෝවක් නිකුත්ව තිබේ. මෙයින් මේ ප්‍රහාරයේ සැහැසි බව හොඳින්ම දැක්වෙයි. වීඩියෝව රූගත කරන පුද්ගලයා මෙසේ කියයි: ‘මැෂින් තුවක්කුව රැගෙන එන්න. ඔවුන්ව මරන්න, ඔවුන්ට අනුකම්පා නොකරන්න.’ මේ තුවක්කුකරු මෙසේ කියනු ඇසෙයි.: ‘දෙවියන් කැමති නම්, අවිශ්වාසවන්තයන් පරාජය වනු ඇත. දෙවියන් ශ්‍රේෂ්ඨයි මිත්‍යාදෘෂ්ටිකයන් පරාජය වනු ඇත. අපි දෙවියන් උදෙසා උන්වහන්සේගේ දහම සොයන්නට පැමිණ සිටින්නෙමු. කවරක් නමුත් ජනපති පුටින් පවසන්නේ මේ ප්‍රහාරය පිටුපස යුක්‍රේන සබඳතාවයක් ඇති බවයි. එහෙත් ඇමෙරිකාව පවසන්නේ මේ ප්‍රහාරය අයිසිස් කේ. එනම් කොරසාන් කණ්ඩායම විසින් සිදු කළ බවයි. ඔවුන් පුටින්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මොස්කව් රඟහලේ ප්‍රහාරයට යුක්‍රේනයේ කිසිදු සම්බන්ධයක් නැත’ යනුවෙන් අවධාරණය කරයි. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බටහිර ලෝකයේ මාධ්‍ය හා රුසියානු මාධ්‍ය අතරද බරපතළ මත ගැටුම් ඇතිව තිබේ.

ප්‍රහාරයෙන් පසුව අයිසිස් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන්ව තිබිණි. ඉස්ලාමීය රාජ්‍යය රුසියාවට ප්‍රබල පහරක් එල්ල කර තිබේ. එය වසර ගණනාවකට පසුව එල්ල වූ ප්‍රචණ්ඩතම ප්‍රහාරයයි. “මොස්කව් අගනුවරට පිටතින් පිහිටි නගරයක ක්‍රිස්තියානුවන් විශාල පිරිසකට සිකුරාදා, ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් ප්‍රහාරයක් දියත් කරන ලදී. මැෂින් තුවක්කු, පිස්තෝල, පිහි සහ ගිනි අවුලුවන බෝම්බවලින් සන්නද්ධ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් හතර දෙනකු විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බව වාර්තා වී තිබේ. සටන්කාමීන් ශාලාවට කඩා වැදුණු අතර

ඔවුන්ගෙන් තිදෙනකු සෙනඟ දෙසට වෙඩි තැබීම සිදු කර ඇති අතර, සිව්වන ප්‍රහාරකයා මේ සඳහා කල්තියා සූදානම් කර තිබූ ගිනි අවුලුවන බෝම්බ භාවිතා කරමින් ශාලාවට ගිනි තැබීමට කටයුතු කර තිබේ. මෙම ලේවැකි ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් ක්‍රිස්තියානීන් 300ක් මියගොස් හෝ තුවාල ලැබූ අතර, විශාල ගින්නක් ඇති වූ අතර එය ශාලාවෙන් තුනෙන් දෙකක් විනාශ වී විශාල කොටස් කඩා වැටීමට හේතු විය. ඉස්ලාමීය රාජ්‍යය සහ ඉස්ලාමයට එරෙහිව සටන් කරන රටවල් අතර ඇවිලෙන යුද්ධයේ තවත් එක් ප්‍රහාරයකි මෙය.

ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් අයිසිස් කේ සංවිධානය 2020 වසරේ සිට මෙහෙයවන්නේ ඉංජිනේරුවකු වන ෂහාබ් අල්-මුහාජිර් විසිනි. ඔහු මේ සංවිධානය මෙහෙයවන පළමු ඇෆ්ගන් නොවන සහ පකිස්තාන නොවන පුද්ගලයා බව සඳහන් වේ. ඔහු ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක සමාගමක උප කොන්ත්‍රාත්කරුවකු මෙන්ම කලින් ඇෆ්ගනිස්ථානයේ විශාලතම ඇමරිකානු කඳවුර වූ බැග්‍රම් ගුවන් තොටුපළේ යම් කාලයක් සේවය කර තිබේ. 2022 දී

ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි රුසියානු තානාපති කාර්යාලයට එල්ල වූ මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සහ තවත් හතර දෙනකුට මරු කැඳවූ අතර මේ ප්‍රහාරය පිටුපස සිටියේද අයිසිස් කේ සංවිධානයයි. ඔවුන් සිය නිවේදනවලද නිරන්තරව ජනපති පුටින් ඉලක්ක කර ගනී.

යුක්‍රේනය හරහා පලා යෑමට ගමන් කරමින් සිටි මොස්කව් ප්‍රහාරක කණ්ඩායම පුටින්ගේ සමීපතම මිත්‍රයා සහ යුද නායක රම්සාන් කදිරොව්ට පක්ෂපාතී චෙචන් හමුදා විසින් අත්අඩංගුවට ගන්නේ සිකුරාදා අලුයම 03 පමණය. මේ සම්බන්ධව නිකුත් කළ වීඩියෝ පටයක දැක්වෙන්නේ දෑත් පිටුපසට බැඳ දණ ගසා සිටින එක් සැකකරුවකු පාපොච්චාරණය කරන අයුරුයි. ඔහුගෙන් ප්‍රශ්න කරන විට මෙසේ අසයි. ‘හරියටම කළේ කුමක්ද මොන දේවල්ද? ඇත්තටම මොකක්ද?‘. ඔහු පිළිතුරු දෙයි: ‘මරන්න.’ එවිට සොල්දාදුවෙක් අසයි: ‘කාව මරන්නද?’. ඔහු ප්‍රතිචාර දක්වන්නේ අපි සිටි ස්ථානය ටෙලිග්‍රෑම් පණිවිඩකරුට යැව්වා.’ එවිට එම ස්ථානයට ගොස් ඉන්නේ කවුරුන් වුවද ඔවුන් මරා දමන ලෙසට නියෝගයක් ලැබුණු බවයි. මේ අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රහාරකයා මාර්තු 4 වැනිදා තුර්කියේ සිට පැමිණි බවත් රූබල් මිලියනයක්, පවුම් 8,600% වෙනුවට ප්‍රහාරය වෙනුවෙන් ගෙවන බව ටෙලිග්‍රෑම් හරහා නාඳුනන පුද්ගලයන්ගෙන් උපදෙස් ලැබුණු බවත් සඳහන් කර තිබේ. ඔහු කියා සිටියේ තමන් ටෙලිග්‍රෑම් සමාජ ජාලයේ මුස්ලිම් යැයි සිතිය හැකි ‘දේශකයකු’ අනුගමනය කළ බවයි. දේශකයා ෆරිදුනි ෂම්සිදින් වේ. : ‘මම ෂම්සිදින්ගේ දේශනවලට ඇහුම්කන් දුන්නා, ටෙලිග්‍රෑම්වලින් ආගම ඉගෙන ගත්තා. දේශකයාගේ සහායකයා මිනිසුන් මරා දැමීමට යෝජනා කළ අතර මට රූබල් මිලියනයක් දෙන්න පොරොන්දු වුණා.’ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර රුසියානු බලධාරීන් විසින් රඳවාගෙන සිටින එකොළොස් දෙනාගේ නම් හෝ ජාතියන් පිළිබඳ කිසිදු දත්තයක් නිකුත් කර නොමැත. රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසා තිබුණේ මූලික සැකකරුවන් කිසිවකුට රුසියානු පුරවැසිභාවය නොමැති බව පමණි. රුසියානු පුවත් සේවය සඳහන් කර තිබුණේ එක් ප්‍රහාරකයකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු “මුදල් සඳහා” මේ අපරාධය කළ බව සඳහන් කර ඇති බවයි. එම පුද්ගලයා ප්‍රකාශ කළේ තමාට රූබල් 500,000ක් (ඩොලර් 5,418ක්) පොරොන්දු වූ බවත්, ප්‍රහාරයට පෙර එයින් අඩක් ඔහුගේ ඩෙබිට් කාඩ්පතට මාරු කළ බවත් පවසා තිබේ.

රුසියානු පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුවේ සභාපති අන්ද්‍ර කාටපොලොව් පවසන්නේ යුක්‍රේනය හා එහි බටහිර අනුග්‍රාහකයන් මොස්කව් ප්‍රහාරයේ ප්‍රධාන කොටස්කරුවන් බවයි. එහෙත් යුක්‍රේන හමුදා ප්‍රකාශක අන්ද්‍රියි යුසොව් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට තම හමුදාවල කිසිම සම්බන්ධයක් නැති බවයි. ප්‍රහාරකයන් යුක්‍රේනය බලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවට රුසියානු හමුදා සිදුකරන ප්‍රකාශය අන්ද්‍රියි යුසොව් කියන්නේ එය රුසියානු විශේෂ සේවාවන්ගේ තවත් බොරුවක්’ බවයි. මේ ප්‍රහාරය පිටුපස අයිසිස් සිටින බවට පල කරන ප්‍රකාශ ගැන මොස්කව් ආණ්ඩුව කිසිදු ප්‍රකාශයක් කර නැත.

ප්‍රහාරයෙන් පසුව ජාතිය අමතමින් රුසියානු ජනපති පුටින් මොස්කව් ප්‍රහාරය ‘ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස දැඩි ලෙස හෙළා දුටු අතර ප්‍රහාරකයන් යුක්‍රේනයට පැන යෑමට උත්සාහ කිරීමේදී රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද බව ප්‍රකාශ කර තිබිණි. මේ ප්‍රහාරය නිසා දැඩිව යුක්‍රේනයට පහර දෙන්නට පුටින් බලා සිටින බව රහසක් නොවේ. බටහිර ලෝකය මොස්කව් ප්‍රහාරය අයිසිස් වෙත පවරන්නේද මේ ගැටුම තවත් දුර යෑම වැළැක්වීමටය. නමුත් සිදුවන්නේ ලේ වැගිරීම තවත් වැඩිවීම පමණි. සෙනසුරාදා දිනයේ ධවල මන්දිරය ප්‍රකාශ කළේ රුසියාවට එල්ලවූ “නීච” ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින අතර ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය පරාජය කළ යුතු පොදු ත්‍රස්තවාදී සතුරෙකු ලෙස දකින බවයි. මොස්කව් ප්‍රහාරය දේශපාලන බල අරගලයේ කොටසක් වී ඇත. කවරක් නමුත් මේ ප්‍රහාරය නිසා ජීවිත 150කට වැඩි ප්‍රමාණයක් අහිමි විය. දරුවන් මෙන්ම රූප රාජිනියන්ද මියගිය අය අතර වේ.

සෙම්යෝන් කාර්පොස්ටෝව්ගේ බිරිඳ සිකුරාදා රාත්‍රියේ ප්‍රසංගයට සහභාගි වූ අතර දැන් ඇය අතුරුදන් වී සිටියි. තමා රෝහල් පහකට ඇමතීමට උත්සාහ කළ නමුත් දුරකථන මාර්ග සියල්ලම කාර්යබහුල බව හෙතම කියයි. “මම සම්පූර්ණයෙන්ම භීතියට පත් වෙලා ඉන්නේ මොකක්ද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. බලාපොරොත්තු අතහැරලා ඉන්නේ ඇත්තටම”

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment