පනාමුරේ තරුණයාගේ මරණයයි සජබ උද්ඝෝෂණයයි අතරේ කිසිම සම්බන්ධයක් නෑ

112

*මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර

පොලිස් අත්අඩංගුවේ පසු වූ පනාමුරේ ඉන්දික ජයරත්න නමැත්තාගේ මරණයට සහ සමගි ජනබලවේගය උද්ඝෝෂණයට කිසිදු සම්බන්ධයක් නොමැති අතර ඒ පිළිබඳව පොලිසියට විරුද්ධව කරන චෝදනාව අමූලික බොරුවක් යැයි මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය. සමගි ජන බලවේගය මන්තී‍්‍ර හේෂා විතානගේ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම මරණයට මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා සහ පොලිසිය වගකිව යුතු බවට චෝදනා කරමින් අදහස් දැක්වීය.

එහිදී හේෂා විතානගේ මන්තී‍්‍රවරයා මෙසේ කීය.

මේ ගැන කියන්නත් කනගාටුයි. ඊයේ ඇතිවූ පොලිස් මර්දනය හමුවේ ඇඹිලිපිටිය පනාමුරේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයකු පොලිසිය ගහලා මරා දමලා තිබෙනවා. ඒ තරුණයා ඉන්දික ජයරත්න. මර්දනය කි‍්‍රයාත්මක කරමින් මේ විදිහට මේ ආරම්භ කරලා තිබෙන ගමන මොකක්ද? තරුණයකු මරලා තමයි මේ ගමන පටන් ගත්තේ. මේ වන විට ජනතාව පොලිසිය වට කරලා. දහස් ගණනක් රාජ්‍ය සම්පත් විනාශ වෙනවා. මේකට පොලිස් ඇමැතිතුමා වගකියන්න ඕනා. මේ ප‍්‍රශ්නය අහන හින්ද ඇමැතිතුමා නැගිටලා ගියා.

ඇමැති සරත් වීරසේකර මහතා එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් මෙසේ කීය.

විරුද්ධ පක්ෂය විසින් ඉතාමත් බරපතළ චෝදනාවක් කළා. ඊයේ උද්ඝෝෂණයට සහභාගි වෙච්ච කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පොලීසිය පහරදීලා මරා දාලා කියලා. ඒක සම්පූර්ණ අමූලික බොරුවක්.

මේ පුද්ගලයාගේ නම ඉන්දික ජයරත්න, ඔහුගේ වයස අවුරුදු 37 යි. ඔහුගේ පදිංචිය වැලිගේ යාය, පනාමුරේ. මොහු මත්ද්‍රව්‍යවලට ඉතාම දැඩි ලෙස ඇබ්බැහි වූ කෙනෙක්. ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙනවා. ඒ ගැන

බිරිඳගෙන් සහ දරුවන්ගෙන් පැමිණිලි තොගයක් ලැබිල තියෙනවා. මේ පුද්ගලයාට විරුද්ධව. 2021.11.12 වන දින ඔහුගේ දුව පැමිණිලි කරනවා. තමාට පොල්ලෙන් සහ අතින් පයින් ගහලා බරපතළ තුවාල කළා කියලා. දුව රෝහල්ගත වෙනවා.

එදා සිට මොහුව පොලීසියෙන් හොයනවා. මොහු  හැංගෙනවා. පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නේ ඊයේ ? 10.30 ට විතර. මේ පෙළපාලියට කිසිම සම්බන්ධයක් නෑ. පොලිසිය හොය හොය හිටිය කෙනාව අත්අඩංගුවට ගත්තට පස්සෙ පාන්දර 3.30 ට පමණ ඔහු තමාගේ ෂර්ට් එක කූඩුවේ තියෙන කම්බියක ගැට ගහලා බෙල්ලෙ වැල දාගෙන මිය යන්න ඔන්න මෙන්න තියෙන කොට තමයි රාළහාමි දැකලා වහාම රෝහලට ගෙනියන අතරතුර මිය ගිහිල්ල තියෙන්නෙ. මේකට පෙළපාලියටවත්, උද්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නෑ. මේ පොලිසියට විරුද්ධව කරන මේ චෝදනාව අමූලික බොරුවක්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment