කලාතුරකින් දැකිය හැකි දෙමුහුන් සූර්යග්‍රහණයක් 20 දා

318

ඉතා කලාතුරකින් සිදුවන දෙමුහුන් සූර්යග්‍රහණයක් මෙම 20 වැනිදා දක්නට ලැබෙනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්නොවන නමුත් නාසා වෙබ් අඩවි ඔස්සේ සජීවී විකාශය නැරඹිය හැකි බව ද ඔහු කියයි.

ඔස්ටේ්‍රලියාව, නැගෙනහිර ටිමෝරය, නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වලට සූර්යග්‍රහණය දිස්වන අතර ජීවිත කාලයටම එක්වරක් දැකිය හැකි මෙම සූර්යග්‍රහණය නැරඹීමට එම රටවල ජනතාව සූදානම් වෙමින් සිටිති.

මීට පෙර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය වසර 10 කට පෙර එනම් 2013 නොවැම්බර් 3 වැනිදා සිදුව ඇති අතර මීළඟට එවැන්නක් දැකගත හැකි වනුයේ 2031 නොවැම්බර් මාසයේදී ය. මෙරට සම්මත වේලාවෙන් සූර්යග්‍රහණය අප්‍රියෙල් 20 වැනිදා පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතය.

එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලැබීමට හේතුව එකම සූර්යග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වන බැවිනි. සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් දකින අතර අනෙක් කොටස්වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇත. අවස්ථා දෙකේදීම චන්‍ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කරයි.

අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්‍ද්‍රයා පැමිණි විට චන්‍ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය මත වැටෙන ප්‍රදේශවලට සූර්යග්‍රහණයක් ඇතිවේ.

පෘථිවිය වටා චන්‍ද්‍රයාගේ කක්ෂය ඉලිප්සාකාර බැවින් පෘථිවියේ සිට චන්‍ද්‍රයාට ඇති දුර විවිධ අවස්ථාවන්හිදී එහි සාමාන්‍ය අගයෙන් 6% කින් පමණ වෙනස් විය හැක. එමනිසා චන්‍ද්‍රයාගේ දෘෂ්‍ය ප්‍රමාණය පෘථිවියේ සිට ඇති දුර අනුව වෙනස් වන අතර, පූර්ණ සහ වළයාකාර ග්‍රහණ අතර සංක්‍රාන්තියට තුඩු දෙන්නේ මෙම බලපෑමය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment