ඉස්ලාමාබාද් මහාධිකරණය සිර දඬුවම අත්හිටුවා ඉම්රාන්ට ඇප දෙයි

433

පාකිස්තානයේ රාජ්‍ය නායකයන්ට ලැබුණු විවිධ ත්‍යාග පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අපොහොසත් වීමේ චෝදනාව මත වසර තුනක සිර දඬුවමකට ලක් කර සිටි හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව එල්ල වූ චෝදනාව හා එම සිරදඬුවම අත්හිටුවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ (29දා) පියවර ගත්තේය.

ඊයේ රැස් වූ ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා තිබූ තුන් අවුරුදු සිර දඬුවම අත්හිටුවමින් ඔහු ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

හැත්තෑ හැවිරිදි වියෙහි පසුවන පාකිස්තානයේ ‘ටෙහ්රික් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායකයා වන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඔහු අගමැති ධුරය දැරූ 2018-2022 කාලසීමාව තුළ විදේශීය රජයන්ගෙන් හා රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු විවිධ ත්‍යාග පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අපොහොසත් වීමේ චෝදනාවට වරදකරු කරමින් අධිකරණය ඉකුත් අගෝස්තු මස 05 වැනිදා වසර තුනක සිරදඬුවමක් නියම කළේය. මෙම සිරදඬුවම නියම වීමත් සමගම ඉම්රාන් ඛාන්ට වසර පහක් මැතිවරණයකට ඉදිරිපත් වීම තහනම් කිරීමට ද පාකිස්තාන මැතිවරණ කොමිසම විසින් පියවර ගනු ලැබීය.

ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ ඉම්රාන්ගේ තුන් අවුරුදු සිරදඬුවම අත්හිටුවීමේ නියෝගය නිකුත් කිරීමට පෙර පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරේදා (28දා) ඔහුට එරෙහිව පැවති චෝදනාව සම්බන්ධයෙන් විභාග කර සිරදඬුවම නියම කළ අධිකරණ තීන්දුවේ පටිපාටිමය දෝෂ පවතින බව ප්‍රකාශ කර තිබිණි. පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායකයකු ද වන ඉම්රාන් ඛාන් අගමැතිව සිටියදී ඔහුට එරෙහිව 2022 වසරේ අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු අගමැති ධුරය අහිමි විය. එතැන් සිට ඔහුට එරෙහිව නඩු 100කට අධික සංඛ්‍යාවක් උසාවියේ ගොණු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment