අපේ රටින් එදා ගෙන ගිය කෞතුක උරුමයන් යළි ගෙන ඒම නෙදර්ලන්තයෙන් ඇරඹුවා – ඇමැති විදුර වික්‍රමනායක

238

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06 ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02 ක් 28 දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

මෙම ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය සහ නෙදර්ලන්ත රජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් Gunay Uslu මහත්මිය එහිදී එක්වූහ.

මේ වනවිට නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිම කළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හයක් මෙම ගිවිසුම මගින් නැවත මෙරටට භාරදීමට නියමිතය.

අපේ රටින් එදා ගෙන ගිය කෞතුක උරුමයන් යළි ගෙන ඒම නෙදර්ලන්තයෙන් ඇරඹුවා - ඇමැති විදුර වික්‍රමනායක

මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ ද සඳහන් කළේය.

අපේ රටේ උරුමයන් හෝ පුරාවස්තුන් මේ වෙද්දී විවිධ රටවලට සංක්‍රමණය වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ අපේ කැමැත්තෙන් නෙවෙයි. බලහත්කාරයෙන්. මේ උරුමයන් නැවත අපේ රටට ලබා ගන්න නිල වශයෙන් වැඩ කටයුතු අපි අද ආරම්භ කළා.

මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් මාසය වනවිට මෙරටට රැගෙන එනවා. ඒ වගේම මෙම පුරාවස්තුන් තැන්පත් කරන්න විශේෂ වැඩපිළිවෙළක් ද මේ වනවිටත් සකස් කරලා තියෙනවා.

එසේම, මේ වැනි උරුමයන් පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම හා අවබෝධය ලබාදීම සඳහා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහ නෙදර්ලන්ත රජයේ නිලධාරීහු සහ අමාත්‍යාංශ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment