රට යන අයගේ පොලිස් වාර්තාවට ලිහිල් ප්‍රතිපත්තියක්

300

විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට පෙර ලබා ගන්නා පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා විදේශ රැකියා අවස්ථා ලබා ගැනීමට නොහැකි වී ඇති නිසා මේ සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන ලෙසට විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණු බවත් එම ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවත් රජය කියයි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 378 වගන්තිය යටතේ ඇති වංක පරිහරණය, දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්තියේ සිට 392 වැනි වගන්තිය දක්වා ඇති සාපරාධී විශ්වාසය කඩ කිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 400 වැනි වගන්තියේ සිට 403 වැනි වගන්තිය දක්වා ඇති වංචා කිරීම, විෂ වර්ග, අබිං සහ අන්තරායක ඖෂධ ආඥා පනත යටතේ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩු මෙසේ පොලිස් වාර්තාවට ඇතුළත් නොකිරීමට තීරණය කර ඇත.

මීට අමතරව කිසියම් පුද්ගලයකු නීතිමය කටයුත්තකින් නිදොස් කොට නිදහස් කර ඇති අවස්ථාවක දී හෝ යම් නීති කටයුත්තකින් නිදහස් කර ඇති අවස්ථාවක දී එය ද පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීම ද අවශ්‍ය නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment