හරාරේ අවසන් සටනට කොදෙව්වන් සමග අද පෙරහුරුවක්

512

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම නිමිත්තෙන් පැවැත්වෙන සුපිරි 6 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් දේශයට එරෙහිව අද (07 වැනිදා) දහවල් 12.30 ට හරාරේ හිදී ආරම්භ වේ.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හරාරේ හිදී තරග වදින පළමු අවස්ථාව මෙය වන අතර මෙතෙක් ශ්‍රී ලංකාව මූලික තරග වටය යටතේ සහ සුපිරි 6 දෙනාගේ වටය යටතේ සියලු තරග ක්‍රීඩා කළේ සිම්බාබ්බේ බුලවායෝ හිදීය.

තරගාවලියේ අවසන් මහා තරගය ද හරාරේ හිදී පැවැත්වෙන බැවින් අවසාන මහා තරගය සඳහා වඩා හොඳ පෙරහුරුවක් ලබා ගැනීම පිණිස කොදෙව්වන්ට එරෙහි මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට වැදගත් වේ.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන තරගාවලියක් සඳහා සුදුසුකම් ලැබීමට මෙවර අපොහොසත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අනෙක් පසෙන් මෙම තරගය ජය ගැනීම ඔවුන්ට යම් සැනසිල්ලකට හේතුවක් වේ.

සුපිරි 6 දෙනාගේ වටය යටතේ ඔවුන් ස්කොට්ලන්තය හමුවේ පරාජය වුවද පෙරේදා ඕමානය සමග තරගයේදී ජය ගැනීමට සමත් වූයේය.

ඔවුන්ගේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ජේසන් හෝල්ඩර් සහ අල්ශාරි ජෝසප් අද තරගයට සහභාගි නොවන අතර ඔවුහු ඉන්දීය තරගාවලිය ඉලක්ක කරගෙන මව් රට බලා ගොස් සිටිති.

ශ්‍රී ලංකාව සුපිරි 6 වටය යටතේ නෙදර්ලන්තයට සහ සිම්බාබ්වේට එරෙහිව ජයග්‍රහණ අත් කර ගත් අතර මූලික වටයේ ද සියලු තරග ජයගත් ඔවුහු අවසන් මහා තරගයට මෙන්ම ලෝක කුසලාන තරගාවලියට ද පළමුවෙන්ම සුදුසුකම් ලබා ගත්හ.

මේ වන විට තරගාවලිය තුළ වැඩිම කඩුලු ලාභියා ලෙස පෙරමුණ ගෙන සිටින වනිදු හසරංග තරග 6කදී කඩුලු 20ක් ලබාගෙන තිබේ. එම තරග 4 න් පළමු තරග 3 දී එක දිගට කඩුලු 5 සීමාවට පැමිණි වනිඳු ලොව එවැනි දස්කමක් කළ පළමු දඟ පන්දු යවන්නා බවට පත්විය.

එසේම මහීෂ් තීක්ෂණ ද වනිඳු සමඟ කරට කර පන්දු යැවීමක නියැළේ.

පිතිකරණ අංශයෙන් දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම ආදී පිතිකරුවන් ද ලකුණු අතර සිටීම ශ්‍රී ලංකාව පැත්තෙන් සුබදායක කාරණයකි.

කෙසේ වෙතත් අද තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනස්කම් කීපයක් සමගින් පිටියට පිවිසීමට නියමිත බවද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment