අපි අපේම කියලා ක්‍රිකට් ගහපු රටක්

ඕනෑම කෙනෙකුගේ හොඳ උපදේශයක් පිළිගන්න මං කැමැතියි

තරුණ තේරීම් කමිටුවක් යනු “අප්ඩේට්” වැඩියි

රටේ ක්‍රිකට් එක ගොඩදැමීමට හිටපු ක්‍රීඩකයන්ගේ සහාය වටිනවා

තේරීම් කමිටුවට බලපෑම් කරන්න මට අයිතියක් නැහැ

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් පිටියේ ජයග්‍රහණය කර ඇති ලෝක කුසලාන දෙකකි. ඒ 1996 එක් දින ලෝක කුසලානය සහ 2014 පන්දු වාර 20 -20 ලෝක කුසලානයයි. එසේම 2007 එක්දින ලෝක කුසලාන අනුශූරයන් ලෙස ද, 2009 වසරේ පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන අනුශූරයන් ලෙසද ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් පිටියේ සිය ප්‍රතිභාව විදහා දැක්වීය. ඒ හැම අවස්ථාවකම සනත් ජයසූරිය නාමය අමරණීය නමක් බවට පත්විය.

1999 වසරේ සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවූ ජයසූරිය ද්වි පාර්ශ්වීය තරගාවලි රැසක ජයග්‍රහණය සඳහා කණ්ඩායම මෙහෙය වූ අතර 2002 වසරේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සමශූරතාව ඔහු යටතේ ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

ලෝක කුසලාන ජයග්‍රහණ අතරින් 96 ලෝක කුසලාන තරගාවලියේ වීරයා මෙන්ම එම ජයග්‍රහණයට වැඩිම බරක් දැරූ ක්‍රීඩකයා වූයේ ද ජයසූරිය යි.

අනතුරුව ශ්‍රී ලංකාව දිනා ගත් පන්දු වාර 20 -20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගනු ලැබුවේ ද සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුතු තේරීම් කමිටුවෙනි. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ඇත්තේ ජයසූරිය “කප් ගහපු 96 තරගාවලියේ දී සහ 2014 දී ජයසූරිය තේරු කණ්ඩායමයි. මේ ජයග්‍රහණ දෙකටම සෘජුව සම්බන්ධ වුණු ජයසූරිය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා වේ. නව තනතුරේ කාර්යයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි ගමන පිළිබඳව ජයසූරිය සමග දිවයින ඉරිදා සංග්‍රහය කළ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට ඔබට දැන් විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මේ භාරදූර කාර්ය පිළිබඳව ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක් ද?

පිළිතුර – ඔබ කියනවා වගේ එය ලොකු වගකීමක්. රටේ ක්‍රිකට් එක හදන්න මෙතනින් සිදුවන සේවය විශාලයි. ජාතික කණ්ඩායම පමණක් නොවෙයි, නැගී එන කණ්ඩායම, සංවර්ධන කණ්ඩායම, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම යන කණ්ඩායම් සියල්ලේ දක්ෂතා ඉහළ නැංවීම, පුහුණු කාර්යයන්, අඩුපාඩු හඳුනා ගැනීම ආදී කරුණු රාශියක් උසස් කාර්ය මධ්‍යස්ථානය ඔස්සේ සිදු කෙරෙනවා.

ප්‍රශ්නය – 2017 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉවත්වීමෙන් පසුව වසර හයකට පමණ පසුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ තනතුරකට ඔබ පත් වුණේ. මේ ගත වූ කාලය තුළ රටේ ක්‍රිකට් සඳහා දායක වීමට හෝ ක්‍රිකට් සම්බන්ධ තනතුරකට පත්වීමට ඔබ ඔබට අදහසක් තිබුණේ නැද්ද?

පිළිතුර – සුදුසු කාලයේදී මේ අවස්ථාව උදාවුණා කියලා තමයි මම හිතන්නේ. මෙවැනි අවස්ථාවක් ලැබෙන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා දැන් මේ ලැබී තිබෙන අවස්ථාවෙන් රටේ ක්‍රිකට් එකට මොනවද කරන්න පුළුවන් කියන එක මං කරනවා.

ප්‍රශ්නය – මොනවද මේ අංශය තුළ ඔබ කරන්න බලාපොරොත්තු වන වෙනස්කම්?

පිළිතුර – ගොඩක් දුරට විදේශ පුහුණුකරුවන්ගේ පුහුණු ශිල්පීය ක්‍රම, දැනුම සහ තාක්ෂණය යටතේ තමයි මේ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වී තිබුණේ. ඒ නිසා මෑත කාලීනව ක්‍රියාත්මක වී ඇති වැඩපිළිවෙළ පිළිබඳව අපි මූලිකව සොයා බැලිය යුතුයි. ඒ වැඩකටයුතු අපිට කොතරම් උචිතද කියන එක පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මොකද අපි අපේ “බ්‍රෑන්ඩ්” එකට ක්‍රිකට් ගහන රටක්. සහජ දක්ෂතා තියෙන ක්‍රීඩකයන් තමයි අපිට ගොඩක් ඉන්නේ. වසර 3 ක පමණ කාලයක් ක්‍රියාත්මක වූ ඒ වැඩපිළිවෙළේ සිදුවූ අඩුපාඩු මොනවද කියලත් අපි හොයා බලන්න ඕන. හැමදාම විදෙස් පුහුණුකරුවන් මත්තෙම අපට රැඳෙන්නත් බැහැ. අපෙත් දක්ෂතා තියෙන පුහුණුකරුවො ඉන්නවා. ඒ අයට අපි ධෛර්යය ලබා දෙන්න ඕනා ඉදිරියට ඇවිත් වැඩ කරගෙන යෑමට.

ප්‍රශ්නය – ඔබ පූර්ණකාලීනව ජාතික කණ්ඩායම සමග රැඳෙනවාද?

පිළිතුර – එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. මේ හැම කණ්ඩායමක්ම මම බලන්න ඕන. ඒ ඒ කණ්ඩායම්වලට පුහුණුවීම් සඳහා අවශ්‍ය තණ තීරුවේ ඉඳන්ම අපි අවධානය යොමු කරන්න ඕන. ක්‍රීඩකයන්ට පහසුකම් සපයන්න ඕන. අඩුපාඩු සොයා බලන්න ඕනා.

ප්‍රශ්නය – ජාතික කණ්ඩායම මෑත කාලයේ ඉතා පසුබෑමකට ලක්වෙලා තියෙනවා. අපි ලෝක ශූරතා දෙකක් දිනපු කණ්ඩායමක්. ඒත් පළමු වරට ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීමත් දැන් ශ්‍රී ලංකාවට අහිමි වෙලා තියෙනවා. ක්‍රිකට් පිටිය හොල්ලන් හිටපු කණ්ඩායමක් මේ තත්ත්වයට වැටිලා තිබෙන එක ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර – ඇත්තටම ඒ ගැන කනගාටුවක් තියෙනවා. මොකද අපි හොඳ ක්‍රිකට් එකක් තිබුණු රටක්. ඒත් පහුගිය ලෝක කුසලාන තරගාවලිය, ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය ආදී තැන්වලදී අපි දරුණු පසුබෑමකට ලක්වුණා. ඒ තත්ත්වය අපි මග හරවාගෙන අපේ සුපුරුදු ක්‍රිකට් එක ගොඩ නගාගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය උපරිම දායකත්වය, ශක්තිය මම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ලබා දෙනවා. ඒ තමයි මගේ ක්‍රමය. කොහොම හරි අපේ ප්‍රේක්ෂකයන්ට ආපහු ක්‍රිකට් එක බලන්න ආස හිතෙන විදිහට අපේ ක්‍රිකට් එක අපි හදන්න ඕන.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායමටත් පරාජය වුණා. වසර හයකට පසුව මූලික වටයෙන්ම ඉවතට ගියා. ඒ කියන්නේ අපේ ක්‍රිකට් වර්තමානය පමණක් නොවෙයි අනාගතයත් එතරම් හොඳ නැහැ කියන එක නේද?

ක්‍රිකට්වලට ජනතාවගේ තිබූ ඒ ආදරේට යළි පණ දෙනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සහ උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය

පිළිතුර – ඔව්. මේ තත්ත්වයෙන් ගොඩ එන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. අපි විතරක් නෙවෙයි ක්‍රීඩකයොත් මහන්සි වෙන්න ඕනා. ක්‍රීඩකයෝ මහන්සි වන තරමට ඒ අයට ප්‍රතිඵල ලැබෙයි. මෙහෙම තරග පරාද වුණොත් ඒක ප්‍රේක්ෂකයන්ටත් මානසිකව බලපානවා. එවිට ප්‍රේක්ෂකයා අපෙන් එන්න එන්නම ඈත් වෙනවා. ඒක් හොඳ තත්ත්වයක් නොවෙයි. ඒ නිසා මහන්සි වෙලා අපි අපේ දක්ෂතා ඔපමට්ටම් කර ගන්න ඕන.

ප්‍රශ්නය – උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු අලුත් තේරීම් කමිටුවක් පත් වුණා. ඔබ මේ තේරීම් කමිටුව පිළිබඳව සෑහීමකට පත්වෙනවාද?

පිළිතුර – ඔව්, හිටපු තේරීම් කමිටුව වගේම මේ අයත් ක්‍රිකට් ක්‍රීඩා කරපු අය. හැබැයි අලුතෙන් පත් වූ සියලු දෙනා මෑතක් වන තුරුම තරගකාරී ක්‍රීඩාවේ නිරතව සිටියා. ඒ නිසා ඔවුන්ට වර්තමානය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ලංකාවේ ක්‍රිකට් එකට හොඳක් සිදු වන විදිහට ඒ අය වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කොහොමත් ඔවුන්ට මේක හොඳ අලුත් අභියෝගයක්. උපුල් තරංග රට වෙනුවෙන් ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ඉන්දික ද සේරම් මේ හැම දෙනාම රටට ක්‍රිකට් වෙනුවෙන් දෙයක් කරලා තිබෙනවා.

ප්‍රශ්නය – නව තේරීම් කමිටුව පත්වූ විට ඔබට චෝදනාවක් එල්ල වුණා උපුල් තරංග සභාපති ලෙස පත් කළේ ඔබගේ බලපෑම් හා ඉල්ලීම් මත බව. මොකද ඔබ ඒ ගැන කියන්නේ?

පිළිතුර – මට එහෙම කාවවත් පත් කරන්න පුළුවන් කමක්, බලයක් නැහැ. කොහොමත් මේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම මගේ යාළුවෝ. උපුල් එක්කත් මං ගොඩක් කල් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඔහු හොඳ චරිතයක්. ඒ වගේම ඔහු ගහලා තිබෙන ක්‍රිකට් එකට මං ගරු කරනවා. ඒ යාළුකම හැමදාටම තියෙයි.

ප්‍රශ්නය – තේරීම් කමිටුවට බලපෑම් කිරීමට හෝ තේරීම් කමිටුවේ තීරණවලට බලපෑම් කිරීමට ඔබට අයිතියක් තිබෙනවාද?

පිළිතුර – තේරීම් කමිටුවත් එක්ක අපේ සම්බන්ධයක් නැහැ. ඔවුන් තෝරා දෙන කණ්ඩායම එක්ක තමයි අපේ ගනුදෙනුව තියෙන්නේ. කොටින්ම අපිට ඒ සඳහා බලපෑම් කිරීමට අයිතියක් නැහැ. කණ්ඩායම හෝ සංචිතය තෝරා ගැනීමේ පරම අයිතිය තිබෙන්නේ තේරීම් කමිටුවට. අපි එයට ඇඟිලි ගහන්න යන්නේ නැහැ.

ප්‍රශ්නය – මෑත කාලයේ අපේ තෝරා ගැනීම් බොහොමයක් සිදුවුණේ තරුණ කණ්ඩායමක් ඉලක්ක කරගෙන. ඒ වගේම දැන් අපිට තරුණ තේරීම් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ ආකාරයට තරුණ තේරීම් කමිටුවක් පකිස්තානයේත් පත් කළා. මේ ගැන තරුණ තේරීම් කමිටු ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර – ඒක ගොඩක් හිතලා ගත්ත තීරණයක් වෙන්න ඇති. මොකද මෑත කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරපු අය කියන්නේ ක්‍රීඩා සමාජ මට්ටමේ දස්කම් දක්වන අය ගැන ඒ අයට හොඳ අවබෝධයක් තියෙනවා. ඔවුන් ඒ අයත් එක්ක මෑත කාලයේ ළඟින් සෙල්ලම් කරලා තියෙනවා. ක්‍රීඩා සමාජ මට්ටමින් තමයි ජාතික තලයට එන්නේ. ඒ නිසා මේ අලුත් අයට හොඳ තෝරා ගැනීම් සිදු කරන්න පුළුවන්. මං වුණත් අවුරුදු ගාණකින් ක්ලබ් මැච් එකක් බලලා නැහැ. ඒ නිසා සමහර ක්‍රීඩකයන්ගේ නම් පවා මං දන්නෙ නැහැ. ඒත් මේ තරුණ කමිටුව ඒ අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

ප්‍රශ්නය – තරුණ ක්‍රීඩකයන් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්ද නොඑසේ නම් තරුණ ක්‍රීඩකයන් පමණක් සිටින කණ්ඩායමක් ද අපට වඩාත් උචිත වන්නේ?

පිළිතුර – ඇත්තටම ඒක තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙත් තේරීම් කමිටුවට තමයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමගත් සාකච්ඡා කරලා ඔවුන් නිවැරදි තීරණය ගනීවි. ලංකාවේ ක්‍රිකට් එක, ලංකාවේ අනාගතය බලලා ඔවුන් වැඩ කරයි.

ප්‍රශ්නය – කණ්ඩායමේ සංයුතිය තරුණ සහ ජ්‍යෙෂ්ඨ ලෙස කෙසේ විය යුතුද යන්න පිළිබඳව ඔබගේ පෞද්ගලික අදහස කුමක්ද?

පිළිතුර – මං හිතන්නේ හැමදෙනා පිළිබඳවම බලන්න ඕන. කොපමණ කාලයක් ඔවුන් සමග යන්න පුළුවන්ද කියන එක අවධානය යොමු කරන්න ඕන. අපිට තව වසර හතරකින් ලෝක කුසලාන තරගාවලියක් එනවා. ඉතින් මම බලන විදිහත්, තේරීම් කමිටුව බලන විදිහත් දෙකක් වෙන්න පුළුවන්. ඔවුන් පස් දෙනෙක්ගෙන් යුත් ස්වාධීන කමිටුවක් විදිහට හොඳ තීරණ ගනු ඇතැයි කියන බලාපොරොත්තුව අපට තිබෙනවා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සිටි විදෙස් ජාතික ග්‍රාන්ට් ලූඩන් සහ ක්‍රිස් ක්ලාර්ක් දෙදෙනා තමා දැරූ ධුර වලින් පසුගියදා සමුගත්තා. ඔවුන්ගෙන් පුරප්පාඩු වූ තනතුරු සඳහා දේශීය පුහුණුකරුවන් බඳවා ගන්නවාද?

පිළිතුර – ඒ ගිය දෙදෙනා වෙනුවට අලුතින් දෙදෙනෙක් බඳවා ගත යුතුයි. හැබැයි මම තවම ඇවිල්ල සතියයි. මට එක් එක් අය පිළිබඳව තාම පැහැදිලි අවබෝධයක් නැහැ. තවම කාටවත් සහතික දෙන්න පුළුවන්කමක් නැහැ. ඉන්න පුහුණුකරුවන් එක්ක සාකච්ඡා කරලා කටයුතු කරන්න ඕන.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ඵලදායි වෙන්නේ විදෙස් පුහුණුකරුවන්ද දේශීය පුහුණුකරුවන්ද යන්න පිළිබඳව ඔබට පෞද්ගලික අදහසක් තිබෙනවාද?

පිළිතුර – මං කියන්නේ දේශීය අයටත් ඒ වගකීම් බාර දෙන්න ඕන. විදේශීය අයත් එක්ක ඉඳලා ඒ අයගෙන් ලබා ගත් අත්දැකීම් එක්ක අපේ පුහුණුකරුවෝ ඉස්සරහට එන්න ඕන. හැමදාම විදේශීය කිය කිය ඒ අය මතම යැපෙන්න බැහැ. හැබැයි ලොකු අභියෝගයක්. ඉතින් අපි හැමෝම එකතුවෙලා ඒ එන දේශීය අයට අපේ සහයෝගය දෙන්න ඕන.

ප්‍රශ්නය – ටෙස්ට්, එක් දින සහ පන්දු වාර විස්සයි විස්ස යන තරග අංශ සඳහා නායකයන් තිදෙනකු පත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ සංකල්පය අපිට කොතරම් ඵලදායි වෙයිද?

පිළිතුර – ඒ පිළිබඳව තවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල වශයෙන් දැනුම් දීමක් කර නැහැ. කොටින්ම ඒ පිළිබඳව සාකච්ඡා වෙනවාද කියලවත් මම දන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව මගේ පෞද්ගලික අදහසක්වත් ඉදිරිපත් කිරීමට නොහැකියි.

ප්‍රශ්නය – හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ඇමැති ධුරය භාර ගත්විට ප්‍රකාශ කළේ මේ අලුත් අමාත්‍යාංශය යනු ගලක් බඩේ බැඳ, තමන්ව අත් පා ගැට ගසා ගඟට, මුහුදට දැම්මා හා සමාන වැඩක් බවයි. ඒ අමාත්‍යාංශය යටතේ තියෙන ප්‍රධාන ක්‍රීඩාව තමයි ක්‍රිකට්. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේත් ප්‍රධාන භූමිකාවක් දැන් ඔබට භාර වෙලා තියෙනවා. ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?

පිළිතුර – අපි හැමෝම දන්නවා පහුගිය කාලෙ තිබුණු ව්‍යාකූල තත්ත්වයන් නිසා තමයි වර්තමානයේ මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ. අපි තවමත් ක්‍රිකට් තහනමක් පැනවිලා තියෙන රටක්. ඒ නිසා ඇමැතිතුමත් ලොකු පීඩනයකින් තමයි මේ තනතුර භාර ගත්තේ. ඔහු බොහෝ ස්වාධීනව කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ තහනම ඉවත් කර ගැනීම ඒ අතර ප්‍රධානයි. මේ තනතුරට පත්වුණාට පසුව මම ඔහුව ගිහින් මුණ ගැසුනා. එතකොට ඇමැතිතුමා මගෙන් ඉල්ලුවේ පුළුවන් තරම් කැපවීමෙන් වැඩ කරලා මේ ක්‍රිකට් එක ගොඩ දාලා දෙන්න කියලා තමයි. හැබැයි ඒක තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හැම දෙනාගේම සහයෝගය ඊට අවශ්‍යයි. පැරණි ක්‍රීඩකයන්ගේ සහයෝගයත් ඊට අවශ්‍යයි. මං වුණත් ඔවුන්ගේ උදව් ඉල්ලා ගත යුතුයි. මං අත්දෙකම ඔසවා ඕනෑම උපදේශයක් පිළිගන්න කැමැතියි. අපේ පරණ ක්‍රීඩකයන්ටත් කනගාටුවක් ඇති අපේ ක්‍රිකට් එක අද පත්වෙලා තියෙන තත්ත්වය ගැන. ඒ වගේම විදේශ රටවල සිටින අයටත් ඒ හැඟීම දැනෙනවා. ඒ නිසා අපි මේ හැමෝම එකතු වෙලා අපේ පරණ ක්‍රිකට් එක අපි හදාගන්න ඕන.

ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට මේ තනතුර දුන්නේ මොකක් හරි දෙයක් මගෙන් බලාපොරොත්තුවෙන්. ඒ නිසා මම ඒ වගකීම, විශ්වාසය රකින්න ඕන. ඒ වගේම ඇමැතිවරයාත් මා කෙරෙහි දක්වා තිබෙන විශ්වාසය රැකෙන අයුරින් කටයුතු කරලා මේ රටට, ක්‍රිකට් එකට හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තුව.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment