මහපොළොව ගුවන දියඹ විජයග්‍රහණය කළ විශේෂ කාර්ය බළකායේ කරු

180

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන සාවද්‍ය බව පෙන්වමින් ගුවන, දියඹ සහ මහපොළොව යන ත්‍රිත්වයම දික්විජය කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන නිශාන් ප්‍රදීප් කරුණාතිලක සැබෑ දක්ෂතාවලින් පරිපූර්ණ අති දක්ෂ ක්‍රීඩකයෙකි.

වැව් බැඳි රාජ්‍යයේ මහසෙන් නිරිඳුන්ගේ විසල් නිමැවුමක් වූ මහකනදරාව ජනපදයෙන් හමුවන තිලකරත්න මුදියන්සේලාගේ නිශාන් ප්‍රදීප් කරුණාතිලක යෞවනයා සුවිශේෂ දක්ෂතාවලින් හෙබි ක්‍රීඩකයෙකි. පාසල් වියේ සිටම ක්‍රීඩාවට දක්ෂතා දැක් වූ කරු මහකනදරාව යාය 02 මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරා 2008.09.02වන දින දකුණු ආසියාවේ විශිෂ්ටම අතුරු හමුදාව වන පොලිස් විශේෂ කාර්ය බළකායට බැඳී ස්වකීය රාජකාරිය දිවි සැරිය අරඹන ලදී.

එස්ටීඑෆ් කරු ලෙස ප්‍රචලිත ඔහුගේ දක්ෂතා මෙරට පමණක් නොව සප්ත මහා සාගරයෙන් එපිට ජාත්‍යන්තරය දක්වා විහිද ගියේ ය. තම මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය වෙනුවෙන් තම භද්‍ර යෞවනය කැප කළ කරු එතැනින් නොනැවතී මලල ක්‍රීඩාවෙන් මාතෘ භූමිය ජාත්‍යන්තරයට ඔසවා තැබීමට කටයුතු කළේය. තම ක්‍රීඩා කෞෂල්‍යයයෙන් ලක් මාතාවගේ ගෙල රනින් සැරසීමට ඔහු සමත් විය.

මොහුගේ දක්ෂතා අතර 2017 වර්ෂයේ චීනයේ රේගාවෝ නුවර පැවැති විසිවන ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 400 රිදී පදක්කමද, 2019 වර්ෂයේ තායිලන්තයේ පැවැති විවෘත ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියෙන් මීටර් 400ං4 තරගවලදී රන් පදක්කම් දෙකක් ද, 2019 වර්ෂයේ මැලේසියාවේ පැවති 21 වන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියෙන් මීටර් 400 කඩුලු මතින් දිවීම තරගයෙන් රිදී පදක්කම ද, අඩි පහළොස් දාහක් ගුවනේ සිට නිදහස් ආර පැරෂුට් පැනීම් වාර හතළිස් අටක් සාර්ථකව සිදුකර තිබීම ද, අඩි 150 ට වැඩි ගැඹුරු මුහුදේ කිමිදුම් වාර තිස් දෙකක් අතිශය සාර්ථකව සිදුකර තිබීම ද මෙම ක්‍රීඩකයා සතු අසාමාන්‍ය දක්ෂතා අතර වේ.

එමෙන්ම මෙවන් දස්කමක් සිදුකරන ලද යුද, ගුවන් නාවික හා පොලිස් යන සියලුම ආරක්ෂක අංශයන් නියෝජනය කරන එකම හා පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වේ. වර්තමානයේ පොලිස් සැරයන් කෙනකු ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය පුලියන්කුලම කඳවුරේ සේවය කරන අතර කහටගස්දිගිලිය ප්‍රදේශයේ නදීකා ප්‍රියදර්ශනී විමලවීර මෙනවිය සමග අතිනත ගත් කරු ස්වකීය ක්‍රීඩා ජීවිතයට ඇයගෙන් ලැබෙන අප්‍රමාණ දායකත්වය නිරන්තරයෙන්ම සිහිපත් කරයි. එමෙන්ම විශේෂ බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගෙන් තම ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නංවා ගැනීමට ලැබෙන දායකත්වය කෘතවේදීව ඔහු සිහිපත් කරන අතර අනෙකුත් උසස් නිලධාරීන් සහ සහෝදර නිලධාරීන් ගෙන් ලැබෙන සහයෝගය තම ක්‍රීඩා දිවිය ඔප්නැංවීමට මනා පිටිවහලක් වන බව පවසයි.

ගාමිණී පිටගම්පල
ජාතික කළමනාකරු, උප පොලිස් පරීක්ෂක,
ස්ථානාධිපති මාධ්‍ය, පොලිස් විශේෂ කාර්ය බළකාය.

advertistmentadvertistment
advertistmentadvertistment