ජනපතිගෙන් මන්ත්‍රීවරයෙකුට අවවාදයක්!

747

පසුගිය සතිය ආණ්ඩුවේ කාට කාටත් වැඩ අධික සතියක් විය. විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ 75 වැනි නිදහස් සමරු උත්සවය නිසාත් ඒ හා සමගාමීව කෙරුණු රැස්වීම් හා විවිධ මට්ටමේ උත්සව නිසාත් නව පාර්ලිමේන්තු සැසිවාරය පටන්ගෙන කරන රාජාසන කථාව නිසාත් බොහෝ සේ කාර්යබහුලව සිටියේය.

ඊටත් වඩා ඔහුට මුහුණ පාන්නට සිදුව තිබූ අභියෝග පුංචි නොවීය. නිසි කලට ඡන්දය පවත්වන්නැයි කියමින් මේ වන විට විපක්ෂය ගෙන යමින් තිබූ විරෝධතාවන්හි නිමක් නොවීය. සමගි ජනබලවේගය ජාතික ජන බලවේගය යන විපක්ෂයේ ප්‍රධාන බලවේග දෙක ජනබලය වෙනුවෙන් ප්‍රසිද්ධියේ විවෘතව කා කොටා ගන්නා තත්ත්වයකට සමාජයේදී පත්ව සිටියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එරෙහිව දක්වන විරෝධය සම්බන්ධයෙන් නම් දෙගොල්ලෝම එක සටන් පෙරමුණක සිටියහ. මේ දෙපිරිසම බලා සිටියේ නිසි කලට වෙලාවට පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බලකරමින් ආණ්ඩුවට එරෙහිව පවරා තිබූ සියලු නඩුවල තීන්දු පෙබරවාරි 10 වන සිකුරාදා හෝ ඒ ආසන්නයේ එළියට එනතුරු ය.

මේ වන විට ඡන්දය පැවැත්වීමට නොහැකි මට්ටමින් මැතිවරණ කොමිසම හිර වී ඇත්තේ රජය නිකුත් කර ඇති නිවේදන හා චක්‍රලේඛ දෙකක් නිසාය. එකක් මැතිවරණය සඳහා වියදම් කරන්නට මහා භාණ්ඩාගාරය සතුව මුදල් නැතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබාදුන් ප්‍රකාශයයි. දෙවැන්න ගෙවීමේ පදනම මත කිසිදු සේවාවක් හෝ ද්‍රව්‍යයක් ලබා නොගන්නැයි රාජ්‍ය ආයතනවලට නිකුත් කර තිබූ චක්‍රලේඛයයි. මෙම කාරණා දෙක නිසා ඡන්ද කාඩ්පත් මුද්‍රණයේ පටන් මැතිවරණ රාජකාරිවලට සේවකයන් යොදවා ගැනීම දක්වා වූ සේවාවන් පවත්වාගෙන යෑමට බරපතළ ගැටලු ඇතිවිය. පළාත් මැතිවරණ කාර්යාලවල අදාළ රාජකාරි සඳහා වාහනවලට ඉන්ධන සපයා ගැනීමටවත් මුදල් නොමැති වූහ.

එහෙයින් පසුගිය දිනවල මැතිවරණ කොමිසම මෙම මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ වන මූල්‍ය පහසුකම් මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට නියෝගයක් නිකුත් කරන්නැයි කියා අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනුකර තිබිණි. එම නඩුව සම්බන්ධයෙන් ද සතුටුදායක උත්තරයක් දහවෙනි සිකුරාදා ලබාදෙනු ඇතැයි දේශපාලන පක්ෂ අපේක්ෂාවෙන් සිටියහ.

● පෙරහැරේදී හමුවුණ ජනපතිවරු දෙදෙනා…

මේ අතර පසුගිය මාසයේ 28 වැනි දා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සම්බන්ධයෙනුත් එමගින් මෙතෙක් පැවති පාර්ලිමේන්තු කමිටු හා කාරක සභා අහෝසි වීම සම්බන්ධයෙනුත් විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහිව එල්ල වූ ප්‍රතිරෝධය සුළුපටු නොවීය. අනිත් අතට 8 වෙනි බදාදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පටන් ගනිමින් රාජාසන කතාවක් කිරීමට ජනාධිපතිවරයා සූදානම් වීමද බරපතළ ලෙස විවේචනයට ලක්වූ කාරණාවක් විය. ජනාධිපතිවරයාට රාජාසන කතාවක් කිරීමට අවශ්‍ය නම් 75 වන නිදහස් සමරු අවස්ථාවේ එය නොකර අට වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් එය කරන්නට යොදා ගැනීම ගැන ද බරපතළ විවේචන වූහ. සමහරු කීවේ එය මහජන මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීමක් කියාය.

මේ මොන විවේචන තිබුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිවකින් සැලුණේ නැත. ඔහු සැලසුම් කළ පරිදි කරන්නට බලාපොරොත්තුවෙන් සිටි සියල්ලම කළේය. පසුගිය සෙනසුරාදා නිදහස් සමරු උත්සවයට පැමිණ සිටි දකුණු ආසියානු කලාපීය රටවල රාජ්‍ය නායකයෝ හා රාජ්‍ය ඇමැතිවරු හමුවන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ඒ අතර ජපානයේ රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයාද වන පැටි්‍රෂියා ස්කොට්ලන්ඩ් ද සිටියේය. ඉරිදා දිනයේ මේ සියලුම දෙනා හා ජනාධිපතිවරයා අතර හමුව සිදුවිය. දකුණු ආසියානු කලාපයේ රටවල් පොදුවේ මුහුණ දෙන ගැටලු හා අභියෝග සම්බන්ධයෙන් මෙහිදී ලොකු සාකච්ඡාවක් ඇති විය.

මෙම සාකච්ඡාව ගැන සමහරු කතා කළේ ජනාධිපතිවරයා ලංකාවේදී නිල නොවන සාර්ක් සමුළුවක් පැවැත්වූවා කියාය.

● රනිල්ට තියෙන්නේ රාජාසන මේනියාවලු…

හෙලිකොප්ටරය ලකුණෙන් පළාත් පාලන ඡන්දයට තරග වදින නිදහස් ජනතා සන්ධානයේ විශේෂ කමිටු රැස්වීමක් අඟහරුවාදා හවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පවත්වන්නට යොදාගෙන තිබුණේ විශේෂ කාරණා කිහිපයක් නිසාය. ජනාධිපති රනිල්ගේ “රාජාසන මේනියාව” නමින් එක කරුණක් මේ වන විට නම් කර තිබිණි. මේ රාජාසන මේනියාවට විරෝධය දක්වන්නට විපක්ෂයේ පක්ෂ ගණනාවක්ම ලොකු හා යුගයකින් කතාබහ කරමින් වැඩකටයුතු කරන ආකාරය පෙනෙන්නට විය….

ජනාධිපති රනිල් නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර රාජාසන කතාවක් පවත්වනවාට විරෝධය පළ කරමින් විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගය එදින (8දා) පාර්ලිමේන්තුව වර්ජනය කරන්නටත් තීරණයක් ගෙන තිබිණි. හෙලිකොප්ටරයේ නව එකමුතුව මේ සම්බන්ධයෙන් කුමන තීරණයක් ගන්නේ දැයි සජිත් විමසා තිබිණි.

නිදහස් ජාතික සන්ධානය අඟහරුවාදා එක් වූයේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමටයි. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක එදින උදයේ මේ පිළිබඳ මතය දයාසිරිගෙන් විමසා සිටි වෙලාවේදී දයාසිරි කියා තිබුණේද හවස කමිටු රැස්වීමේදී තීන්දුවක් ගන්නා බවයි. කමිටු රැස්වීමට දයාසිරි විමල් ගම්මන්පිල ඩලස් තිලංග නාලක ගොඩහේවා, ජී. එල්. ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් සහභාගි වූහ…

“මේ රාජාසන මේනියාවට විරෝධය පාලා අපි එදාට පාර්ලිමේන්තුව වර්ජනය කරන්න ඕන කියලයි සමහර පක්ෂ යෝජනා කරන්නේ…”

“ඒ මොකද එහෙම කරන්නේ… අපි පාර්ලිමේන්තුවට විරෝධය පාන්නේ නෑනේ… විරෝධය තියෙන්නෙ රාජාසන කතාවට නං අපි ඒ වේලාවේ ඒ ගැන ප්‍රකාශයක් කරලා එළියට බහිමු…”

“ඔව්… එදාට අපි පාර්ලිමේන්තු නොගිහින් ඉන්න අවශ්‍ය නෑ. අපි යමු. කතාව වෙලාවේ එළියට බැහැලා විරෝධය පළ කරමු….”

එසේ සාකච්ඡාවෙන් තීන්දුවක් ගත් නිදහස් ජාතික සන්ධානයේ විධායක කමිටුව එළියට පැමිණි අවස්ථාවේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තමන් ගත් තීන්දුව ගැන ප්‍රසිද්ධ කර සිටියහ. විමල්, දයාසිරි, තිලංග සහ නාලක මාධ්‍ය හමුවේ කතා කළහ.

මේ වෙලාවේ ගෙවිඳු කුමාරතුංග ළඟට ද කිහිප දෙනෙක් පැමිණියේය… එහෙත් ඔහුගෙන් විශේෂයෙන් ඇහුවේ රාජාසන කතාව ගැන නොව… දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය හා ජනාධිපති රනිල්ට තිබෙන ජනවරම ගැනය.

දහතුන්වන සංශෝධනය බලාත්මක කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ හරිණි මන්ත්‍රීතුමිය පවා ප්‍රකාශයක් කර තිබියදී ගෙවිඳු වැන්නන් ඊට විරුද්ධ වන්නේ කුමන පදනමකින් දැයි විමසා සිටියහ.. ගෙවිඳු ඊට දැඩි උත්තරයක් දුන්නේ මෙසේය.

“ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 69 ලක්ෂයක ජනවරමක් දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න මිස 13 ක්‍රියාත්මක කරන්න නෙවෙයි. එයාගේ කාලයේ ඉතිරි ටික සම්පූර්ණ කරන්න ආපු රනිල් වික්‍රමසිංහට ඒ සඳහා කොහොමත් ජනවරමක් නෑ.

දහතුන් වැනි ව්‍යවස්ථාවට කොහොමටත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සුජාතභාවයක් නෑ. ජේ.ආර්. එක තුනෙන් දෙකෙන් සම්මත කරගත්තේ ජනමත විචාරණයකින් ආණ්ඩුව දීර්ඝ කරගෙන. නියම වෙලාවට ඡන්දය තිබුණ නම් කොහොමටවත් ජේ. ආර්. ගෙ ආණ්ඩුවට එදා තිබුණු තත්ත්වය අනුව තුනෙන් දෙකක් ලැබෙන්නේ නෑ. තුනෙන් දෙක ගත්තෙ අයුතු විදිහට බලහත්කාරයෙන් දික් කරගත්ත ආණ්ඩුවකින් විතරක් නෙවෙයි. මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගත්තෙත් බලාහත්කාරයෙන්.

එහෙම බලහත්කාරයෙන් සම්මත කර ගත්තත් ජේ.ආර්. වත් ප්‍රේමදාසවත් අඩුම තරමින් චන්ද්‍රිකාවත් ඕක ක්‍රියාත්මක කරන්න ගියේ නෑ…

දැන් ඔය ජේවීපී එකේ හරිනිලා කියනව නම් මේක නීතියක් නිසා ක්‍රියාත්මක කළාට කමක් නෑ කියලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් නීතියක් තමයි. ඒකත් ක්‍රියාත්මක කළාට කමක් නෑ. ඒ කියන්නේ නඩු නැතුව දින නියමයක් නැතුව තරුණයන්ව රිමාන්ඩ් බන්ධනාගාර වල තියා ගත්තට කමක් නෑ… ඇයි ඉතින් ඒව නීති නේ…” ගෙවිඳු කාටවත් කට උත්තර නැතිවෙන තර්කයක් ඉදිරිපත් කළේ එසේය. තත්ත්වය මෙසේ තිබියදී පොහොට්ටුව ඇතුළේද විවිධ මට්ටමේ සාකච්ඡා ඇතිවිය. පොහොට්ටුවේ ජන වරමින් තනි මන්ත්‍රීවරයකු තියාගෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් කරන ආකාරය ගැන පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරු හිටියේ හිත හොඳකින් නම් නෙමෙයි. ජනාධිපති රනිල් තවමත් ජොන්ස්ටන් රෝහිත, මහින්දානන්ද ඇතුළු මන්ත්‍රීවරු රැසකට ඇමැතිකම් නොදීම ගැන ද සාකච්ඡා ඇති විය. ඔවුන්ගේ මතය වූයේ මහින්ද රාජපක්ෂට වුවත් රනිල්ගේ රජය මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවයි. කෙසේ වෙතත් එබඳු අභ්‍යන්තර සාකච්ඡා එළියට පැමිණියේ නැත. මහින්ද රාජපක්ෂලාගේ කඳවුරට මීට වඩා සැලකිල්ලක් දක්වන්නේ නම් චීනය ඉන්දියාව බදු රටවල් කළමනාකරණය කර ගැනීමේ දී රජයට එය වඩාත් පහසුවක් වනු ඇතැයි එහිදී සාකච්ඡාවට ලක්වූ බව නම් සැලවිය.

● ත්‍රස්තවාදය මඬින්න අලුතෙන් පනතක්…

මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා ජනාධිපතිවරයා අතර ද විශේෂ සාකච්ඡාවක් ඇතිවිය.

රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යෝජිත ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සහ ගෙන ඒමට නියමිත දූෂණ විරෝධී පනත ඇතුළු පනත් කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඇමැතිවරයා අතර ඇතිවූ මෙම දීර්ඝ සාකච්ඡාව ඉතා වැදගත් වූවකි. ශ්‍රී ලංකාවේදී ගිනි ගෙන මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් ඊට අදාළ ඩොලර් බිලියන 6.5 ක වන්දි මුදල ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ අධිකරණයේ නඩු පැවරීමේදී ඉදිරි කටයුතු පිළිබඳව සහ ඊට අදාළ නීතිමය කරුණු පිළිබඳව ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිවරයාගෙන් සවිස්තරාත්මකව කරුණු විමසනු ලැබීය.

මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අප බලාපොරොත්තු වන මුළු ණය සහන මුදල් බිලියන 2.5 කි. පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් වන්දි මුදල් ලෙස බිලියන 6.5 ක් ලබා ගන්නේ කෙසේදැයි සමහරුන්ට සක සංකා ඇතිවිය…

අනාගතයට බලපාන මෙවන් විශාල පරිසර හානියක් වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය සුළු පටු නොවන බව මෙහිදී කියවිණි.

සංහිඳියා කාර්යාංශයේ කටයුතු සහ ජාතික සමගිය හා ප්‍රතිසංවිධාන කාර්යාලයේ කටයුතු වේගවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අතර කතාබහේදී පූර්ණ අවධානය යොමු විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යෝජිත ජාතික ආරක්ෂක පණත් කෙටුම්පතේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට හා අධිකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ අමාත්‍යාංශයේ පසුගිය බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවකදීය.

“මේක මම ඉක්මනින් කැබිනට් එකට දාන්න ඕන. මේක මේ සතියේ ඉවර කරනවා කියලා ඔයගොල්ලෝ පොරොන්දු වුණා. ලබන සතියේ ඉවර කරනවා කියලා ඔය ගොල්ලෝ පොරොන්දු වුණා. ලබන සතියේවත් මම මේක කැබිනට් එකට ඉදිරිපත් කරන්න ඕන. මේ පනත් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රදානයන් ජී.එස්.පී. සහනය අපිට ලැබෙනවා ද නැද්ද කියන එකට තීරණාත්මක බලපෑමක් කරන්නේ. ඇමැතිවරයා නිලධාරීන් අමතමින් කියා සිටියේ එහි වැදගත්කම ඔවුන්ට ද අවධාරණය කරමිනි.

● ආණ්ඩුව විපක්ෂය ෆවුසිට මාරු වෙලා!

8 වෙනිදා අලුත් පාර්ලිමේන්තු සැසි සැසිවාරය ආරම්භ විය. සමගි ජනබලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු බහුතරයක් දෙනා එදා පාර්ලිමේන්තු පැමිණි සිටියේ නැත. ඒත් සමගි ජනබලවේගයේ ඇතැම් නායකයෝ එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටීම පුදුමයට කරුණක් නොවීය. සැබැවින්ම ඒ සියලුම දෙනා සුළු පක්ෂවල නායකයෝ ය. ඒ නායකයෝ ඉන්නේ කොතැන දැයි බොහෝ දෙනෙක් දැන සිටියහ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වෙනම පැමිණ සිටියහ. ඊට අමතරව හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධක්‍රිෂ්ණන් ඇතුළු සුළු පක්ෂවල සියලුම දෙනා පාහේ එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ…

සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ජනපතිගේ කතාව අසන්නට සභාවට නොපැමිණි නමුත් පැමිණ සිටි පොහෝට්ටුවේ ස්වාධීන කණ්ඩායම් ජනපති සභාවට පැමිණෙද්දී, කෑ කෝ ගසමින් සභාවෙන් පිටව ගියහ. ජනපති සිය කතාව අවසන් කොට තේ පැන් සංග්‍රහය පැවැති පාර්ලිමේන්තු භෝජනාගාරය වෙත ගියේ ආරාධිතයන් ද සමගිනි.

මෙහිදී ජනපතිගෙන් බොහෝ දෙනෙක් විමසා සිටියේ මෙවැනි ජනප්‍රිය නොවන තීන්දු ගන්නේ කෙසේද කියාය. මෙය ඔබගේ දේශපාලන ආනාගතයට සුබදායී නැහැ නේ දැයි එහි පැමිණි තානාපතිවරුද විමසා තිබුණි.

“මම හැමදාම තිත්ත ඇත්ත කතා කළා. මට හැමදාම රට ලැබුණේ අමරු අවස්ථාවලදීයි. මම ඇත්ත කතා කරන්න ගිය නිසා තමයි හැමදාම පරාජය වුණේ. මට දැන් අවුරුදු දෙකහමාරක කාලයක් ලැබිලා තියෙනවා. මගේ වගකීම ඇත්ත කතා කළා, රටට හරි දේ කරන එකයි. එය බොහෝ අප්‍රසන්න වේවි. ඒත් අනාගතයේදී සැවොම මම කළ දේ හරි කියාවි.” ජනපති කීවේ ය.

කොළඹ පුරපති අපේක්ෂකයා විදිහට තරග කරන්න මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වුණාට පසු කොළඹ මනාප ලයිස්තුවේ ඊළඟට හිටියේ ඒ. එච්. එම්. ෆවුසිය. ඒ අනුව ඔහුට මන්ත්‍රී ධුරය හිමිවිය.

පසුගිය බදාදා අලුත් පාර්ලිමේන්තු සැසි වාරයේදී ඔහුද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

ෆවුසි අලුත් මන්ත්‍රී කෙනෙක් විදිහට දිවුරුම් දී සභාවට ඇවිත් අසුන් ගන්න යද්දී පැත්ත මාරු විය. ඔහු තව පොඩ්ඩෙන් වාඩි වෙන්නෙ ආණ්ඩුව පැත්තේය. චම්පික රණවක ඇමැතිතුමා විපක්ෂය තියෙන්නෙ මේ පැත්තෙ කියල කීවාට පසුව තමයි ෆවුසි විපක්ෂය පැත්තට හැරී ඇත්තේ.

“එතුමා හරියටම දන්නවා තමන් ඉන්න ඕන පැත්ත මොකක්ද කියලා…. ඒකයි මේ පැත්තට එන්න හැදුවේ…. ඕවා බලාගෙන ඉන්න බෑනේ… ඉරිසියාව ඉරිසියාව…” කියමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විහිලු කළේය.

“වැඩි කලක් යන්න කලින් ෆවුසි මන්ත්‍රීතුමාට අපිට කතා කරන්න වෙන්නේ ඇමැතිතුමා කියලා…. එතුමා එයා ඉන්න ඕන තැන නිවැරදිව තේරුම් අරන් වැඩ කරාවි…” ආණ්ඩුවේ මන්ත්‍රීවරු කීහ.

“ඔබ තුමා ඇමැතිවරයෙක් විදිහට ගොඩාක් වැඩ කරපු කෙනෙක්. ප්‍රවාහන ඇමැති කාලේ ඔබතුමා දාපු බඩී බස් වල ඉස්කෝලෙ ගිය මිනිහෙක් මම. අපි ඉස්කෝලේ කාලෙ ඒ බස්වලට කිව්වෙ ෆවුසි බඩී කියල. එල ෆවුසි කියල තමයි අපි ඒ බස් වලට නැග්ගේ. “ෆවුසිගෙ අලුත් මන්ත්‍රීකමට ආණ්ඩුව වෙනුවෙන් මුලින්ම සුබපැතුවෙ සංජීව එදිරිමාන්නය. සංජීව එදිරිමාන්න එහෙම කියද්දී ෆවුසි පුටුවෙන් නැඟිටල පපුවට අත තියල ඒ සුබපැතුම භාර ගත්තේය….

නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභා වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පසුගිය 9 වැනිදා ආරම්භ විය. ඊට පෙරදින සැන්දෑවේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති හා අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

“හෙට පාර්ලිමේන්තු විවාදය පටන් ගන්නවා. ඒකට ඔබතුමන්ල සියලුම දෙනා සහභාගි වෙන්න” ජනාධිපතිවරයා පළමුව කීය.

“සර්.. විපක්ෂය විවාදයට එන්නෙ නෑ. අපිට විතරයි කතා කරන්න වෙන්නේ” මන්ත්‍රීවරයකු පැවසීය.

“විපක්ෂයත් මේ විවාදයට එනවනම් අපි කැමතියි. එතකොට එයාලටත් කියන්න තියෙන දේවල් කියන්න පුළුවන්. අපිට ඒවට උත්තර දෙන්න පුළුවන්. විපක්ෂය විවාදයෙන් පැනල යන එක අනුමත කරන්න බෑ” ඒ ඇමැති ප්‍රසන්නය.

“ඒකට කමක් නෑ.. ඔයාල කතා කරන්න. මේ විවාදයට ඇවිල්ල තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බැරි ඇයි කියල ඔයාල විවාදයේදි විපක්ෂයෙන් ප්‍රශ්න කරන්න.” ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

“විපක්ෂයටත් මේ ගැන මතයක් ඇති. ඇයි ඒක එයාලට කියන්න බැරි. අපේ විපක්ෂය කැලේ ඉන්න නරි වගේ. ප්‍රශ්නයක් ආවම හූ කියල කෑගහල පැනල යන විපක්ෂයකින් ඇති වැඩේ මොකද්ද?.” තවත් අයකු කීවේය.

“අද ස.ජ.බ – ජ.වි.පෙට ගහනව, ජ.වි.පෙ- ස.ජ.බට ගහනවා. ඕක නෙමෙයි මේ වෙලාවේ තියෙන ප්‍රශ්නය. මොකද්ද රටට තියෙන විකල්පය කියන එකයි.” ජනාධිපතිවරයා නැවත පැවසීය.

සරත් වීරසේකර මන්ත්‍රීවරයා මෙහිදී අයි.එම්.එෆ්. අරමුදල් ගැන කළ කතාවට ජනාධිපතිවරයාට තරමක කේන්තියක් ඇතිවිය.

“ඕව ගැන කතා කරල විපක්ෂයට මාතෘකා හදල දෙන්න එපා මන්ත්‍රීතුමා.” ජනාධිපතිවරයා කීය. මන්ත්‍රී සරත් එතකින් නිහඬ විය.

“සර්.. ඔබතුමාගේ වැඩපිළිවෙළ හොඳයි. අපි ඒක අගය කරනවා. මේ විදියට ගියොත් සංචාරක කර්මාන්තය ගොඩ ගන්න පුළුවන්. ඒත් කඩාකප්පල්කාරීන් තැන් තැන්වල උද්ඝෝෂණ පටන් අරගෙන තියෙනවා. මේක සංචාරක කර්මාන්තයට වගේම අපිට ආධාර දෙන අයි.එම්.එෆ්. ඇතුළු අනෙකුත් ආයතනවලට ප්‍රශ්නයක් වේවි. ඒක නිසා දැන්ම මේක කඩා ගන්න ඕන” ඒ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනය.

“මම මොකද්ද කරන්න ඕන. ඒකට මැදිහත් වෙන්න ඕන සංචාරක කර්මාන්තයෙන් යැපෙන අයයි” ජනාධිපතිවරයා කීය.

● මැතිවරණ සටනේ හීන සහ යථාර්ථය….

පසුගිය ඉරිදා දිනය පොහොය දිනයක් වුවත් ඇමැති ප්‍රසන්නට නිවාඩුවක් නොවීය. ඔහු එදින කුරුණෑගල හා හලාවත පැවති පොහොට්ටුවේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගේ ජනහමු කිහිපයකට එක්විය. කුරුණෑගල ජනහමුව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සංවිධානය කර තිබුණි.

“ජ.වි.පෙයි – ස.ජ.බෙයි බලාගෙන ඉන්නේ අපි පැරදෙනකම්. මම කැට තියල තියන්නේ මේ ඡන්දයෙන් දිනන්නෙ අපියි. 2018 ගත්ත ප්‍රථිඵලයම අපිට ගන්න බැරි වේවි. හැබැයි ජ.වි.පෙයි – ස.ජ.බයටයි වඩා වැඩි ප්‍රථිපලයක් අපි ගන්නවා.”

ඇමැති ප්‍රසන්න කී කතාවට අපේක්ෂකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් හිමිවිය.

“අපේ පැත්තෙ ඉන්න මාලිමාවෙ අපේක්ෂකයා තමන්ගේ කොට්ඨාසයේ හතර මායිම දන්නේ නෑ” අපේක්ෂකයකු කීවේය.

“ගම්පහත් එහෙමයි.

මිනුවන්ගොඩ කොට්ඨාසයක එයාලයි අපේක්ෂකයා ගමට ඇවිල්ල තියෙන්නෙ මාස හතරකට කලින්. එයා අඩුම තරමේ ගමේ මළ ගෙදරකටවත් ගිහිල්ල නෑ. හැබැයි පොහොට්ටුවේ තමුන්නාන්සේල එහෙම නෙවෙයි. කොරෝන කාලේ මිනිස්සුන්ට බඩු ටික බෙදුවේ ඔයාල. මිනිස්සුන්ට එන්නත් ටික දෙන්න පෙරමුණ ගත්තෙ ඔයාල. මළගෙදරට, මඟුල් ගෙදරට ගිහිල්ල එතන වුවමනාකම් හොයල බැලුවේ ඔයාල. ගමේ මිනිස්සුන්ට මේව මතකයි. බය නැතුව ගමට යන්න. අපි ඔයාල එක්ක ඉන්නවා. අපි ජ.වි.පෙ. වගේ මිනිස්සු මරල රාජ්‍ය දේපළ විනාශ කරල නෑ. ඒක නිසා අපිට ගමට යන්න පුළුවන්” ඇමැති ප්‍රසන්න කී කතාවට සභාවෙන් නැඟුණු අත්පොළසන් නාදය විනාඩි කිහිපයක් එක දිගටම පැවැත්විණි.

“අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ඉන්නෙ. ෆේස්බුක් එකෙත් ජනාධිපති එයා. ඇවිදින්නෙ, කතා කරන්නෙ තමන් ජනාධිපති කියල හිතාගෙන. හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ. පහුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හැසිරුණෙත් එහෙමනේ. ඒක නිසා අනුර කුමාරටයි, සජිත් ප්‍රේමදාසටයි දිගටම ඒ හීනයේ ඉන්න කියමු. අපි මහපොළවේ වැඩ ටික කරල මේ රට ගොඩගනිමු.” ඇමැති ප්‍රසන්න යළි කීවේය.

පසුගිය සතියේ දිනයක බත්තරමුල්ල පිහිටි නිවසට ජ.වි.පෙ. ක්‍රියාකාරීන් පිරිසක් පැමිණියේ අහම්බෙනි. ඔවුන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවෙමින් ගෙයින් ගෙට ඇවිද යද්දි ඇමැති ප්‍රසන්නගේ නිවසටද පැමිණියේය.

“මේක ප්‍රසන්න ඇමැතිතුමාගේ ගෙදර” ඇමැතිවරයාගේ නිවසේ ආරක්ෂක නිලධාරියා කීවේ එම ක්‍රියාකාරීන් පිරිස නිවසට වැද්ද නොගන්නා අදහසිනි.

මේ සද්දය ඇසී ඇමැතිවරයාද නිවසින් එළියට පැමිණි අතර ඇමැතිවරයා ආරක්ෂක නිලධාරියාට පැවසුවේ ජ.වි.පෙ ක්‍රියාකාරිකයන්ට නිවසට පැමිණීමටද ඉඩ දෙන ලෙසයි.

“මේක සර්ගෙ ගෙදර කියල අපි දන්නෙ නෑ. අපි යන්නම් සර්” ජ.වි.පෙ. ක්‍රියාකාරීන් පිරිස කීය.

“ඒකට කමක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන එක තමයි ලොකුම දේ. ගෙවල් ගිනි තියල මිනිස්සු මරල දේශපාලනය කරන්න එපා” ඇමැතිවරයා සුහදව පැවසීය.

“අනේ ඇමැතිතුමා අපි නම් ඕව කරන්නෙ නැහැ.” ජ.වි.පෙ. ක්‍රියාකාරීන් පිරිස කීය.

“නැත්තෙ මොකද මල්ලි. මගේ ගේ ගිනි තිව්වෙ ඔයාලගේ පක්ෂයේ අය. මේ තියෙන්නෙ පිංතූර” ඇමැතිවරයා සිය ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප හා වීඩියෝ පෙන්වමින් කී කතාවට ජ.වි.පෙ. ක්‍රියාකරීන්ට කට උත්තර නැති විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment