වැට්ද? ෆ්ලැට්ද?

789

ක්‍රිස්තු පූර්ව 776 දී ඉපැරණි ග්‍රීසියට සම්බන්ධ පෞර රාජ්‍යය (city sate) අතර පළමුවන ඔලිම්පික් ක්‍රීඩා තරගය පවත්වන ලදී. මෙකල රට හරහා දිවීමේ ඉසව්වට විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර එය නැරඹීම කාන්තාවන්ට තහනම් විය. එයට හේතුව තරගයට සහභාගී වන මලල ක්‍රීඩකයා ඇඟේ නූල් පොටක්වත් නැතුව අමු හෙළුවෙන් තරගයෙහි යෙදීමය. ඔවුහු මෙසේ ඇඳුම් නැතුව දිව ගියේ ඇඳුම්වල බරින් නිදහස් වීමෙන් වේගය වැඩි කරගත හැකි නිසාය. තරගය අවසාන වීමෙන් පසු ජයග්‍රාහකයන් වෙන්දේසි කරන ලදී. ධනවත් පවුල්වල සිටි මහළු පිරිමි එම මලල ක්‍රීඩකයන් විශාල මිල ගණන් වලට ලබා ගත්හ.

මේ ක්‍රීඩකයන් පසුව කාරණා දෙකක් සඳහා යොදාගන්නා ලදී. ඉන් පළමුවන කාරණය මෙහි සඳහන් නොකෙරේ. දෙවැනි කාරණය වූයේ එම ධනවතුන් විසින් සල්ලි ඔට්ටුවට පවත්වන මලල ක්‍රීඩා සඳහා එකී ක්‍රීඩකයන් යෙදවීමය. දැනට පැවැත්වෙන IPL වෙන්දේසිය නිසා අපට මේ කාරණය සිහිපත් විය. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 දා ඩුබායිහිදී පවත්වනු ලැබේ. ක්‍රිකට් ක්‍රීඩකයෝ 333 ක් මේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇත. මෙකල සිදුවන්නේද ක්‍රිස්තු පූර්ව 776 දී සිදුවුනාක් මෙන් ධනවත් ව්‍යාපාරිකයන්ට අයත් ක්‍රිකට් ක්ලබ් මගින් මේ ක්‍රීඩකයන් මිලට ගැනීමය.

ඉපැරණි ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩකයන් මිලට ගැනීමේදී ක්‍රීඩකයා සහ ගැනුම්කරුවා අතර ගිවිසුමක් අත්සන් කර නැත. එහෙත් අද ගිවිසුම් අත්සන් කර ක්‍රීඩකයාට හෙළවෙන්නට බැරි තත්ත්වයක් ඇතිකර ගනුදෙනු සිදුකරනු ලැබේ.

ඉහත සඳහන් කථාව මෙතැන් සිට අප ලියන දේට කිසිසේත්ම සම්බන්ධ නැති නිදහස් අදහසකි. අද අප ලියන්නට අදහස් කරන්නේ ඉදිරි අවුරුද්දේ මේ රටේ ජනයාගේ ජීවන තත්ත්වයට කෙළවෙන ආකාරය ගැනය. ආණ්ඩුව විසින් භාණ්ඩ විශාල ප්‍රමාණයකට 18% ක වැට් එකක් පනවා තිබේ. බදු ගහන්නේ නැතිව රටක් දිවවිය නොහැකි බව අපි පිළිගනිමු. බදු යනු රට වැසියාට මහත් කරදරයක් ඇති කරන Component එකකි. මධ්‍යකාලීන යුගයේ යුරෝපීය රටවල බදු ගැහිල්ල ඉතාම දරුණු විය. මේ නිසා එකල ජීවත් වූ ජනයා පැය 24 ම කතා කළේ බදු ගෙවන්නේ කොහොමද යන කාරණයයි. බදු නැතිව ඉදිරියට ගෙනයා හැක්කේ සමාජවාදී රටවල් පමණි. එහෙත් බදු නැති සමාජවාදයට පැවැත්මක් නැති අතර මේ වන විට බදු නොගසන එකම රටක්වත් ලෝකයේ නැත. කිසියම් ආණ්ඩුවක් මිනිසුන්ගෙන් බදු අය කරගත යුත්තේ මිනිසුන්ට එය පුරුදු කිරීමෙන් පසුවය. ලංකාවේ ජනයාට බදු ගෙවා පුරුදු නැත. ඔවුන් ගෙවන්නේ වක්‍ර බදු පමණකි. ආණ්ඩුව පසුගිය දවස්වල ගල් ලෝඩ් එකක් බෑවාක් මෙන් ජනතාවගේ හිස මතට බදු තොගයක් බෑවේය. ඉන් නොනැවතී ජනවාරි පළවෙනිදා සිට වැට් බද්දක්ද පැනවීමට තීන්දුවක් ගෙන තිබේ. ඒ වැට් එක 15% ක සීමාවක් යටතේ කලින්ද පැවති නමුදු ඒ ගණන 18% දක්වා වැඩිකර තිබේ. එතැනිනුත් නොනවතින ආණ්ඩුව කලින් වැට් නොගැසූ පාරිභෝගික භාණ්ඩ තොගයකටම වැට් එක පනවා ඇත. මේ නිසා පෙට්‍රල්, භූමිතෙල් සහ විදුලි බිල තවදුරටත් ඉහළ යනවා ඇත. බෙහෙත් වර්ග වලටද මේ සන්තෑසිය මෙසේම සිදුවෙයි. ආණ්ඩුව කළ යුතුව තිබුණේ වැට් බද්ද පැනවීමට පෙර ජනතාව අතට මුදල් එන වැඩපිළිවෙළක් ඇති කිරීමය. ලංකාවේ නාගරිකයෙහි සල්ලි ඇතත් ගමට සල්ලි නැත. ගමේ සිටින ධනපතියන් කිහිපදෙනකුගේ අතේ පමණක් හොඳටම මුදල් ගැවසෙයි. V8, වොල්වෝ සහ හමර් රථ ලංකාවට ගෙන්වන්නේ මේ කියන ග්‍රාමීය සහ නාගරික ධනපති පන්තිය විසිනි. අපගේ වැටහීමට අනුව ලංකාවේ නාගරික පන්තිය මිරිකා ඔවුන්ගෙන් බදු ලබාගැනීමට ආණ්ඩුව 100% කින් කටයුතු කර නැත. ඒ නිසා ලබන අවුරුද්දේ සිට පැනවෙන අලුත් වැට් බද්ද අල ගොඩක් වීමට ඉඩ තිබේ.

ලංකාව මේ වනවිට කිසිදු ආකාරයක නිෂ්පාදන ආර්ථිකයක් ඇති රටක් වන්නේ නැත. සාම්ප්‍රදායික අපනයන බෝග වන තේ, පොල්, රබර් සහ කුළුබඩු වලට මේ වනවිට විශාල ඉල්ලුමක් නැත. කෘත්‍රිම රබර් ඉතා අඩුවට ලෝක වෙළඳ පොළේ තිබේ. ඉතාම ලාබෙට මිලට ගතහැකි තේ ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් මගින් නිෂ්පාදනය කරනු ලැබේ. පොල් වෙනුවට ඉදිරියට පැමිණ ඇති කටුපොල් ලංකාවේ විදේශීය පොල් මාර්කට් එකට ලොකු බලපෑමක් කර ඇත. ලංකාවේ මැණික් පිට රට යවා මුදල් ඉපයීමට හැකි නමුදු එයින් එවැන්නක් සිදුකෙරෙන්නේ නැත. එසේම මැණික් ආදායම තීරණාත්මක ආදායමක් වන්නේද නැත. අපට සංචාරක ව්‍යාපාරය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබීමට නොහැක. අතේ සල්ලි ඇති සුද්දෝ ලංකාවට පැමිණ එම මුදල් වියදම් කිරීමේ අදහස අත්හැර දමා තිබේ. ඒ වෙනුවට තරුණ විදේශීය සංචාරක පරම්පරාවක් මෙහි එන අතර ඔවුන් හඳුන්වනු ලබන්නේ Back Packers යනුවෙනි. ඔවුන්ගේ පිටේ බෑග් එකක් ඇත. ඔවුන් සතු සමස්ත ධනය පවතින්නේ බෑග් එක තුළය. ඔවුහු බස්වල ගමන් යති. චූන් පාන්කාරයා එලවාගෙන ගොස් කෑම මිලට ගනිති. රෑට නිදාගැනීම සඳහා ස්ටේෂන් එකක් තෝරා ගනිති. ඔවුන් නිදාගන්නේ තම බෑගයට ඔලුව තියාගෙනය. මේ නිසා ඔවුන්ගෙන් ලැබෙන ආදායම ඉතා ස්වල්පය. රටක් වශයෙන් ඔවුන්ගෙන් අප ලබන ආදායමට වැඩි ආදායමක් ඔවුන් මෙහි එන එයාර් ලයින් එක උපදවන බව අප මතක තබාගත යුතුය. දැන් ඉතින් මේ සියල්ල අමතක කර ලබන මාසයේ සිට වැට් එකට මුහුණ දෙන්නේ කෙසේද යන්න අප කල්පනා කළ යුතුය. වැට් එකෙන් අප ෆ්ලැට් වනවා හැර වෙනත් යමක් සිදුවන බව නොපෙනේ.

advertistmentadvertistment
advertistmentadvertistment