දවසට දහ දොළොස් වතාවක් ජීවිතය පරදුවට තබන්නෝ

338
ප්‍රදීපන් - දවසේ පළමු පරදු තැබීම

ඔවුහු හැම දවසකම එක් වතාවක් නොව, අඩු තරමින්

දහ දොළොස් වතාවක්වත් සිය ජීවිතය පරදුවට තබති

ඒ තමන්ගේත් තම දරු පවුල්වලත් ජීවිත ගැටගසා ගැනීම පිණිසය. උතුරේ ආර්ථිකයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටද වැදගත් දායකත්වයක් දැක්වුවද ඔවුහු තවමත් අතීත වැඩවසම් මිනුම් දඬු මත බරපතළ ලෙස කොන්කිරීමට ලක් වෙති. දැන්වත් මේවා එළිපිට කතා කොට කෙළවර කරගත යුතු නොවේද?

වියළී ගිය පත්‍ර, පිති, මල් කිනිති අවිධිමත් ලෙස එල්ලා වැටෙන අඳුරු තල් ‘කරටිය’ කොණ්ඩා රැවුල් වවාගත් යාචකයෙකු මෙනි. මේ යාචක පෙනුමැති තල්ගස්වලට ‘කඩවසම්’ පෙනුම ලබා දෙන්නේ යාපනයේ සිටින තල් රා මදින්නන්ය.

ඔවුහු තල්ගසේ මේ පැරණි කටු සහිත වැරහැලි ඉවත් කර ඉතාමත් සීරුවෙන් තල් ගසට නැගීමේ මාර්ගය පාදා ගනිති. අනතුරුව තල් කරටියේ අවිධිමත් අතු පිති, කිනිති ඉවත් කර පිරිසිදු කර ගනිති. නාඹර මල් තැලෙන්නේ ඊට පසුවයි. බාබර්ගේ කාරියත් බමරුන්ගේ කාරියත් එකවර ඉටු කරන මේ රා මදින්නන් නිසා තල් ගසට ලැබෙන ආලෝකය ඔවුන්ගේ ජීවිත දක්වාම පැතිරේ. බඹරුන් මල නොතලා රොන් ගත්තත් මේ රා මදින්නන් පැණි එකතු කරන්නේ නාඹර මල් පදමට තලා ගැනීමෙනි.

‘මදින පෙට්ටිය’ ‘මල්තැලුම’, මදින පිහි කට්ටලය, වාඩිය, රා ලබ්බ, ගස්නගින තල් වලල්ල, ගෙරිහමෙන් තැනූ ලාඩම් දෙක, ඔවුන්ගේ රැකියාවේ උපකරණ කට්ටලයි. පැල්පත් තිබෙන තැන සිට ඇතැම්විට තල් රා මදින්නාගේ වැඩබිම හෙවත් තල් රුප්පාව ඇත්තේ කිලෝමීටර් දහයක් පහළොවක් දුරිනි. පාපැදිය හා යතුරු පැදිය සහාය වන්නේ මේ දුර ගෙවා දැමීමටයි. හිරු උදාවීමත් සමඟ මී මැස්සන් මෙන් කඩිසරව තල් රුප්පාව වෙත යන ඔවුන්, කුහුඹුවන් මෙන් තල්ගස තරණය කරන අයුරු ‘මනිපායි’ හිදී අපට දැක ගන්නට ලැබුණි.

● එක ගහේ මල් හතයි

එක් මුරයකට කිතුල් ගසකින් තැලීමට ලැබෙන්නේ එක මලකි. පොල් ගසෙන් නම් දෙකක් හෝ තුනකි. එහෙත් තල් රා මදින්නන්ට නම් එක තල් ගසකින් මල් පහක් හයක් හෝ හතක් තළා ගැනීමට වාසනාව තිබේ. ‘මනිපායිහිදී’ හමු වූ ප්‍රදීපන්, එම ප්‍රදේශයේ තල් රා මදින්නන්ගේ සමුපකාර සමිතියේ සභාපති වරයාය. අච්වේලි, පණ්ඩතාරිප්පු, චාවකච්චේරි, තෙලිප්පලෙයි, කොණඩාවිල් චුන්නාකම් හා කරෙයිනාගර්හි තල් සංවර්ධන සමිති නියෝජිතයන් හමුවීමද මෙම ලිපිය සම්පාදනයේ දී මහත් රුකුලක් වූයේය.

හිරු එළියට මදින පෙට්ටිය පේන්න පටන් ගන්නා හෝරාව තල් රා මදින්නේකුගේ කාල සටහනේ ආරම්භයයි. මනිපායිහි ප්‍රදීපන් (40) ඔහුගේ දවසේ කාලසටහන අපට කීවේය. “ඉර එළිය වැටෙන්න කලින් නැගිටින්න ඕනේ. ඊට පස්සේ මදින පෙට්ටියේ පිහි මුවාත තියලා මැද ගන්නවා. රා එකතු කරන භාජන ටික බයිසිකලේ ගැට ගහලා තියෙන්නේ. ගෙදරින් යන්නෙ උදේ පහට. මම කිලෝමීටර් හතරක් දුර යන්න ඕනේ. උදේට මොකුත් කාලා යන්නෙ නෑ, ගස් නගින්න අමාරු නිසා. මම ගස් 11ක රා මදිනවා. ඒ ඔක්කොම සමුපකාර සමිතියට තමයි දෙන්නේ.”

රා මදින රස්සාව එන්නේ උරුමයෙනි. ප්‍රදීපන්ට එය ආවේ ඔහුගේ අප්පාගෙනි. අප්පාටද එලෙසමය. එය පැරණි දෙමළ සමාජ සංවිධානය තුළ එක් කුල කණ්ඩායමක් ලෙස සැලකේ. අපි ප්‍රදීපන් සමග කතා කළේ මේ අපූරු රස්සාවේ වගතුග ගැනය.

අ● ලාඩම් දාගෙන ගස් නැගීම

“මම ගස් නගින්න පටන් ගත්තේ තාත්තාට මේ රස්සාව කරන්න අමාරු නිසා. ඒත් තාත්තා තාමත් මාත් එක්ක රා මදින්න යනවා. ඉස්සර වගේ ඉක්මනට තාත්තාට වැඩ කරන්න බෑ. ඒ වගේ වයසක අයට ගස් නගින්න හැර ගහන්න ඕනේ. අපි ගස් නගින්නේ තල් ගහේ පිත්තෙන් ගත්ත පට්ටෙන් හදපු වලල්ලෙන්. ඒක කකුලේ දාන්න මේ වගේ ලාඩන් දෙකක් ඕනේ නැත්නම් වලල්ලට පිටිපතුල තුවාල වෙනවා. වැස්ස දවසට ගස් එකොළහේ නගින්න ලේසි නෑ, පරක්කු වෙනවා.”

ප්‍රදීපන් තල් ගස් තරණය කරන්නට පටන්ගෙන තිබුණේ අවුරුදු 18 දීය. “තාත්තා එක්ක ගිහින් රා මැදලා ඒ සල්ලිවලින් තමයි මම උසස්පෙළ දක්වා ඉගෙන ගත්තේ. අපේ ගෙදර පිරිමි පරම්පරාවම ජීවත්වෙන්නෙ මේ රස්සාවෙන්. දවසට ලීටර් 12ක් විතර ගන්න දවස් තියෙනවා. තාත්තයි මමයි ලීටර් 40ක් රා ගන්න දවස් තියෙනවා. වැස්සෙන් කරදර වුණේ නැත්නම්, දවසට රුපියල් පන්දාහක් හයදාහක් හොයාගන්න අමාරු නෑ.” ප්‍රදීපන් කීවේය.

ශන්මුගනාදන් රාසයියා (69) ආලඩි හන්දියේ පදිංචි රා මදින්නෙකි. පාපැදිය නිල රිය කර ගත් ඔහු රා මදින රුප්පාව ඇත්තේ හැතක්ම තුනක් හතරක් දුරිනි. “පාන්දර හරක් ටික ලිහලා දාලා මම යන්නෙ. ගෙදර එනකොට 11 විතර වෙනවා උදේට දවල්ට දෙකටම එක වේල තමා. යාපනේ කොහෙවත් උදේට බත් නෑ. පාන්, රොටි, පිට්ටු, ඉන්දිඅප්ප තමයි තියෙන්නේ. බත් කන්නේ දවල්ට. මම ගස් අටක රා මදිනවා. තවත් දෙකක් මේ දවස්වල හදමින් ඉන්නේ. එක මලකින් ලීටරයක් ගන්නෙ බොහොම හදිස්සියෙන්. බෝතල් බාගයක් විතර නම් වෑස්සෙනවා. ගහකින් රා බෝතල් 4-5ක් ගන්න පුළුවන් ඒක වේලකට. දවසට රුපියල් 3,000ක් හොයන්න පුළුවන්, වෙන කරදර වුණේ නැත්නම්.” ඔහු පැවසුවේය.

● මදින පෙට්ටියේ උරුමය

කන්දස්ස්වාමි මුල්ලි (64) පැරණි රා මදින්නෙකි. මේ වන විට තල් ගස් සමග ඇසුර අත්හැර ඇති ඔහු, දැන් සම්බන්ධකම් පවත්වන්නේ තල් රා සමග පමණය. “දැන් මට ගස් නගින්න බෑ. මෙතන ඉන්නේ රා වඩියක් බොන්න. මට නම් කිරි වීදුරුවකට වැඩිය අගෙයි රා වඩිය. අපේ පරම්පාරවේ පිරිමි උපදින්නේ මදින පෙට්ටිය අතේ අරගෙන” මුල්ලි ඒසේ කීවේ බුලත් කහටින් පදම් වුණු ගෙවිගිය දසන් දක්වමිනි.

● ගැහැනුන්ට දුන් තිළිණ

තල් රා මදින රස්සාවේ ගැහැනු කවුරුවත් නැතත්, දෙවියන් දුන් තෑග්ග පිරිමින්ට පමණකැයි සිතුවොත් එය මුළාවකි. බිම ඉඳගෙන පරිස්සමට කරන්න අප්‍රමාණ වැඩ, තල් ගස ගැහැනුන්ටත් දී තිබේ.

වඩිවේල් සිවගාමි අම්මා (63) ඒ ගැන බොහෝ දේ අපට පැවසුවාය. “අපේ පරම්පරාවේ හැමෝම ජීවත්වුණේ තල් ගහෙන්. පිරිමි තල් රා මදින්න ගස් නගිද්දී අපි ඒ තල් කොළවලින් වට්ටි පෙට්ටි ගෙතුවා. 2009 යුද්දේ ඉවර වෙනකම් ජීවත්වුණේ පාත්තයෝ වගේ. එහේ යනවා, මෙහේ යනවා ජීවත්වෙන්න ස්ථිර තැනක් නෑ. 2009න් පස්සේ කුඩාරම් ගහගෙන හිටියේ. 2011 නැවත පදිංචි කිරීමෙන් පස්සේ තමයි එක තැනක ඉඳලා හුස්ම ගන්න පටන් ගත්තේ. කිලිනොච්චියේ ඉඳලා අපි කෝපායිවලට ආවා. අපේ පවුලේ හොයාගන්න බැරි වුණු සහෝදරයෝ දෙන්නම හමු වුණා. බාල පුතා නෑ. එයාගෙ නෝනා එක්ක අපි ජීවත්වෙන්න මොනවා හරි කරන්න ඕනේ නිසා තල් හකුරු හදන්න පටන් ගත්තා. මම තල් කොළවලින් වට්ටි පෙට්ටි හැදුවා… මෙහේ එන්ජීඕ සමිතියක් අපිට මුදල් ආධාරයක් දුන්නා…”

මුලදී ඔවුන්ගේ නිෂ්පාදනවලට එතරම් ඉල්ලුමක් නොතිබුණත්, යුද්ධය නිම වීමෙන් පසුව එක් වරම විශාල ඉල්ලුමක් නිර්මාණය විය.

“මිනිස්සු යාපනේ එන්න පටන්ගත්තා. තල් හකුරු කිලෝ එකක් දෙකක් තමයි මුලින් හැදුවේ. පස්සේ කිලෝ අටක් දහයක් වුණත් දෙන්න පුළුවන් වුණා. තල් හකුරුයි වට්ටි පෙට්ටියි අරගෙන ටවුමට ගියාම ඒවා ඔක්කොම දීලා එන්න පුළුවන් වුණා. එහෙම එකතු කරපු සල්ලිත් දාලා, තව ලීසිං එකක් දාලා තමයි ලොකු පුතා ත්‍රීවීල් එක ගත්තේ. දැන් බිස්නස් කරන්න බඩු අරගෙන යන්නේ එන්නේ මේකෙන්. කොවිඩ් කාලේ බිස්නස් කරන්න හම්බවුණේ නෑ, අමාරුවෙන් ජීවත්වුණේ. දූලගේ ළමයි ඉස්කෝලේ යවන්නේ, අපි කන බොන දේ ගන්නෙ, ලෙඩට දුකට පිහිට වෙන්නෙ අපේ පිරිමිගේ තල් රා මැදීමයි අපේ අත්වලින් තල් හකුරු වට්ටි පෙටිටි ගෙතීමයි නිසා.

● කුලේ නොතකන- කොළේ ශිල්පය

“හකුරු පැණි රස වුණාට මේවා හදන්නේ අඩු කුලේ අය කියලා හංවඩු ගහල තියෙන්නේ. අපේ සමහර ගෑනු කුණු කතා අහන්න බෑ කියලා වෙන වෙන රස්සාවල් හෙව්වා. මම එහෙම අය කීප දෙනෙක් එකතු කරගෙන මේ ගෙතුම් සාත්තරේ කියා දුන්නා. දැන් ඔය ඉන්නේ යස අගේට. දැන් දවසකට රුපියල් හත් දාහක් විතර හොයනවා. අනිත් අයත් එහෙමයි. පිරිමි තල් ගස් මදින තැන්වලට අපි යන්නෙ නෑ. වට්ටි පෙට්ටි ගොතන්න තල් කොළ, පොඩි ගස්වලින් කපා ගන්නෙ අපි මයි. ඒවයෙ කටු දැන් අතට හුරු වෙලා තියෙන්නේ. රා මදින පිරිමින්ගේ ගෑනු වුණාම තල් කොළේ සිල්පේ දැනගෙන ඉන්න ඕනේ.”

ලංකාවේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පහසුවෙන් වැඩෙන තල්ගස දකුණු කෙළවරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සු`ඵ වශයෙන් පැතිර තිබේ. තල් සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව 2007 වසරේ ක්‍රියාත්මක කළ තල් නිෂ්පාදන සඳහා අගයදාම සැලැස්ම යටතේ යාපනය, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, පුත්තලම, මුලතිව්, අම්පාර, අනුරාධපුරය, වව්නියාව, හම්බන්තොට යන දිස්ත්‍රික්ක එකොළහේ සංගණනයකින් තල් ගස් 11,120,000ක් තිබූ බව සොයාගෙන ඇත. උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ පැවති යුද්ධය හේතුවෙන් තල් රා මදින්නන් මෙන්ම තල් ගස් විශාල ප්‍රමාණයක් රටට අහිමි විය. තල් සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ තල් ශාක ගහනය දැන් මිලියන දොළහකට ආසන්න වෙමින් තිබේ. ඒ ආශ්‍රිත සෘජු හා වක්‍ර රැකියාවල යෙදෙන්නන් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවයි.

● තල් නමැති කප්රුකේ අස්වැන්න

තල් නිෂ්පාදන අගයදාම සැලැස්මට අනුව ශ්‍රී ලංකාව තල්ගසේ යුෂ ආශ්‍රිත නිෂ්පාදන ලෙස පැණිරස කාරක, මද්‍යසාර, පැසවූ නිෂ්පාදන ලෙස හකුරු, පැණි, මීරා, සූකිරි, අරක්කු, බෝතල් කළ රා, විනාකිරි නිපදවනු ලබයි. තල් මද ආශ්‍රිත නිෂ්පාදන වන්නේ, බෝතල් කළ මද ජිනාටු, පැණි ජිනාටු, ජෑම්, කෝඩියල් පිළියෙල කළ පාන වර්ග ඔසු ආශ්‍රිත නිෂ්පාදනයි.

තල් අල ආශ්‍රිත නිෂ්පාදන වන්නේ නැවුම් තල් අල, වියළි තල් අල, වියළි තල් අල පිටි, තැම්බූ තල් අල පිටි, පාම් පෝෂ, බිස්කට් සහ කේක් වර්ගයි.

තල්කොළ ආශ්‍රිත නිෂ්පාදන වන්නේ, සාම්ප්‍රදායික අත්කම් භාණ්ඩ, ගෙතූ කූඩ, වියන ලද පුටු, ඇසුරුම් මලු, තොප්පි පැදුරු, ඉරටු නිෂ්පාදන, කොසු, දත් සාරන කූරු, කෑම කූරු, මල් පෝච්චි, විසිතුරු භාණ්ඩ, බිත්ති සැරසිලි, ගමන්මලු, ගෙතූ පෙට්ටි, මු`ඵතැන්ගේ උපකරණ වැනි දේ ය. තදකෙඳි, බරවැඩ බුරුසු, මධ්‍යම කෙඳි, පවිත්‍රතා හා ගෘහමය බුරුසු, මෘදු කෙඳි, නූල් කෙඳි හා අත්කම් භාණ්ඩ කෙඳි ආශ්‍රිත නිශ්පාදන ලෙස ප්‍රචලිතය. ඉදිකිරීමේ කාර්ය ආධාරක, ගෘහ භාණ්ඩ, තුනී ලෑලි හා දර, දැව ආශ්‍රිත නිෂ්පාදන වන්නේ ය.

● තල් මලෙන් ඩොලර් පෙරීම

තල් රා මදින උතුරේ කුරාකුහුඹු මිනිසුන්ගේ අතිශය දුෂ්කර ව්‍යායාමයෙන් රටට ඩොලර් ගෙන ඒමට හැකියාව ඇති බව ඔප්පු කරනු ලැබුවේ 2022 වසරේය. එම වසරේ දෙසැම්බර් 10 දින තල් සංවර්ධන මණ්ඩලය ප්‍රකාශයට පත් කර සිටියේ මෙරටින් තල් රා බෝතල් 25,000ක් අඩංගු බහාලුමක් ප්‍රංශයට අපනයනය කළ බවයි. එකී අපනයනයෙන් ඩොලර් 45,000ක පමණ මුදලක් උපයා ගැනීමට හැකි වූ බවද සඳහන්ය. එලෙස තල් රා අපනයනය කරනු ලැබුවේ ඉතිහාසයේ මුල් වරට වීමද විශේෂත්වයකි. උතුරු ප්‍රදේශයේ තල් රා සමිති හරහා මෙම රා එකතු කරගෙන තිබුණි.

මෙකී අපනයනයත් සමඟ ඇමරිකාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ රටවල් 10කට පමණ තල් රා අපනයනය ආරම්භ කෙරිණි. තල් රා මදින්නන් විසින් මෙරට ආර්ථිකයට එකතු කළ මේ ශක්තිය අතිවිශිෂ්ට ක්‍රියාදාමයකි.

තල් රුප්පාවක්

උතුරු නැගෙනහිර දැව අවශ්‍යතාවයෙන් 80%ක් පිරිමැසෙනුයේ තල් ගසෙනි. තල් සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව මේ සඳහා වර්ෂයකට පරිණත ගස් 20,000ක් පමණ කපා දමනු ලැබේ. අදාළ දැව සැපයුම මඟින් දළ දේශීය නිෂ්පාදිතයට වාර්ෂිකව රුපියල් මිලියන එකසිය හතළිහක (140) පමණ දායකත්වයක් සැපයේ. තල් ආශ්‍රිත නිෂ්පාදන දේශීය වෙළඳපොළේ විකිණීම හරහා වාර්ෂිකව රුපියල් මිලියන දහයකට වැඩි මුදලක් තල් සංවර්ධන මණ්ඩලයට ලැබේ. තල් ආශ්‍රිත නිෂ්පාදන වඩා විධිමත් කිරීම වෙනුවෙන් සිංගානගර් කඩ්ඩුකරාන් කුඩිරුපු, තාරාවන් කෝඩෙයි, පඩප්පිඩ්ඩි යන ප්‍රදේශවල හකුරු නිෂ්පාදන මධ්‍යස්ථානත් සරාසාලී, සෙල්වෙරි, කල්පිටිය කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානත් සිංගානගර්, ඩෙලෆ්ට්, කව්දරිමුනෙයි, පඩප්පිඩ්ඩි, වෙරෝදය නගර්, මුකුතුවේරම්, කල්පිටිය ‘මද’ නිෂ්පාදන මධ්‍යස්ථානත්, යාපනය, බම්බලපිටිය ආහාර හා සිසිල්බිම නිෂ්පාදන මධ්‍යස්ථානත් පිහිටුවා තිබේ.

මීට අමතරව තල් සංවර්ධන මණ්ඩලය යටතේ පවතින තික්කම් ස්කාගාරයද ක්‍රියාත්මක වේ. අතිරික්ත රා තොග මඟින් ගුණාත්මක මද්‍යසාර හා වෙනත් නිෂ්පාදන නිපදවීම සඳහා තික්කම් ස්කාගාරය ස්ථාපිත කරනු ලැබුවේ 1984 වර්ෂයේ දීය.

තල් සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික ව්‍යාප්ති වැඩසටහන් යටතේ අත්කම් භාණ්ඩ සෑදීමේ පුහුණුව, ආහාර පිරිසැකසුම් පුහුණුව, කෙඳි නිෂ්පාදන පුහුණුව, දිස්ත්‍රික් එකොළහක වාර්ෂිකව ක්‍රියාත්මක කෙරේ.

මලට කලින් තැලෙන ජීවිත

තල් කර්මාන්තය කෙතරම් දැවැන්ත කර්මාන්තයක්ද යන්න ඉහත දත්තවලින් පැහැදිලි වන අතර, ඒ දැවැන්ත ආර්ථික ක්‍රියාවලිය පදනම් වන්නේ, තල් මල් කැපීමට දිනපතා දහ දොළාස් වතාවක් ජීවිතය පරදුවට තබන ‘කුරා කුහඹු මිනිසුන්’ මතය.

තල් රා මදින්නන්ගේ සමුපකාර සමිති නියෝජිතයන් පැවසුවේ 2017 වසරෙන් පසුව තල් රා මැදීම සඳහා තිබූ නිදහස සීමා වූ බවයි. ඒ අනුව දැන් තල් රා මැදීම සඳහා බලපත්‍ර අනිවාර්ය කර තිබේ. රා මදින සෑම ගසක්ම අංක පැළඳ සිටින්නේ මේ නිසාය.

ග්‍රාම නිලධාරීන්ගේ රේකමදුරුව ඇතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා අයැදුම්පත් පුරවා තල් රා මැදීම සඳහා බලපත්‍ර ලබා ගත යුතුය. ඒවා කිරීමට සාක්ෂරතාවක් නැති ඇතැමෙක් තල් රා මැදීම පසෙක තබා කුලියක් මලියක් කරගෙන ජීවත්වීමට පුරුදු වූහ. දශක ගණනාවක් පුරා පැවති යුද්ධය නිසා ලියන්නට කියන්නට ඉගෙන ගැනීමට වඩා ජීවිතය රැක ගැනීමට වෙහෙසුනු මේ මිනිසුන් ගැන තල් සංවර්ධන මණ්ඩලය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව සාධාරණව කටයුතු කර නැත. රාවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ලබා ගන්නා රා සාම්පල්වල වාර්තා ලැබෙන්නේ අදාළ රා මැදීමේ මුරය අවසන් වීමෙනුත් පසුවය. උදාසීන රාජ්‍ය ආයතන හා නිලධාරීන් නිසා රා මදින්නන්ට වඩා මෙරට ආර්ථිකයට සිදු වන පාඩුව ගණනය කරන්නේ කවුරුන් ද?

පවුල් 18,000ක් අවුල් කිරීම

නියාමනයේදී දැඩි නීති රීති පැනවිම ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම රා මදින්නන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන වැනිය. කිතුල් හැර පොල් හා තල් රා මැදීම සඳහා බලපත්‍ර ලබා ගත යුතු බවට නිකුත් කළ, 2017 ඔක්තෝබර් 20 දිනැති ගැසට් නිවේදනය උතුරු ප්‍රදේශයේ තල් රා මදින්නන් 18,000කගේ පවුල් ජීවිත අවුල් කරන්නක් බවට එවකට ඇමැතිවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කර තිබිණි.

කුලයේ කුළු ගෙඩියෙන් තැලීම

තල් රා මදින්නන් යනු සමාජ වරප්‍රසාද අහිමි, ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවකි. යුද්ධයේදී මෙන්ම සුනාමි ව්‍යසනයේදීද අපමණ පීඩා විඳි ඔවුහු නිරන්තරයෙන්ම රැකියාව නිසා පීඩාවට ලක් වෙති.

තල් සංවර්ධන මණ්ඩලයේ 2014 වාර්ෂික වාර්තාවේ තල් රා මැදීමේ කර්මාන්තය පසුබෑමකට ලක්ව ඇති හේතු කාරණා දක්වා තිබේ. වෙනත් කාරණා යටතේ දක්වා ඇති කරුණු 13න් මූලිකම කාරණාව ලෙස දක්වා ඇත්තේ ‘කුල ක්‍රමයේ බලපෑම ඉහළ ජීවිත අවදානම හා මැදීමේහි ඇති වෙහෙස කර ක්‍රියාවලිය හේතුවෙන් පුහුණු ශ්‍රමිකයන් අඩු වීම මඟින් තල් සම්පත් සැපයුම සීමා වී ඇති බව’ යි. බැලූ බැල්මට නොපෙනෙන මේ කුලවාදය අදත් දහයියා කඳු යට ගිනි අඟුරු මෙන් පැතිරී තිබේ.

දවසට දහ දොළොස් වතාවක් ජීවිතය පරදුවට තබන්නෝ
සන්නද්ධ නිල රථය

කුලය සම්බන්ධයෙන් කිසිවෙකු අදහසක් පළ නොකරන්නේ ඉන් තමන්ට අත්විය හැකි ඉරණම සම්බන්ධයෙන් ඔවුන් දන්නා නිසායි. මේ නිසා බොහෝ තල් රා මදින්නන් ඡායාරූප ගැනීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටියේය. මෙහි කිසිවකුගේ මුහුණු නැත්තේ ඒ නිසාය. ඔවුන්ගේ මුහුණ පුවත්පතක පළවීම පවා ප්‍රතික්ෂේප කරන්නේ කවර හේතුවක් නිසා ද?

ඔවුන්ගේ නිදහස තව දුර ද?

නිදහසින් පසුව වසර 75ක් ගත වුවත්, මේ ජනතාව තවමත් පැරණි වැඩවසම් විය ගසින් මිදී නැත. නලවාර් හෙවත් තල්රා මදින්නන්ගේ ජීවිතයම යුද්ධයකි. කුලවතුන් ඔවුන් සමඟ සමඅසුන් ගන්නේ නැත. අවාහ විවාහ නැත. සොහොන්බිම පවා තවමත් ඇත්තේ වෙනමයි. කුලවතුන්ගේ ඉඩම්වල ළිංවල ජලය පිරි තිබුණත් කිලෝ මීටර් හයක් හතක් දුරින් ඇති උල්පතකින් ජලය සපයා ගන්නා රා මදින්නෝ මනිපායිහි ජීවත් වෙති. කුලවතුන් කිසිසේත් ඔවුන්ගේ දූ පුතුන්ට එක්ව ක්‍රීඩා කිරීමටවත් ඉඩ දෙන්නේ නැත. අරක්කු බීමට ඇති තැබෑරුම්වලට කුලවතුන් යන්නේ නම් ඔවුන්ගේ මේසයේ අතිරේක පුටු, පවා ඉවත් කිරීමට ඔවුහු කටයුතු කරති. කුලවතුන් නලවාර් ජන කොටස ඔවුන්ගේ යටත් වැඩ කරන පිරිසක් ලෙස තබා ගැනීමට කැමති වුවත් ඔවුන්ට සමාජ වරප්‍රසාද හිමි වීමට නම් කිසිසේත්ම ඉඩ නොදේ. තල් රා නිෂ්පාදන සමුපකාර සමිතිය හැර වෙනත් සමිති නියෝජනය කිරීමට ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැත. රටට ඩොලර් ගෙනෙන ක්‍රියාන්විතයේ මිනිසුන් සිය ජීවිත වියමන ගොතා ගන්නේ මෙවැනි ශුෂ්ක පසුබිමක නම්, එය සමාජ ගැටලුවක් පමණක් නොව සංවර්ධනය පිළිබඳ ගැටලුවක් ලෙසද සලකා විසඳුම් සෙවිය යුතු නොවේ ද?

දයා නෙත්තසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment