ලොකුම හීනය මංගල දර්ශනයට යන එකයි – ගිරිරාජ් කෞශල්‍ය

649

වැඩ කර කර ඉන්න කොටයි අසනීප වුණේ

ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවේ සිනහවට නව අරුතක් කැන්ද වූ ඔබේ මුවග සිනහව රැන්දූ සිකුරු හතේ, සුහද කොකා තුළින් සුවහසක් ප්‍රේක්ෂක සිත් සතන් පින වූ අමන්දානන්දයට පත් කළ ගිරිරාජ් කෞශල්‍යගේ නවතම සිනමා නිර්මාණය වන ‘කතුරු මිතුරු’ එළැඹෙන 22 වැනිදා සිට රට පුරා සිනමාහල්වල තිරගත කෙරේ. ගිරිරාජ් සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.
  • දිගු කලකට පසුව කතුරු මිතුරු තිරගත වෙනවා?

ලොකු සතුටක් දැනෙනවා… මොකද සෑහෙන කාලයකට කලින් කරපු චිත්‍රපටයක්. ඕනෑම නිර්මාණකාරයෙක් තමන් නිර්මාණයක් කරපු වහාම ඒක පුළුවන් තරම් ඉක්මනට ප්‍රේක්ෂකයෝ අතරට ගෙනියනවට තමයි කැමැති. මොකද මගේ කලින් නිර්මාණ වුණු සිකුරු හතේ, සුහද කොකා කරපු ගමන් ප්‍රේක්ෂකයෝ අතරට ගියා. මේක තමයි 2018 වසරේ නිර්මාණය කරලා 2023 වසර වෙනකම් බලාගෙන ඉන්න සිද්ධ වුණේ. හැබැයි ඒකට විවිධ හේතු තිබුණා. පළමුවෙන්ම පෙන්වන්න හදන කොට සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය ආවා. ඊට පසුව කොරෝනා වසංගතය ආවා. ඊළඟට ආවා ඩොලර් වසංගතය. ඒකෙන් පෝලිම් වසංගතය ඇවිත් මිනිසුන්ට කන්නවත් බැරි තත්ත්වයක්නේ උදා වුණේ. ඉතින් ඒ කාලේ චිත්‍රපටයක් බලන්න පවුලක් පිටින් යනවා කියන එක සිහිනයක්. ඉතින් එවැනි කාරණා හින්දා එන්න එන්න පහුවෙලා අපේ නිෂ්පාදන බාසුරු සිරිවර්ධන තීරණය කළේ රට හොඳ තත්ත්වයකට පත් වෙනකම් ඉන්න ඕනෑ කියලා. දැනටමත් රට හොඳ තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. තවත් තියාගෙන ඉන්න බැරි හින්දා 22 වැනිදා සිට රට පුරා තිරගත කරනවා.

ලොකුම හීනය මංගල දර්ශනයට යන එකයි - ගිරිරාජ් කෞශල්‍ය
  • කතුරු මිතුරු වසංගත රැල්ලකට අසු වුණා කියලා හිතෙනවාද?

ඔව්. ඇත්තටම බැලුවොත් 2018 ඉඳල 2023 වෙනකම් බැලුවහම වසර කීයක්ද? වසංගතම තමයි ඉතින්. විශේෂයෙන් මේ වගේ දෙයක් සිද්ධ වුණොත් මුලින්ම බලපාන්නේ එන්ටර්ටේනින්වලටනේ.

  • චිත්‍රපටය තිරගත කරනකොට මෙහි ප්‍රධාන භූමිකාව රඟපෑ මනෝරත්නයන් අප හැර ගිහිල්ලා මොකද ඒ ගැන හිතෙන්නේ?

ඒක නම් හරිම කනගාටු තත්ත්වයක්. එතුමාට මේ චිත්‍රපටය බලන්න සිද්ධ වුණේම නැහැ. මම දෙවරක්ම ආරාධනා කළා. ඔය මාධ්‍ය දර්ශන එහෙම තියෙන වෙලාවට. නෑ ගිරා මංගල දර්ශනයම බලමු කියලා හිනාවෙලා හිටියා. අපි ආරාධනා කරන දවසට විවිධ රූපගත කිරීම්, විවිධ වැඩසටහන්වලට කලින් දීන දීලා ඉවරයි. ඒකයි මනෝරත්න මහත්තයාට සම්බන්ධ වෙන්න බැරි වුණේ. කොහොම හරි එයත් නොසිතූ වෙලාවට එයා අසනීප වුණේ. මනෝ අයියාගේ රංගනය මේ චිත්‍රපටයට ලොකු ආලෝකයක් වුණා. මගේ චිත්‍රපටයට එතුමා ආභරණයක් වුණා.

  • මේ වෙනකොට චිත්‍රපට ශාලා කීයක කතුරු මිතුරු තිරගත කරන්න සූදානම් කරලා තියෙනවාද?

සිනමා ශාලා හැටක විතර තිරගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සිනමා ශාලා කළමනාකාරවරු මේ චිත්‍රපටය තමන්ගේ සිනමා හලේ තිරගත කරන්න සූදානමින් ඉන්නවා. ඔවුන් දන්නවා මගේ කලින් චිත්‍රපටයට වගේම මේ චිත්‍රපටයටත් ඉතාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා. මගේ හැම චිත්‍රපටයක්ම පවුල් පිටින් ගිහිල්ලා නරඹන චිත්‍රපට. එක් වරක් නොවෙයි දෙවරක් තුන් වරක් ප්‍රේක්ෂකයෝ නරඹනවා.

ලොකුම හීනය මංගල දර්ශනයට යන එකයි - ගිරිරාජ් කෞශල්‍ය
  • අසනීප නිසා ඔබට මේ වෙනකොට මංගල දර්ශනයට සහභාගි වෙන්න පුළුවන් කමක් තියෙනවාද?

මම ඒ ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගන්න ඕනෑ. මගේ ලොකුම බලාපොරොත්තුව මංගල දර්ශනයට පොඩි වෙලාවක් හරි ඇවිල්ලා කතාකරලා පෙනී ඉඳලා යන එක. කොහොම හරි මම එනවා කියන මට්ටමේ තමයි දැනට ඉන්නේ. ඒ හින්දා ප්‍රතිකාර ලබමින් ගෙදරටම වෙලා ඉන්නවා.

  • දැන් ඔබට සුවයිද?

විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක මහත්මයා ඇතුළු එතුමාගේ අනෙකුත් වෛද්‍ය කණ්ඩායම මාව ඉතාම හොඳින්ම බලනවා. වාට්ටුවල ඉන්න සේවක මණ්ඩලය, සාත්තු සේවකයෝ ඉඳලා මට ඉතාම හොඳින් සලකනවා. ඇත්තටම පිළිකා රෝහල කියන්නේ එන්න එන්න රෝගීන් වැඩිවෙන ස්ථානයක්. ඉතින් කොච්චර රෝගීන් වැඩි වුණත් වෛද්‍යවරු හැම රෝගියෙකුටම එකම විදිහට සලකනවා. විශේෂයෙන් දේවින්ද ජයතිලක මහත්මයා ලොකු කැපකිරීමක් සිදු කරනවා.

  • වර්තමානයේ සිනමාවේ පිබිදීමක් තිබෙනවා කියලා හිතනවාද?

ඇත්තටම තරුණ හොඳ නිර්මාණකරුවෝ බිහිවෙනවා. ජාත්‍යන්තරයට යන්න පුළුවන් චිත්‍රපට හදන තරුණ පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඒ තරුණ පිරිසට අනෙක් අය පුළුවන් තරම් උදව් උපකාර කරන්න ඕනෑ. ලංකාව ලෝකයට ගෙනියන්න පුළුවන් නිර්මාණකරුවෝ ඉන්නවා. ඔවුන්ට සහයෝගය ලබාදෙන්න ඕනෑ. සිනමාකරුවන්ට උදවු දෙන සංවිධාන බිහිවෙනවා නම් ගොඩක් හොඳයි. මොකද අපිට ආණ්ඩුවෙන්ම හැම දෙයක්ම කරනකම් බලාගෙන ඉන්න බැහැ. ආණ්ඩුවෙන් කෙරෙන්නෙත් නැහැ. කලින් පැවතුණ ආණ්ඩුවලින් මහ ලොකු දේවල් කෙරිලත් නැහැ.

  • දැන් ඔබ කිසිම රූගත කිරීමකට සම්බන්ධ වෙන්නේ නැතිද?

ශිවා අයියාගේ රූගත කිරීමක් තිබුණා. ජී. නන්දසේන මහත්මයාගේ රූගත කිරීමකුත් තිබුණා. ඒ දෙක විතරයි මම භාර අරගෙන තිබුණ වැඩක් විදිහට කර කර හිටියේ. ඒ වැඩ කර කර ඉන්න අතරේ තමයි ආයෙමත් අසනීප වුණේ. මාස දෙකක් ඉන්න වුණා රෝහල්ගත වෙලා. විෂ බිජයක් ගිහිල්ලා. ඉතින් එක් හින්ද නැවතත් විෂ බීජයක් යයි කියන බයට දොස්තරවරු මට එළියට යන්න තහනම් කළා. අනෙක් අයගෙන් මට විෂ බීජයක් එයි කියන බයට මට සෙනග ගැවසෙන ස්ථානවලට යන්න එපා කියන මට්ටමේ තමයි මම දැන් ඉන්නේ.

  • “කතුරු මිතුරු” පිටපත ලියැවුණේ කොහොමද?

මගේ කලින් ඉඳල ම හිතේ තිබුණා බාබර් සහ ටේලර් කියන චරිත දෙක ගැන. දෙන්නම කතුරෙන් තමයි වැඩ කරන්නේ. ඒකයි කතුරු මිතුරු කියලා නම යෙදුවෙත්. දෙන්නට ම කතුරේ මිත්‍රත්වය තමයි තියෙන්නේ. ඉතින් ඒකත් කතුරට ඇදුනා දැන් තියෙන ප්‍රශ්න. බාබර්ගෙයි, ටේලර්ගෙයි දුවයි පුතයි සරසවි සමාජයේ දී මුහුණ දෙන ප්‍රශ්න තමයි මේ තුළින් කතාබහ වෙන්නේ. මම හිතන්නේ ඒක අපේ තරුණ පරපුරට ලොකු ආදර්ශයක් වේවි. මේක හැමෝටම ගිහිල්ලා බලන්න පුළුවන් පවුලේ චිත්‍රපටයක්.

දිනේෂ් විතාන

ලොකුම හීනය මංගල දර්ශනයට යන එකයි - ගිරිරාජ් කෞශල්‍ය
advertistmentadvertistment
advertistmentadvertistment