රන්ජන් උසාවියට කණගාටුව ප‍්‍රකාශ කරයි

1212

නිවැරදිකරු බවට කළ උත්තරවාදය
ඉල්ලා අස්කර ගන්නත් අවසර ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ නියෝගය ඉදිරියේදී නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25දා) පස්වරුවේ තීරණය කළේය.

එම නඩුව බුවනෙක අලූවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණී අමරසේකර යන ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

තමා විසින් 2018 නොවැම්බර් 20 වැනිදා එක්තරා විiුත් නාලිකාවක පැවති විවාදයකදී කළ ප‍්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් නින්දාවක් හෝ අධිකරණය හෑල්ලූවට ලක්වීමක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් තමා කොන්දේසි විරහිතව ගරු අධිකරණයට කනගාටුව ප‍්‍රකාශ කරන බව රන්ජන් රාමනායක මහතා ඊයේ (25දා) විවෘත අධිකරණය හමුවේදී විනිසුරු මඬුල්ලට ප‍්‍රකාශ කළේය. තමාට එරෙහිව එල්ල වී ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නිවැරදිකරු බවට තමා මින් පෙර අධිකරණයට ඉදිරිපත් කළ උත්තරවාදය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස විවෘත අධිකරණය හමුවේදී අධිකරණයෙන් ඉල්ලා සිටිමින් රන්ජන් රාමනායක මහතා එලෙස කනගාටුව ප‍්‍රකාශ කළේය.

එකී චෝදනාවට නිවැරදිකරු බවට ඉදිරිපත් කර තිබූ උත්තරවාදය ඉල්ලා අස්කරගන්නා ලෙසට පසුගිය 9 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී සිය නීතිඥවරයාට අවසර ලබාදුන්නේ දැයි විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලූවිහාරේ මහතා එහිදී රන්ජන් රාමනායක මහතාගෙන් විමසා සිටි අතර තමා එලෙස උපදෙස් ලබාදුන් බවද හෙතෙම පිළිගත්තේය.

රන්ජන් උසාවියට කණගාටුව ප‍්‍රකාශ කරයි

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් යහපාලන රජය සමයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය සඳහා පත්කළ පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව පෙත්සම්කාර පාර්ශ්වයට පක්‍ෂව ලැබෙන බවට රන්ජන් මහතා කළ ප‍්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

එකී ප‍්‍රකාශයෙන් පසුව කරුණු පැහැදිලි කරමින් සිය සේවාදායකයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණත් කලා ලොවේ ජනපි‍්‍රය තාරකාවක් වන ඔහුට එරෙහි පාර්ශ්ව විසින් එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් වැරදි සහගත ලෙස ජනගතකර ඇතැයි රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා විනිසුරු මඬුල්ලට කීවේය.

ඔහු මේ වන විටත් එකී ප‍්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව ප‍්‍රකාශ කර ඇති නිසා සහනදායී නියෝගයක් ලබාදෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ලිඛිත දේශන ලබන මැයි 4 වැනිදා ගොනු කිරීමට ද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක ,ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment