කොන්ක්‍රීට් වන මැද සිත් නිවන පන්සල

1027

ශ්‍රී මහා විහාරයට වසර 200 යි

විහාරාධිපති වල්පොළ පියනන්ද හාමුදුරුවන්ට වයස 80 යි

පුංචි කඳු ගැටයක් මත, නිසංසල පරිසරයක පිහිටි පාමංකඩ ශ්‍රී මහා විහාරය කොළඹ නගරයට ආසන්නයේ පිහිටි පැරැණිතම විහාරස්ථානයකි. කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයේ, උඩුගහපත්තුවේ විලවල ග්‍රාම සේවා වසමේ පිහිටි පාමංකඩ ශ්‍රී මහා විහාරස්ථානය කෝට්ටේ රාජධානිය දක්වා දිවෙන, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් පැරැණිතම මෙන්ම සම්භාවනීය විහාරස්ථානයකි. අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ බෞද්ධ පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වී ඇති පාමංකඩ ශ්‍රී මහාවිහාරය විනයානුකූල සුපේශල ශික්‍ෂාකාමී මහා යතිවරයාණන් වහන්සේලාගේ නිජබිමකි.

මුල් යුගයේ මෙහි වැඩ සිටි භික්‍ෂූන් පිළිබඳ නිශ්චිත තොරතුරු සොයාගත නොහැකි මුත් ඉංග්‍රීසි පාලන සමයේ කෝට්ටේ රජමහා විහාරයේ වැඩ සිටි මලිගස්පේ මංගල මහානායක හාමුදුරුවන්ගේ පස්වන ශිෂ්‍යරත්නය වූ බද්දේගම සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කිරීමෙන් පසු ඇති වූ පුනරුදය වර්තමානය දක්වා අවිච්ජින්නව පවතී. ධර්ම විනයධර මහ යතිවරයෙක් වූ බද්දේගම සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යොදය පරිවේණාධිපති අති පූජ්‍ය හික්කඩුවේ සුමංගල නා හිමිපාණන් වහන්සේගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ භික්‍ෂූන් වහන්සේ නමකි. පාමංකඩ ශ්‍රී මහා විහාරස්ථානයට සම්බන්ධ පරිවාර සියලු විහාරස්ථානයන් පිහිටි භූමිවල මුල කොටස පූජා කොට ඇත්තේ උන්වහන්සේටය. සරණංකර හිමිපාණන් වහන්සේගෙන් පසු පාමංකඩ ශ්‍රී මහා විහාරස්ථානයේ ආධිපත්‍යයට පත් වූ තත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කෝට්ටේ සංඝ සභාවේ කර්මවාගාචාර්ය ධුරයක් ඉසිලූ මඩවල සුනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කළුබෝවිල සුනන්දාරාමය ඉදිකිරීමෙහිලා පුරෝගාමී වූ යතිවරයාණෝ වෙති. උන්වහන්සේගෙන් පසු එම විහාරස්ථාන දෙකම භාරව වැඩ සිටි කෝදාගොඩ පක්‍ද්ක්‍දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද කෝට්ටේ සංඝ සභාවේ උපාධ්‍යාය පදවිය මෙන්ම අනුනායක පදවියක් ද හෙබ වූහ. පාමංකඩ විහාරස්ථානයේ රමණීයත්වය හාත්පස විහිදුවන නෙත් සිත් පුබුදුවන ධාතු මන්දිරය ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ද කෝදාගොඩ පක්‍ද්ක්‍දානන්ද අනු නායක හාමුදුරුවෝ ය.

උන්වහන්සේගේ ඇවෑමෙන් පසු උභය විහාරයන්හි ම ආධිපත්‍යයට පත් වූ කෝඹල මේධානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වසර හතළිහක් වාර්ෂිකව සති පිරිත් පිංකම් සිදු කරමින් කළ ආගමික මෙහෙවර ද සදා නුස්මරණීය වේ. පක්‍ද්ක්‍දානන්ද අනු නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් ලෙස පැවිදිව, උන්වහන්සේගේ ඇවෑමෙන් පසු කෝඹල මේධානන්ද මා හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූ මහාචාර්ය කොටගම වාචීස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද පාමංකඩ ශ්‍රී මහා විහාර සඟ පරපුර ප්‍රභාමත් කළ මහා යති රුවනකි. එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයකු වූ උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් ලෙස මෙන්ම අපවත් වන තෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්ම පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කළහ. කෝට්ටේ සංඝ සභාවේ කර්මවාගාචර්ය ධුරයක් ද ඉසිලූ උන්වහන්සේ 1969 වර්ෂයේ හදිසියේම අපවත්වීම සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් ද විය. කෝඹල මේධානන්ද හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු 1974 වර්ෂයේදී උභය විහාරයන්හි ම අධිපත්‍ය උසුලන ලද්දේ හව්පේ ශ්‍රී සෝමානන්ද ස්වාමීන් වහන්සේය. කෝට්ටේ සංඝ සභාවේ කාරක සංඝ සභික ධුරයක් මෙන්ම හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය ද හෙබ වූ උන්වහන්සේ රජයේ ගුරු සේවයේ ද නිරතව වී සිටියහ. 2019 වර්ෂයේදී උන්වහන්සේ අපවත්වීමෙන් පසු පාමංකඩ ශ්‍රී මහා විහාර ගණයේ විහාරාධිපති ධුරය හිමි වනුයේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක, ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරයේ නිර්මාතෘ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටය. උන්වහන්සේ මෙරට නිතර වැඩ නොසිටින හෙයින් පාංමකඩ විහාරස්ථානයේ හා දායකකාරකාදීන්ගේ දියුණුව වෙනුවෙන් ක්‍රියා කරනුයේ විහාරාධිකාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වල්පොළ සිරි පියරතන ස්වාමීන් වහන්සේය. වල්පොළ පියනන්ද නායක හාමුදුරුවන්ගේ උපදෙස් මත පාමංකඩ ශ්‍රී මහා විහාරයේ සියලු නවීකරණ කටයුතු අධීක්‍ෂණය කරමින් ක්‍රියාත්මක කරනුයේ උන්වහන්සේය. පාමංකඩ ශ්‍රී මහා විහාරයේ යුග පෙරළියක නැවුම් වෙනස දැක බලාගැනීමට ගිය අපි ප්‍රථමයෙන් උන්වහන්සේ බැහැදුටු වෙමු. අතිශය කාර්යබහුලත්වයෙන් සිටි උන්වහන්සේ මොහොතක් අප අසල රැඳෙමින් පාමංකඩ විහාරයේ දියුණුවේ රහස මෙසේ හෙළි කළහ.

“අපේ නායක හාමුදුරුවෝ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දීලා තියෙනවා. අපි කරන වැඩ ගැන උන්වහන්සේ අධීක්‍ෂණය කරලා වැරැදි පෙන්නලා දෙනවා. ඒ නිසා අපිත් උනන්දුවෙන් වැඩ කරගෙන යනවා. ඒ වගේම නායක හාමුදුරුවන්ගේ දැක්ම වනුයේ පරණ දේ රැකගෙන ඊට අලුත් දේ මුසු කොට ප්‍රතිසංස්කරණය කිරීමයි. ඒ අනුව විහාරස්ථානයේ පෞරාණිකත්වය ආරක්‍ෂා කරගෙන, පැරැණි ඉදිකිරීම්වලට හානියක් නොවන ආකාරයට නවීකරණ කටයුතු කරලා තියෙනවා. අලුත් ඉදිකිරීම්වල පැරැණි සාම්ප්‍රදායික බව ආරක්‍ෂා කරමින් සීමා සහිත වර්ණ භාවිත කරමින් දකින ඕනෑම කෙනෙකුගේ ශ්‍රද්ධාව ඇති වී සිත් පහන් වන ආකාරයට නවීකරණ කටයුතු කරන්න උපරිමයෙන් උත්සාහ ගෙන තියෙනවා…” උන්වහන්සේගේ කතාව සැබෑය. විසල් දාන ශාලාව මැදිකොට දෙපස පිහිටි දෙමහල් සංඝාවාස කාමර පේළි දෙක දකින විට විඩාබර සිත නිවිණි. විසල් බිත්ති, වහළ පමණක් නොව නෙක විසිතුරු කැටයම්, දොර ජනෙල් පවා චාම්ය. එමෙන්ම දෑසට පිය උපදවන අයුරින් නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි. මැද මිදුලෙ පොළොවට අල්ලා තිබෙන ගල්, තණ තීරු සකස් කිරීම සහ ජල බැස්ම ඇතුළු සියලුම ඉදිකිරීම් සඳහා උපරිම තාක්‍ෂණය භාවිත කර ඇති බව ද පෙනේ. ලන්දේසි ගෘහ නිර්මාණ ආකෘතියත්, බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයත් මුසුව ඇති එම ගොඩනැඟිලිවල පෞරාණිකත්වය ආරක්‍ෂා කර ගනිමින් නවීකරණය කිරීම අතිශය අභියෝගයක් බව සැබෑය. එහෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුග්‍රහය ඇතිව නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ ශ්‍රම දායකත්වය ලැබීමත් සමඟ එය පහසු කටයුත්තක් බවට පත් වී තිබේ.

“ඉස්සර මිනිස්සු සිත් සන්සුන් කරගන්න ආවේ පන්සලට. අඩු වර්ණයෙන් සිත් පහන් වන ආකාරයට සකස් කර තිබෙන විහාරයේ චිත්‍ර දකිනකොට වියවුල් සිත් ක්‍ෂණයෙන් නිවෙනවා. ඒ කාලේ පන්සල්වල හැමදෙයක්ම පිළිවෙළට තිබුණා. තැන, තැන කුණු තිබුණේ නෑ. මිදුල අතුගෑවත් පිළිවෙළට, හැඩයකට, ලතාවකට කරලා තිබුණා. ගස්, වැල්, මල් වැවීම පවා පිළිවෙළයි. කාලයාගේ ඇවෑමෙන් පන්සලේ තිබුණු පිළිවෙළ ගිලිහී ගියා. අනවශ්‍ය ආකාරයට පන්සල්වල බඩු පුරව ගත්තා. කුණු එකතු වුණා. සංකීර්ණ වුණා. සිත් පහන් කරවන නිදහස් බව නැති වෙලා ගියා. මිනිස්සු පන්සලෙන් ඈත් වුණා. දැන් අපි ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. කවුරුහරි කෙනෙක් පන්සලකට එන්නෙ කුමක් හෝ ප්‍රශ්නයකින් හිතේ බරකින්. ඒ නිසා දැවෙන සිත් නිවන පරිසරයක් පන්සල තුළ නිර්මාණය කරන්න ඕනෑ…” වල්පොළ පියරතන හාමුදුරුවන්ගේ වචනවල තිබෙන වෙනස් බව පාමංකඩ ශ්‍රී මහා විහාරයේදී හොඳින් දර්ශනය වන බව සැබෑය. එම විහාරස්ථානයේ බෝ මළුව, චෛත්‍ය වහන්සේ අසලදී සිතට දැනෙන නිදහස් බව වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. එමෙන්ම පාමංකඩ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදෙන ශ්‍රී මහා විහාරය විටෙක බෞද්ධ තක්‍ෂලාවකි. මේ වනවිට වසර දෙසියක ඉතිහාසයකට උරුමකම් කියන පාමංකඩ ශ්‍රී මහා විහාර ගණයේ වර්තමාන විහාරාධිපති වල්පොළ පියනන්ද නායක හාමුදුරුවන්ටද ලබන මස 02 වැනිදාට වයස අවුරුදු අසූව සපිරෙති.

කොන්ක්‍රීට් වන මැද සිත් නිවන පන්සල
ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක, ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරයේ නිර්මාතෘ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නායක හිමි

ගාල්ල දිස්ත්‍රික්කයේ, තල්පේ පත්තුවේ වල්පොළ සුන්දර ගම් පියසෙහි විලේගොඩ නමින් ප්‍රකට නිවසෙහි බුලේගොඩ ආරච්චිලාගේ දොන් අන්දිරිස් මහතාගේ පවුලේ මෘදු කරුණා ගුණයෙන් අනූන වූ දොඹගොඩ ලියනගේ ලෝරා මහත්මියට දාව පුත් කුමරෙක් උපන්නේය. 1943 වර්ෂයේ ඔක්තෝබර් මස 02 වැනිදා උපන් ඒ දරු සිඟිත්ත අන්දිරිස් පවුලේ පස්වෙනි දරුවාය. ඔහුට පියසේන ලෙස නම් තැබීය. ආදරණීය මවුපියන්ගේ සහ වැඩිමහල් සහෝදරයන්ගේ නොමඳ ආදරයත්, හුරතලයත් මැද උස් මහත් වූ පියසේන වල්පොළ බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලකුරු තැබුවේය. (දැන් වල්පොළ ගුණතිලක විද්‍යාලය) එහෙත් පස්වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින විට දෛවයේ ලියැ වී ඇති ආකාරයට මවුපියන්ගේ ආශීර්වාදය මැද අත්තනගල්ලේ බෝපාගම පන්සලෙහි වැඩ සිටි තම ඥාතිත්වයක් ඇති පූජ්‍ය වල්පොළ ක්‍දාණරතන නායක හාමුදුරුවන්ට ඔහුව භාර කෙරිණි. ඒ වන විට පුංචි පියසේනට වයස අවුරුදු 11 කි. 1955 ඔක්තෝබර් මස 26 වැනිදාට යෙදී තිබුණු සුබ මොහොතින් පියසේන පැවිදි දිවියට ඇතුළත් විය. පැවිදි උත්සවයට සහභාගි වී සිටි සංඝ සභාව විසින් වල්පොළ පියනන්ද ලෙස පොඩි හාමුදුරුවන්ට නම් තැබූහ. එම වසරේ ම නොවැම්බර් මස වල්පොළ පියනන්ද පොඩි හාමුදුරුවෝ අත්තනගල්ල නගරය ආසන්නයේ පිහිටි ඌරාපොළ සිරි සඟබෝ පිරිවෙනට ඇතුළත් වූහ. පිරිවෙන් අධ්‍යාපනය හදාරණ කාලයේදී ද පියනන්ද පොඩි හාමුදුරුවෝ කථිකත්වයෙන් සිය දක්‍ෂතා පෙන්නුම් කළහ. වල්පොළ පියනන්ද පොඩි හාමුදුරුවන්ගේ දක්‍ෂතා හඳුනාගත් එම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙණාධිපති උඩුනුවර ධම්මරක්ඛිත නායක හාමුදුරුවෝ විවිධ දේශන පිළිබඳ කරුණු කාරණා ඉගැන්නූහ. පියනන්ද පොඩි හාමුදුරුවන්ට වයස අවුරුදු දොළහ වනවිට සුමධුර ධර්ම දේශකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වූහ. එම ප්‍රසිද්ධියත් සමඟ මිනුවන්ගොඩ අස්වාන ධර්මරත්නෝදය පිරිවෙනට ඇතුළත් වූහ. එම පිරිවෙනේ වසර කිහිපයක් අධ්‍යයන කටයුතුවල නිරත වූ පියනන්ද පොඩි හාමුදුරුවන්ට එවකට අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ද සහභාගි වීමට අවස්ථාව උදා වූහ. එහෙත් විවිධ හැළහැප්පීම් මැද පියනන්ද හාමුදුරුවන්ගේ පියාගේ ඥාති සොහොයුරෙක් වූ මහාචාර්ය දෙහිගස්පේ පක්‍ද්ක්‍දාසාර නායක හාමුදුරුවන්ගේ උපදෙස්, අවවාද මත විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වූහ.

වැල්ලම්පිටියේ, කල්විටිගොඩැල්ල පුරාණ විහාරයේ වැඩ සිටිමින් දිනපතා අධ්‍යාපන කටයුතුවල නිරත වූ පියනන්ද හාමුදුරුවෝ 8 වසර දක්වා පිරිවෙනේ අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගත්හ. අනතුරුව මිත්‍රයෙක් වූ රයිගම සෝමාලංකාර හාමුදුරුවෝ සමඟ සම්බන්ධ වී ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා පෞද්ගලිකව පන්ති පවත්වන කොළඹ ස්ටැෆඩ් විද්‍යාලයට ඇතුළත් වී ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගයට ඉගෙනගත්හ. ඒ අතර කාලයේදී පාමංකඩ ශ්‍රී මහා විහාරයට පැමිණ වැඩ සිටින ලෙසට උන්වහන්සේට ආරාධනාවක් ලැබිණි. කෝඹල මේධානන්ද හාමුදුරුවෝ, පූජ්‍ය ඉමදූව සීලරතන මා හිමි හා පසුව පාමංකඩ විහාරයේ විහාරාධිපති වහන්සේ වූ හව්පේ සෝමානන්ද යන තෙනම ම පියනන්ද හාමුදුරුවන්ගේ ඥාතිවරයෝ වූහ. එම ආරධනාව ලැබුණු දිනවල විද්‍යොදය පිරිවෙනෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගයට පෙනී සිටි පියනන්ද හාමුදුරුවෝ ඉහළින්ම සමත් වූහ. ඒ සමඟ වැඩි දුර අධ්‍යයන කටයුතු සඳහා විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. කැපවීමෙන් අධ්‍යයන කටයුතුවල නිරත වූ උන්වහන්සේ 1963 වර්ෂයේ නිකුත් කරනු ලැබූ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රතිඵල අනුව ඉහළින්ම සමත් වූහ. ඒ අනුව එම වසරේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පියනන්ද හාමුදුරුවෝ හොඳින් අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් පළමු වසර සම්මාන සහිතව සමත් වූහ. අනතුරුව ශ්‍රී ලංකා විද්‍යාලයෙහි අධිපතිත්වය ඉසිලූ බද්දේගම විමලවංශ නායක හාමුදුරුවන් මුණගැසී සිය ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීමට එම විද්‍යාලයෙහි සීමිත කාලයක් ඉගැන්වීමට අවසර ඉල්ලූහ. උගත්, බුද්ධිමත් හිමිනමක් වූ බද්දේගම විමලවංශ නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ ඉල්ලීම ඉටුකර දුන්හ. එතැන් සිට බෞද්ධ සංස්කෘතිය විශේෂවේදී උපාධිය සඳහා දැඩි කැපවීමකින් අධ්‍යයන කටයුතු කරගෙන ගිය පියනන්ද හාමුදුරුවෝ 1965 වර්ෂයේ ඉන්දීය රජය විසින් මෙරට විශ්වවිද්‍යාල අතර සංවිධානය කරනු ලැබූ ශ්‍රී ජවහල් ලාල් නේරු කථික තරගයට ඉදිරිපත් වී දෙවන ස්ථානය දිනාගැනීමට සමත් වූහ. පසුව 1966 වසරේ පැවැති එම තරගයෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගත්හ. 1967 වර්ෂයේදී විශ්වවිද්‍යාලයේ විශේෂවේදී අවසාන පරීක්‍ෂණයෙන් ගෞරව සාමාර්ථයක් සහිතව උපාධිය ලබාගත්හ. අනතුරුව පූර්ව කාලීන ගුරුවරයෙක් ලෙස ශ්‍රී ලංකා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළහ. පියනන්ද හාමුදුරුවන්ගෙන් සිදු වන ශාසනික සහ සමාජ සේවාව දුටු කෝඹල මේධානන්ද නායක හිමි සහ හව්පේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ සිය ශිෂ්‍ය භික්‍ෂුවක් ලෙස උපසම්පදා කරගැනීමට කැමති වූහ. ඒ අනුව පියනන්ද හාමුදුරුවෝ 1970 වර්ෂයේදී සියම් නිකායේ කෝට්ටේ පර්ශ්වයේ භික්‍ෂුවක් ලෙස කෝට්ටේ රජ මහා විහාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙහි පිහිටුවනු ලැබූහ.

කොන්ක්‍රීට් වන මැද සිත් නිවන පන්සල
පාමංකඩ ශ්‍රී මහා විහාරයේ වැඩ සිටින භික්‍ෂූන් වහන්සේ

1972 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් ලැබ වැඩි දුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට වැඩම කරන උන්වහන්සේ කල්කටා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්හ. වසර කීපයක් ඉන්දියාවේ වැඩ සිටින උන්වහන්සේ ලොව පුරා ධර්ම ප්‍රචාරණයට මුල පුරමින් 1976 වර්ෂයේදී ඇමරිකාවට වැඩම කළහ. නෝර්ත් වෙස්ටන් සරසවියෙන් තවත් ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් උන්වහන්සේ පන්නිල ආනන්ද හාමුදුරුවෝ සමඟ එකතුව ඇමෙරිකාවේ දෙවැනි ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන ලොස්ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ආරම්භ කළහ. එදා සිට මේ දක්වා ආගන්තුක දේශයක බුදු බණ පතුරුවන්නට උන්වහන්සේ කරගෙන යන මෙහෙවර සුළු පටු නැත. ලොව පුරා ධර්මය ප්‍රචාරණය කරන ස්වාමීන් වහන්සේ අතර අග්‍රස්ථානයක සිටින උන්වහන්සේගේ කරුණා බරිත වචන සහ ඔවදන් ඉදිරියේ ඕනෑම මුරණ්ඩු සිතක් නිවී සැනහෙන බව නම් සැබෑය. ජාත්‍යන්තර භික්‍ෂු මහා සම්මේලනයේ හිටපු සභාපති වූ දශක හතරකට වැඩි කාලයක් ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ආරම්භක විහාරාධිපති වහන්සේ ලෙස වැඩ සිටින වල්පොළ පියනන්ද නා හිමිපාණන් වහන්සේ පාංමකඩ
ශ්‍රී මහා විහාරස්ථානය දියුණු කිරීමට ඉටු කර ඇති අමිල මෙහෙවර මෙතෙකැයි කිව නොහැකි තරම්ය. එහෙත් පාමංකඩ ශ්‍රී මහා විහාරයේ නව්‍යකරණය සම්බන්ධයෙන් උන්වහන්සේ අපට කීවේ මෙවැනි කතාවකි.

කොන්ක්‍රීට් වන මැද සිත් නිවන පන්සල
විහාරාධිකාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වල්පොළ සිරි පියරතන හිමි

“දැන් මම වයසයි. අපේ පොඩි උන්නාන්සේලා තමයි මේවා බලා කියාගෙන දියුණු කරන්න ඕනෑ. පාමංකඩ විහාරයේ සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු බලා කියාගෙන කරගෙන ගියේ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වල්පොළ පියරතන හාමුදුරුවෝ. නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ ශ්‍රම දායකත්වය උන්වහන්සේට විශාල ශක්තියක් වුණා. නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාටත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, නාවික හාමුදාපතිතුමාට, එහි සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන් ඇතුළු සියලු ශිල්පීන්ට මාගේ කෘතඥතාව පළ කරනවා. මේ පින්කම සඳහා මූල්‍යම ආධාර ලබාදුන් ප්‍රදේශවාසීන් හා ඇමරිකාවේ සියලු පරිත්‍යාගශලී පින්වතුන්ට පින් දෙනවා. විවිධ අයුරින් සහයෝගය දැක්වූ වෙහෙරවැසි මහා සංඝරත්නයත් සියලු පින්වතුනුත් සිහිපත් කරනවා. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් සම්භාවනීයත්වයට පත් පාමංකඩ ශ්‍රී මහා විහාරය තවත් සියවස් ගණනාවක් සුරක්‍ෂිත වනු දැකීම මගේ ඒකායන අපේක්‍ෂාවයි…”

ථෙරවාදී දහම රැකෙනුයේ මේ රට සුරක්‍ෂිත වීම තුළ පමණි. ශාසනය රැකෙනුයේ සංඝයා වැඩ සිටියොත් පමණි. බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සංඝ පරපුර වැඩි කරගත යුතුමය. එහෙයින් උන්වහන්සේට නිදහසේ වැඩ සිටීමට, බණ භාවනා කටයුතුවල නිරත වීමට විහාරස්ථාන වැඩි, වැඩියෙන් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම අලුතින් ගොඩනඟන, නවීකරණය කරන

පැරැණි විහාරස්ථාන භික්‍ෂූන්වහන්සේට, වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට අගුළු නොවැටෙන විහාරස්ථාන විය යුතුය. පාමංකඩ ශ්‍රී මහා විහාරය දායකයන්ට පමණක් නොව සියලු බෞද්ධ, අබෞද්ධ බැතිමතුන්ට නිදහසේ වැඳුම් පිදුම් කළ හැකි සිද්ධස්ථානයකි. කොළඹ කොන්ක්‍රීට් වනාන්තරය මැද සුවදායක පරිසරයක පිහිටි පාමංකඩ විහාරය ඉතිහාසය වර්ණවත් කරන පින්බිමකි. ඒ මහා විහාර භූමියට ඇතුළු වූ සැණින් හදමඩල නීවිසැනහෙන බව සැබෑය. කොළඹ නැරඹීමට පැමිණෙන ඔබත් පාමංකඩ ශ්‍රී මහා විහාරයට පැමිණන නවීකරණය වී තිබෙන ඉපැරැණි ගොඩනැඟිලි දැක බලාගෙන, සැදැහැ සිතින් වැද පුදාගෙන යෑමට අමතක නොකළ යුතුය.

තරංග රත්නවීර
ඡායාරූප කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment