සනීපාරක්‍ෂක ටිෂූ අමුද්‍රව්‍ය තහනමෙන් ක්‍ෂේත්‍ර රැසක අර්බුදයක්

78

සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර්මාන්තය යනු වර්ෂ 1982 සිට ශ්‍රී ලංකාව තුළ හොඳින් ස්ථාපිත වූ කර්මාන්තයකි. එමගින් වසර 40කට වැඩි කාලයක් මුළුල්ලේ වැසිකිළි කඩදාසි, කඩදාසි අත්පිස්නා, අත්කඩදාසි නැප්කින්, මුහුණ පිසදැමීමට ගන්නා ටිෂූ කඩදාසි, කඩදාසි තුවා, කර්මාන්ත ආශ්‍රිතව භාවිතවන කඩදාසි තුවා ඇතුළු සනීපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය කරනු ලැබේ.

ඉකුත් අගෝස්තු 23 වැනිදා නිකුත් කරන ලද ගැසට් පත්‍ර අංක 2294/30 යටතේ අත්‍යවශ්‍ය නොවන නිමි ද්‍රව්‍ය 305කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලික නතරකිරීමට පාදක වූ හේතු පැහැදිලි නමුත්, අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා තුළ නිෂ්පාදනය කෙරෙන නිමි ද්‍රව්‍ය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම නතරකිරීමට හේතුව පැහැදිලි නැත.

මෙම ආනයන තහනම සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර්මාන්තයේ නියැළී සිටින කර්මාන්තශාලාහිමියන්ට සහ සේවකයින්ට දැවැන්ත ගැටලුවක්වන අතරම, එදිනෙදා සනිපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදන පරිභෝජනය කිරීමට හුරුව සිටින පාරිභෝගිකයින්ට ද එය විශාල ගැටලු‍වක් බවට පත්වනු ඇත. තවද, සංචාරක, ඇඟලුම් සහ ආහාර කර්මාන්තවල නියැළී සිටින සමාගම් මෙන්ම රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ආදියද මෙම තත්ත්වය මත විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනු ඇත.

ශ්‍රී ලංකා රේගුවේ ගාස්තු ලේඛනයෙහි සනීපාරක්ෂක ටිෂූ කඩදාසිවලට අදාළවන්නේ HS කේත දෙකක් පමණි. ඒ, 4803.00 දරන ප්‍රධාන HS කේතය යටතට (උප කාණ්ඩ නොමැත) සහ 4818.00 HS කේතය යටතට (උප කාණ්ඩ ඇත) ගැනෙන ටිෂූ කඩදාසි රීල් අමුද්‍රව්‍ය හා නිමි නිෂ්පාදන වේ.

4803.00 දරන ප්‍රධාන HS කේතය යටතේ ආනයනය කෙරෙනුයේ, සෙන්ටි මීටර් 36ට වැඩි ජම්බෝ ටිෂූ රීල් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය වේ. ඒවා, නිමි ද්‍රව්‍ය නොවන අතර, මෙම ප්‍රධාන HS කේතය යටතේ නිමි ද්‍රව්‍ය ආනයනය කිරීමට හැකියාවක් නොමැත. එබැවින් මෙම ප්‍රධාන HS කේතය යටතේ ආනයනය කෙරෙන සියලු‍ ද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය වේ. අනෙක් HS කේතයවන 4818.00 යටතේ තවත් උප කාණ්ඩ ගණනාවක් පවතී. ඉන් එක් උප කාණ්ඩයක් එනම්, 4818.90.20 මගින් පමණක් අමුද්‍රව්‍යයක්වන සෙන්ටි මීටර් 15ත් 36ත් අතර ජම්බෝ රීල්ස් ගෙන්වනු ලැබේ. 4818.00 HS කේතය යටතේ ඇති සෙසු උප කාණ්ඩ ඔස්සේ ආනයනය කෙරෙන නිෂ්පාදන, නිමි ද්‍රව්‍ය ලෙස සැලකිය හැක. විශේෂයෙන්ම නැවතත් පුනර්ජීවනයක් ලබමින් සිටින සංචාරක කර්මාන්තය ද, පෞද්ගලික සෞඛ්‍ය ආයතන ද, සිය සේවකයින්, රෝගීන්, පාරිභෝගිකයින් සහ සංචාරකයින් වෙත සනීපාරක්ෂක ප්‍රමිතීන් සහ ක්‍රියාවලි පිරිනැමීමට බැඳී සිටින පසුබිමක, එම ආයතන සනීපාරක්ෂක ටිෂූ කඩදාසි හිඟයකට ඉතා ඉක්මණින් මුහුණ දෙනු ඇත.

එම පසුබිම මත, ඉහත සඳහන් කළ HS කේත අනුව අදාළ භාණ්ඩ ආනයන තහනම් ලේඛනයෙන් ඉවත් කරමින් හෝ TS නැවතත් වෙනස් කරමින්, අමුද්‍රව්‍ය වශයෙන් මෙරටට ගෙන්වනු ලබන ජම්බෝ රීල්ස් ආනයනය කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරීහු සහ තීරණ ගැනීමේ නියැළී සිටින නිලධාරීහු ඉඩ ලබා දෙනු ඇතැයි විශ්වාස කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment