රට පුරාම කුඩු කාරයන්ගේ නඩු නැති මරණ

449

● සතියක කාලයකදී ජීවිත හයක් බිලි අහිංසකයෙකුත් ඒ අතර

කුඩු පාතාලය හිටි හැටියේ සක්‍රීය වීමට පටන් ගෙන ඇත. පසුගිය සතියක් වැනි කෙටි කාල සීමාවක් තුළදී කොළඹ සහ දකුණු පළාත කේන්ද්‍ර කරගෙන සිදු වූ පාතාල මිනිස් ඝාතන ප්‍රමාණය හයක් දක්වා ඉහළ ගොස් තිබුණේය.

මේ සියලු ඝාතනයන් මත්ද්‍රව්‍ය ජාවාරම් මුල් කරගෙන සිදුවූ ආරවුල් මත වූ ප්‍රහාර බව විමර්ශනවලින් අනාවරණය විය.

ජන ශූන්‍ය ප්‍රදේශවල පමණක් නොව අතිශය ජනාකීර්ණ පිටකොටුව නගර මධ්‍යයේදී පවා මේ පාතාල දඩයක්කරුවන් සිය ඉලක්කයන් ලබාගෙන තිබුණේ රටේ ආරක්‍ෂාව තුට්ටුවට දමමින්ය.

කොළඹ පොලිස් මූලස්ථානය පෙනෙන මානයේදී පවා ටී 56 ගිනි අවි යොදාගෙන දෙනෝදාහක් දෙනා බලා සිටියදී නිරායුධ මිනිසුන් වෙඩි තබා ඝාතනය කර පාතාල මැරයන් නිරුපද්‍රිතව පලා යෑම රටේ ආරක්‍ෂාව බින්දුවට වැටී ඇති බවට තවත් නිදසුන් කුමටද?

මේ ඝාතන වැල ආරම්භ වන්නේ පිකොටුව බැස්ටියන් මාවතේ සිදුවූ මිනිස් ඝාතනයත් සමගය.

අලුත්කඩේ අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිටි තරුණයන් තිදෙනෙක් සිය නිවෙස් බලා යෑමට පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පොළට එද්දී ඔවුන් පසුපස හඹා ආ පාතාල අළුගෝසුවන් දෙදෙනෙක් දෙනෝදාහක් දෙනා බලා සිටියදී ටී 56 ගිනි අවිය ක්‍රියාත්මක කළේය.

නිරායුධ ජනතාව හිස්ලු ලූ අත දිව ගොස් දිව ගලවා ගත්ත ද තරුණයන් දෙදෙනකු ප්‍රහාරයට ලක්විය. ඒ තරුණයන් දෙදෙනා යුද හමුදා කොමාන්ඩේ බළකායේ රාජකාරි කර ඉන් ඉවත් වූවන් දෙදෙනෙකි. ප්‍රහාරයෙන් එක් තරුණයකු එම ස්ථානයේම මිය ගිය අතර අනෙකා තුවාල ලබාදිවි ගලවා ගත්තේය.

මේ ප්‍රහාරය පිළිබඳව විමවර්ශන පැවැත්වූ පොලිසිය අවසානයේ හෙළි කර ගත්තේ පාතාල මැරයන්ට සිදුවූ අත් වැරදීමකින් මෙම යුද හමුදා කොමාන්ඩෝ බළකායේ හිටපු සෙබළා ඝාතනයට ලක්ව ඇති බවයි.

විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට ප්‍රහාරය පිටුපස සිටියේ ගණේමුල්ලේ සංජීව නැමැති පාතාල මැරයාය. ප්‍රහාරයට හේතු වී තිබුණේ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක්ය. ගණේමුල්ලේ සංජීව ඇතුළු පාතාල කල්ලි ප්‍රබලයන් සිව් දෙනෙකුට අයත් හෙරොයින් තොගයක් අල්ලා දීම සඳහා ඔත්තු ලබා දුන් බව කියන ට්‍රෝලර් බෝට්ටුකරුවකු මොවුන්ගේ ඉලක්කය වී තිබුණේය.

මේ ට්‍රෝලර් බෝට්ටුකරු ද නඩු විභාගයක් සඳහා එදින අලුත්කඩේ අධිකරණය වෙත පැමිණීමට නියමිතව සිටියේය.

එල්ල වී තිබූ ජීවිත තර්ජන නිසා බෝට්ටුකරු එදින අධිකරණ වෙත පැමිණ සිටියේ නැත. හමුදා කොමාන්ඩෝ සෙබළා මෙන්ම බෝට්ටුකරු ද ස්වරූපයෙන් එක හා සමානය.

ගණේමුල්ල සංජීවගේ ඔත්තුකරුට සිදුවූ අත්වැරදීමකින් ඔහු පාතාල මැරයන්ට හමුදා සෙබළා තම ඉලක්කය බව පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ජාවාරමට තබා කිසිම අපරාධයකට සම්බන්ධයක් නැති රට ජාතිය වෙනුවෙන් කැපවී රාජකාරි කළ නිර්භීත හමුදා සෙබළකු අවසානයේ පාතාල මැරයන්ගේ ගොදුරක් බවට පත් වූයේය.

පානදුර ප්‍රදේශයේ දී එළවළු ව්‍යාපාරිකයකු ඝාතනය වන්නේ මේ සිදුවීමෙන් පසුවය. තම මිතුරකු සමග යතුරු පැදියක නැඟී යද්දී ඔවුන් ලුහුබැඳ ආ පාතාල මැරයන් දෙදෙනකු ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණේය.

මේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය අවසානයේ අනාවරණය කර ගත්තේ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වූ බවයි.

පොලිසිය පවසන අන්දමට මේ ඝාතනය පිටුපස සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානිකු බවට පත්ව සිටින පානදුරේ සලිඳු නැමැත්තා බවය.

පානදුරේ නගරයේ උණුසුම මැකී යෑමටත් පෙර අලුත්ගම මොරගොල්ල ප්‍රදේශයේ දී තවත් මිනිස් ඝාතනයක් සිදු වුණේය. තැඹිලි කපා විකිණීම සිය රැකියාව කරගෙන සිටි තරුණයකු මෙසේ පාතාල මැරයන්ගේ ගොදුරක් බවට පත්ව සිටියේය.

මෙහිදී ඝාතනයට ලක්වූ තරුණයා බැස්ටියන් මාවතේදී පාතාල මැරයන්ගේ ගොදුරක් බවට පත්වීමට නියමිතව සිටි බෝට්ටුකරුගේ මස්සිනාය. තැඹිලි විකිණූ මේ තරුණයා ද මත්ද්‍රව්‍ය කිලෝ 200යේ වැටලීමේ ඔත්තුකරුවකු බවට පත්ව සිටි අයෙකු බව පසුව හෙළි විය. පොලිසිය පවසන්නේ මේ ඝාතනය පිටුපස ගණේමුල්ල සංජීව නමැති පාතාල මැරයා සිටින බවයි. මේ ඝාතන සිද්ධි පැය 24ක් ගත වන්නටත් පෙර තංගල්ලේ සහ අකුරැස්සේ මිනිස් ඝාතන දෙක්ක වාර්තා වුණේය. මේ ඝාතන දෙකම සිදුවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් මතය. විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට ඝාතන දෙක පිටුපස සිටින්නේ මිදිගම නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැති පාතාල මැරයාය.

මේ ඝාතන වැලේ අවසාන ගොදුර බවට පත්ව සිටියේ මෝදර ප්‍රදේශයේ තරුණයෙකි. මෝදර ඉබ්බගෙවත්ත ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාරයකින් තරුණයකු ඝාතනයට ලක් වන්නේ කුඩු පාතාලයේ තවත් ගොදුරක් බවට පත් වෙමින්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මේ ඝාතනයට ද හේතුවී ඇති බව විමර්ශනවලින් හෙළි විය. ප්‍රහාරය එල්ල කර තිබුණේ කිඹුලාඇලේ ගුණාගේ පාතාල කල්ලියේ සිටි අළුගෝසුවකු විසින්ය.

රට පුරාම කුඩු කාරයන්ගේ නඩු නැති මරණ

මේ ආකාරයට සතියක් වැනි කෙටි කාල සීමාවක් තුළදී කුඩු පාතාලය විසින් ජීවිත හයක් බිලිගෙන තිබුණේය. හිටි හැටියේම කුඩු පාතාලය මේ ආකාරයට සක්‍රීය වීමට හේතු කීපයක් බලපා ඇති බව පැහැදිලිය.

ඉන් ප්‍රධානම තැන ගන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මේ වනවිට හබලක් නැති ඔරුවක් බවට පත්ව තිබීමය. පොලිසිය තුළ පවතින සීතල යුද්ධය පාතාලය නැවතත් සක්‍රීය වීමට ප්‍රධානම හේතුව බවට පත්වී හමාරය.

පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පවතින ගැටුම මේ වනවිට උඩුදුවා හමාරය. පොලිසියට නිවැරදි නායකත්වයක් දෙන්නට මේ වනවිට කිසිවකුත් ඉදිරිපත් වී නැන.

වගකීමක් භාරගැනීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු නොකිරීම නිසා පහළ නිලධාරීන් සිය රාජකාරි පැහැර හැරීමට පටන් ගෙන සිටිති. පහළ නිලධාරීන්ගේ පැත්තෙන් ඔවුන් ගෙන තිබෙන තීණය සාධාරණය.

ඒ මන්ද යත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිබඳව විශ්වාසය තබා පාතාල මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කළහොත් අවසානයේ ඔවුන්ට සිදුවන්නේ හිරේවිලංගුවේ වැටීමටය.

මේ වනවිට රටේ ක්‍රියාත්මක වන පාතාල කල්ලිවලට නායකත්වය දෙන මැරයන් මේ රටේ නීතිය පොලිසිය හැසිරෙන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන මැරයන්ය.

මේ පාතාල මැරයන්ට උපදෙස් දීමට ඇතැම් පොලිස් නිලධාරීන් මෙන්ම ඇතැම් නීතීඥ මහත්වරුන් ද සැදී පැහැදි සිටිති.

රටේ නීතිය ආරක්‍ෂාව දියාරු වී යන හැම මොහොතකම පාතාලය සක්‍රීය වූ බව ඉතිහාස සිදුවීම්වලින් පැහැදිලිය.

රටේ ආර්ථිකය කඩාවැටීම දේශපාලන අස්ථාවරයත්වය නීතිය ආරක්‍ෂාව වල්වැදීයෑම පොලිසිය ඉච්චාභංගත්වයට පත්ව සිටිීම ඇතුළු තවත් කරුණු කාරණා රාශියක් මේ වනවිට රට භුක්ති විඳිමින් සිටියි.

අළුයට ගිනි පුළිඟු මෙන් තිබෙන පාතාලයේ වෛරය, පළිගැනීම එකිනෙකා මරා ගැනීම වැනි අපරාධ සක්‍රීය තත්ත්වයට පත්වන්නේ රටේ මේ පවතින අස්ථාවරත්වයත් සමගය.

එමෙන්ම තවත් ප්‍රධාන කරුණු කීපයක් මේ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට බලපා ඇති බව පැහැදිලිය.

පාතාලය දරුණු අපරාධකරුවන් මර්දනය සහ විමර්ශන කිරීම සඳහා විශේෂ පොලිස් ඒකක පිහිටුවා තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය මෙන්ම පෑලියගොඩ, නුගේගොඩ, කළුතර අපරාධ කොට්ඨාස මෙම විශේෂ ඒකකයන්ය.

පසුගිය දිනවල රටේ සිදුවූ අර්බුදකාරී තත්ත්වයත් සමගම ගිනි තබා විනාශ කළ දේශපාලනඥයන්ගේ නිවාස දේපොළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කටයුතු මේ වනවිට භාරදී තිබෙන්නේ මෙම පාතාල මර්දන ඒකකයන් වෙතය. පාතාල මර්දන මෙහෙයුම් පසෙක තබා මෙම ඒකකවල නිලධාරීන් මේ වනවිට සිදු කරන්නේ දේශපාලනඥයන්ගේ දේපොළ විනාශ කිරීමේ සම්බන්ධයෙන් වූ විමර්ශනයන්ය.

මේ විශේෂ ඒකක පාතාල මර්දන මෙහෙයුම්වලින් ඉවත් වීම පාතාල කණ්ඩායම්වලට රජමඟුල් බවට පත් වී හමාරය.

පාතාල මැර කණ්ඩායම් ඉවක් බවක් නොමැතිව මිනිස් ඝාතන සිදු කරන්නට පටන් ගන්නේ මෙම විශේෂ ඒකක සිය රාජකාරිවලින් බැහැර වීමත් සමගය.

ඉදිරියේදී මේ තත්ත්වය තවත් බැරෑරුම් තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක.

රැකියා අහිමි වූ තරුණයන් මේ වනවිට ලක්‍ෂ දෙකකට අධිකය. ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇත. රටේ පවතින ආර්ථික තත්ත්වයත් මුදල් හිඟකමක් නිසා රැකියා අහිමිවන තරුණයන් බොහෝ දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම වැළැක්විය නොහැක.

මේ තත්ත්වය පාලනය කිරීමට රජයේ හෝ පෙලිසියේ නිවැරදි වැඩපිළිවෙළක් සැලසුමක් නොමැත.

රටේ පවතින අස්ථාවර තත්ත්වය මත ඉදිරියේදී මීට වඩා අපරාධ සිදුවනු ඇත. පාතාල මැර කණ්ඩායම් තවතවත් දරුණු අපරාධවල මිනිමැරුම්වල මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වීම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.

පාතාල මර්දනය ගැන පෙලිසිය තුළ මේ වනවිට නිසි සැලසුමක් නැත. බොහෝ පොලිස් නිලධාරීන් කරන්නේ ඇඟ බේරාගෙන ඊළඟ උසස්වීම ලබාගැනීමට නිකං උඩබලාගෙන සිටීමය. පාතාල මර්දනය කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමට හදවතින්ම කටයුතු කරන නිලධාරීන්ට සිදුවන්නේ එක්කෝ හිරගෙවල්වල තැපීමටය. එහෙමත් නැත්නම් උසස්වීමක් හෝ නොලබා කොහේ හෝ තූත්තුකඩියකට මාරුවී යෑමට ය. ඒ අපේ රටේ හැටිය.

අද පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු නැත. පොලිසියට නිවැරදි දැක්මක් නැත. පොලිසියේ උසස්ම නිලධාරීන් ඇනකොටා ගනිද්දී පහළ නිලධාරීන්ගේ රාජකාරි ගැන කවර කථා ද?

මේ සියලු කාරණා ගැන මනා අවබෝධයකින් සහ අවධානයකින් සිටින පාතාල මැරයන් මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය කාර්යයන් තමන්ට අභිමත පරිදි කිරීමට පටන් ගෙන ඇත.

පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් නිසා අපරාධකරුවන් අද පොලිස් නිල ඇඳුමට තිබූ බය පක්‍ෂපාතීත්වය ගිලිහී ගොසින්ය. පාතාල මැරයන් කුඩුකාරයන් පොලිස් නිලධාරීන්ට අභියෝග කරන තත්ත්වයකට පත්ව සිටිති.

මේ තත්ත්ව ඉතාම භයානක බව අප සැවොම තේරුම් ගත යුතුය. පාතාලයට කුඩුකාරයන්ට මැරයන්ට නීතිය අතට ගැනීමට ඉඩ ලබාදුන්නොත් ඇතිවන තත්ත්වය තේරුම් ගතයුතුය.

ඉකුත් මැයි 09 වැනිදා රටේ සිදුවූ භයානක තත්ත්වය ඊට කදිම නිදසුනකි. පාතාල මැරයන් කුඩුකාරයන් අපරාධකාරයන් රටේ නීනිය සියතට ගෙන පැය 24ක් තුළ සිදුකළ අපරාධයන් මොන තරම් භයානකද යන්න අපි දුටුවෙමු. මේ ආකාරයට පාතාල මැරයන්ට කුඩු කාරයන්ට රිසිසේ කටයුතු කිරීමට ඉඩ ලබානොදීමට රජය මෙන්ම පොලිසිය ද වගබලාගත යුතුය. අවිගත් පාතාල මැරයන් අවියෙන්ම මට්ටු කළ යුතුය. මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක ඇතුළු දරුණු පාතාල මැරයන් රැසක් පසුගිය දිනවලදී ජීවිතක්‍ෂයට පත් වන්නේ පාතාල මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දීය.

මධුෂ්ලා, කොස්ගොඩ තාරකලා ජීවතුන් අතර සිටියේ නම් අද අපට භුක්ති විඳින්නට සිදුවන්නේ කුමන තත්ත්වයකට දැයි සිතා ගැනීමටවත් නොහැක.

එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ ලබානොදී පාතාල මැරයන් මෙන්ම සන්නද්ධ කණ්ඩායම් මර්දනය කර රටේ නීතිගරුක පුරවැසියන්ට නිදහසේ ජීවත්වීමට වාතාවරණයක් සකස් කර දීමට රජය වගබලා ගත යුතුය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment