සුරාබදු පොලු‍ තැබූ සමාගම් දෙකක් අතුරුදන් – අරක්කු සමාගම් 7ක් කෝටි 150ක් බදු ගෙවලා නෑ

120

ව්‍යාජ ස්ටිකර් මැඬලීමට නව ඩිජිටල් ස්ටීකරයක් හඳුන්වාදිය යුතුයි – චම්පික රණවක

සුරාබදු ගෙවීම් ප්‍රමාද වූ ආයතන 07 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට ( කෝටි 150ක) වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත් පෙරේදා (20 දා) පාර්ලිමේන්තුවේදී පැවැති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය.

අනෙක් සමාගම් ගෙවීම් සැලසුම්වලට අනුව කටයුතු කළ ද ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රිතු ගබඩාව යන සමාගම් ද්විත්වය ගෙවීම් සැලසුම් ඉදිරිපත් කොට නොමැති බවත් මෙහිදී අනාවරණය වී ඇත. ක්‍රම සහ විධි කාරක සභාව පෙරේදා පෙරවරුවේ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙම කරුණු හෙළි කළහ.

එමෙන්ම අදාළ සමාගම් තම හිඟ බදු ඔක්තෝබර් 15 දිනට පෙර ගෙවීමේ අවශ්‍යතාව යළි අවධාරණය කෙරුණු අතර, එසේ නොකළහොත් ඔක්තෝබර් 30 වැනිදා වන විට බලපත්‍ර අත්හිටුවීමක් සිදු කළ යුතු බව ද අවධාරණය කෙරිණ. මත්පැන් නිෂ්පාදන ආයතනවලට බලපත්‍ර ලබා දීමේ දී යම් තැන්පතුවක් තබා ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකරය මුද්‍රණ කටයුතු සිදු කිරීමේදී වංචාව සිදුවී ඇත්තේ කෙසේද යන්න පුළුල් ලෙස විමර්ශනය කළ යුතු බව කමිටු සභාපතිවරයා සඳහන් කළේය. කාලාන්තරයක් මුළුල්ලේ මහා පරිමාණයෙන් සිදුව ඇති මෙම දැවැන්ත වංචාව නිසා රජයට අහිමි වූ බදු මුදල් ප්‍රමාණය අතිවිශාල බව කමිටුව පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සිදු කොට ඇති බවත්, එම කටයුත්ත සිදුවූ ස්ථානය සහ සිදු කළේ කවුරුන් ද යන්න තවමත් ස්ථිරව කිව නොහැකි බවත්, සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළ අතර, කමිටු සභාපතිවරයා නියෝග කළේ මේ මස අග වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් මෙම කටයුත්ත සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු ස්ථිර කරගන්නා ලෙස ය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment