බේරුවල මුහුදේ භූචලනයක්

107

බේරුවලට ආසන්න මුහුදේ ඊයේ (30 දා) පස්වරු 1.02ට පමණ සුළු භූචලනයක් සිදුවී ඇතැයි භූවිද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

මෙම සුළු භූචලන තත්ත්වය බේරුවල වෙරළට කිලෝ මීටර් 24 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුළ රිච්ටර් මාපක ඒකක 3.7 ක අගයක් ගෙන ඇති බව එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවැසීය.

එම භූචලනය බේරුවල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට දැනී තිබේ. එක්වරම නිවෙස්වල වහලය හා දොර ජනෙල් පවා දෙදරීමට ලක්වූ බව එම ප්‍රදේශවල ජනතාව පැවසූහ.

මෙම භූචලන තත්ත්වය හේතුවෙන් බල්ලන්, පූසන්, හරකුන් වැනි සතුන් පවා බියට පත්වී දිවගිය බවද ඔවුහු කියා සිටියහ.

මෙම භූචලන තත්ත්වය බේරුවල ප්‍රදේශයේ පාසලකට ඉතා හොඳින් දැනුන බව එම පාසලේ ගුරුවරු හා සිසුහු පැවසූහ.

මෙම භූචලනයෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදුවී නැතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ බේරුවල චමින්ද ප්‍රසාද්

advertistmentadvertistment
advertistmentadvertistment