බාලවයස්කාර දියණිය අඹුකමට ගත් නරුම පියා වසර 11ක් හිරේ – දැරිය හඬා වැළපෙමින් සාක්ෂි දෙද්දී පියා වරද පිළිගනී

718

සිය බාලවයස්කාර දියණිය අඹුකමට තියාගත් 45 හැවිරිදි පස්දරු පියෙකුට වසර 11ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රු. 10,000ක දඩයක් හා රු. ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසට හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා පෙරේදා (28 දා) නියෝග කළේය.

චූදිත 2012 සිට සිය බාලවයස්කාර දියණියව බලහත්කාරයෙන් අඹුකමට ගෙන තියාගෙන සිටියදී තිස්සමහාරාම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව චූදිත අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ චූදිතට පළමු විවාහයෙන් දරුවන් දෙදෙනකු සිටින බවත්, බිරිඳ දරුවන් කුඩා කාලයේදීම වෙනත් පුරුෂයෙකු හා ගොස් ඇති බවත්ය. පසුව චූදිත පුද්ගලයා වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර චූදිතට එම විවාහයෙන්ද දරුවන් තිදෙනෙකු සිටින බවත්ය. චුදිත රැකියාව ලෙස පොල් කැඩීම සිදුකර ඇති අතර ඉන් ලැබෙන ආදායමින් දරුවන් නඩත්තු කිරීමට නොහැකි නිසා පෙර විවාහයේ දරුවන් දෙදෙනා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි බාලවයස්කාර දියණියව යළි නිවසට ගෙන්වාගෙන ඇත්තේ පාසල් යැවීමට බව පවසමිනි. බාලවයස්කාර දැරියට පාසල් යෑමට මුදල් ලබාදීමට නම් තමන් සමග අඹු සැමියන් ලෙස සිටිය යුතු බවට දැරිය පොරොන්දු කරවාගෙන තිබේ. දැරියද පාසල් යෑමට පියා මුදල් නොදේවි යන බිය නිසා අකමැත්තෙන් නමුත් පියා සමග අඹුසැමියන් ලෙස හැසිරී තිබේ. මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.

ඒ අනුව පැවති නඩු විභාගය අතරතුරදී අගතියට පත් දියණිය මහාධිකරණය හමුවේ හඬා වැළපෙමින් තමන්ට අත්විඳීමට සිදුවූ සිද්ධිය පිළිබඳ සාක්ෂි දීම සිදු කෙරුණි. එහිදී සිය දියණිය හඬා වැළපෙමින් සාක්ෂි දෙන විලාසය දුටු චූදිත පියා විසින් එම අවස්ථාවේදීම තමන් සිදුකළ වරද පිළිගනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතීඥ නිමංක ජයවික්‍රම මහතා අධිකරණය අමතමින් පැවසුවේ, සමාජයේ අන් අයටද ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ දැඩි දණ්ඩනයක් චූදිතට පනවන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ චෝදනාවට චූදිතට වසර 11ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු අතර රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණි. දඩය නොගෙවන්නේ නම් අමතරව තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. අගතියට පත් දියණියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කෙරුණි. වන්දි මුදල් නොගෙවන්නේ නම් ඉහත දඬුවම්වලට අමතරව තවත් වසර 03ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment