ආර්ථිකය වගේම රටේ පාරිසරික සම්පත් කළමනාකරණය සඳහාත් අපට පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ

50

ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති,පූජ්‍ය පහළගම සෝමරතන හිමි

වනාන්තර විනාශයේ – ඉඩම් අව භාවිතයේ කෙළවරක් නැහැ

ගම්පහ-පහළගම යටවත්තේ විද්‍යාරවින්ද රාජ මහා පිරිවෙන් විහාරස්ථානය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති සහ එංගලන්තයේ ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ නිර්මාතෘ සහ විහාරාධිපති, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, සද්ධම්ම ජෝතික ධජ පූජ්‍ය පණ්ඩිත පහළගම සෝමරතන හිමි සමග කරන ලද සාකච්ඡාවකි.

සීත කාලයට යුරෝපයේ සිටින බොහෝ යුරෝපීය ජාතිකයන් පමණක් නොව, පර්යටනික කුරුල්ලන් පවා ලංකාව සොයාගෙන එනවා. නමුත් වසරේ මාස 7 ක් ශ්‍රී ලංකාවේ වැඩවාසය කරන ඔබ වහන්සේ වසරේ ඉතිරි මාස 5 ගතකරන්න හැමදාම සීත සමයේ එංගලන්තයට වඩිනවා. මේ දිනවල ඔබවහන්සේ වැඩ සිටින්නේ එංගලන්තයේ.

ඇත්තටම, මගේ වසරේ කාලය ගෙවී යන්නේ එහෙම තමයි. 1978 දී එංගලන්තයේ ලන්ඩන් විහාරයට පැමිණි මම 1981 දී ලන්ඩනයේ ප්‍රොමිඩන් පළාතේ ඉතා අපහසුවෙන් පොඩි කඩ කාමරයක් වගේ තැනක් හොයාගෙන දායකයන්ගේ උදව්වෙන් ඉතා අලංකාර වටපිටාවක් සහිත තේම්ස් බෞද්ධ විහාරය ආරම්භ කළා. පස්සෙ ඒක තව පුළුල් කළා. අද වන විට තේම්ස් බෞද්ධ විහාරය අංග සම්පූර්ණ විහාරයක්. අදටත් එහි විහාරාධිපති ධුරය දරන්නේ මම. ඒ වගේම, මම පැවිදි වූ, මම අකුරු කළ, මම කුඩා කල ජීවත් වූ ගම්පහ-පහළගම විද්‍යාරවින්ද පිරිවෙන් රාජමහා විහාරයේත් වත්මන් විහාරාධිපතින් වහන්සේ වන්නේ මම. මේ නිසා දෙපැත්තේම වාසය කරන්න වගේම, දෙරටේම බෞද්ධ ජනයාට සෙතක්, සේවයක් කරන්න මට ලැබිල තියෙන්නේ මහඟු අවස්ථාවක්. අනික එක අතකින් මට ලැබිල තියෙන්නේ මහඟු වාසනාවක්. කොහොම හරි ගොඩක් දුරට එංගලන්තයට එන්න මම තෝරගෙන තියෙන්නේ මේ කාලය තමයි. ඒ මේ කාලයේ ලංකාවට තද රස්නයක් තියන හින්දා. ලංකාවේ මේ දවස්වල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 34 ක් විතර වුණාට එංගලන්තයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 4 ක්. සීතලයි තමයි. නමුත් ඇත්ත නම්, එංගලන්තයේ සිටින අය දුකසේ තමයි සැප විඳින්නේ. පැය 24 ම වැඩකරලා තමයි ජයග්‍රහණ ලබන්නේ. නමුත් ලංකාවේ බොහෝ දෙනා සැපසේ දුක් විඳිනවා කිව්වොත් නිවැරදියි. ඒ කියන්නේ ඕන දෙයක් කරන්න පුළුවන් ලංකාවේ බොහෝ දෙනා දුක් විඳින්නේ එක්කෝ කම්මැලි කමට. නැත්නම් දියුණුවෙන්න උනන්දුවක් නැති නිසා. අපි මේ තරම් ගමනක් ආවේ නිකන් ඉඳල නෙමේ. දුක් විඳලා.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පසුබෑම, ජීවන දර්ශකය ඉහළ යෑම, සමාජ සම්බන්ධතා බිඳවැටීම ගැන ඔබවහන්සේ නිතර ලංකාවේදී කතාකරනවා.

ඔව්. ඇත්තටම ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩාවැටෙන්න ඕන රටක් නෙමේ. නිදහස ලබා වසර 78 ක් ගතවෙනකම් රට පාලනය කළ සියලු නායකයන් මේ තත්ත්වයට වගකිව යුතු බවයි මගේ අදහස. ඒ කොහොම වුණත්, රටේ ජනතාවටත් විශාල වගකීමක් තියනවා අඩුම ගානේ තමන්ගේ ආර්ථිකය, ජීවන ක්‍රමවේදය දියුණු කරගන්න. බොහෝ මිනිසුන්ට එහෙම අදහසක් නෑ. ඒකයි මම කලින් කිව්වෙ ලංකාවෙ මිනිස්සු සැපසේ දුක් විඳිනවා කියලා. බලන්න අපේ රටේ මොනවගෙන්ද අඩු පාඩුවක් තියෙන්නේ. ඇයි මේ රට දියුණු කරන්න බැරි, ඇයි ගොඩගන්න බැරි. එක අතකින් මිනිස්සු කම්මැලියි. ආණ්ඩු දිහාම බලාගෙන ඉන්නවා. ඒ නිසාම දේශපාලකයෝ මිනිස්සු රවට්ටනවා. ඒකෙ ප්‍රතිපලයක් තමයි රටේ ආර්ථිකය කඩාවැටීම. ජනතාව උද්යෝගයෙන් නැගිටින්න ඕන. එතකොට රට ගොඩදාන්න පුළුවන්.

ලෝකයේ දේශගුණික විපර්යාස ගැන, පරිසර විනාශය, වනාන්තර සංරක්ෂණ අවශ්‍යතාව ගැනත් ඔබවහන්සේ නිතර කතාකරන කෙනෙක්.

බුදු දහමේ සැරිසරන අපිට පරිසරය කියන්නේ අමුතු දෙයක් නෙමේ. සැබැවින්ම බුදු දහමත්, පරිසරයත් දෙකම එකක්. ඒ නිසා අපි පරිසරය සුරකින්න නිතැතින්ම බැඳිලා ඉන්නවා. මගේ රටේ දේ මම පහත් කර සලකනවා නෙමේ. එහෙත් ලංකාවේ පරිසරය රැකගැනීමට දක්වන කැපවීම බොහොම අඩුයි. රජයේ, පෞද්ගලික අංශයේ, තනි තනි පුද්ගලයන් ලෙස සැලකුවත් පරිසර සංරක්ෂණය ගැන පහත් මානසිකත්වයක් තමයි තියෙන්නේ. බලන්න ලෝකයට මොනතරම් බණ කියන රටක් වුණත්, අපේ රටේ සිදුවන වන විනාශය අඩුවක් නැහැ. අක්කර ගණන් රක්ෂිත වනාන්තර කපනවා. ඉඩම් අවිධිමත් භාවිතය අතින් අපේ රට ඉන්නේ ඉතාම ඉහළ තැනක. ඕන ඕන අයට ඕන ඕන විදිහට රටේ ඉඩම් භාවිත කරන්න පුළුවන්. එංගලන්තයේ එහෙම බෑ. ගහක් කපන්නවත් ලේසියෙන් අවසර දෙන්නේ නෑ. හදපු ගෙයක ප්ලෑනක් වෙනස් කරන්නත් විශේෂ අවසරයක් ඕන. බොහෝ විට ඒකට ඉඩක් ලැබෙන්නේ නෑ. මොකද මෙහෙ සියලුම දේවල් සිද්ධකරලා තියෙන්නේ ප්ලෑනක් අනුව නිසා. 1981 දී මම තේම්ස් බෞද්ධ විහාරය ගොඩනැගුවා. එංගලන්තයේ කටයුතු කරන එකයි, ලංකාවේ කටයුතු කරන එකයි අහසට පොළොව මෙන් වෙනස් කියල මම දැක්කා. මොකද එංගලන්තයේ පරිසරය, ගහ-කොළ රකින්න විශාල කැපකිරීමක් කරනවා. ඔවුන් හැම දේම කරන්නේ සැලසුමකට අනුවයි. හැම ගමකටම පිට්ටනියක් තියෙනවා. හැම ගමකටම කැලෑවක් තියනවා. Green Belt කියන සංකල්පය අනුව ගමට අදාළව කැලෑව රකිනවා. මේවායේ ගස් කපන්න කාටවත් බෑ. ලංකාවේ වගේ ආණ්ඩුවටත් බෑ. ඇමැතිවරුන්ට, බලවතුන්ට, ධනවතුන්ට කියල ඒවා හිතූමතේ විනාශ කරන්න නීතියෙන් ඉඩක් නෑ. ගෙවල් හදන එක, ගෙදරට තාප්පයක් වගේ දේවල් එකතු කරන එක, අයිතිකාරයාට ඕන විදිහට කරන්න බැහැ. එකට රජයේ අනුමත සැලැස්මක් තියනවා. දෘෂ්‍ය දූෂණය (Visual Pollution) ගැන එයාල දැඩිසේ සංවේදියි. විනය, නීතිය හරිටම රකිනවා. එංගලන්තය ලස්සන, අලංකාර රටක් වෙලා තියෙන්නේ ඒ නිසා. පදිකයන්ට, පාපදිකරුවන්ට වෙනම මං තීරු තියනවා. හරිතවත් බව රැකගන්න එයාල හරියට මහන්සි වෙනවා. ඒත් අපේ රටේ එහෙම නෑ. නීතිය, විනය පිරිහෙලා. සැලැස්මකට වැඩ කරන්නේ නෑ. නිසි කළමනාකරණයක් නැහැ. එනිසයි රටේ මේ තරම් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. අපේ අයට නිදහස වැඩියි. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒවා පක්ෂග්‍රාහියි. දේශපාලකයෝ, නිලධාරීන් තමන්ට හිතු මනාපේ වැඩකරනවා. හොරකම් කරනවා, අල්ලස් ගන්නවා. දූෂණය ඉහ වහා ගිහින්, කොමිස් නැතිව වැඩකරන්නේ නෑ. පුදුම තත්ත්වයක්. ඉතිං කොහොමද රටක් ගොඩනගන්නේ. පරිසර සම්පත් ආරක්ෂා කරන්නේ නැතිව, ඒවා තිරසාර භාවිතයක් කරන්නේ නැතිව රට දියුණු කරන්න බැහැ. කොටින්ම සැලසුමක් නැතිව රට ගොඩගන්න බැහැ. මාස 7 ක් මම ලංකාවේ ජීවත්වන වෙනසයි, මාස 5 ක් එංගලන්තයේ ජීවත්වන වෙනසයි මම ඉතා හොඳින් අත්විඳිනවා.

ඒ වගේම අද මිනිසා ඇතුළු ලෝක සත්ත්වයාට, ගහට, කොළට, ක්ෂුද්‍ර ප්‍රාණීන්ට පවා ජීවත් වීමට නුසුදුසු තැනක් බවට ලෝකය අද පත්වීගෙන එනවා. ඒකට හේතුව මිනිසා නම් වන අපගේම ක්‍රියාකලාපයන්. වනාන්තර විනාශය, පොසිල ඉන්ධන දහනය, රට රටවල යුද්ධ, කාර්මීකරණය මේ නිසා ලෝක උණුසුම ඉහළ යමින් තිබෙනවා. අපේ රටෙත් මේ වගේ දේවල්වලට ඉතා ඉහළින් උදව් දෙනවා. වනාන්තර විනාශය ගැන මම කතා කළා. බලන්න මේ දවස්වල ලංකාවේ ජීවත්වෙන්නේ කොහොමද..? මේ තරම් උෂ්ණත්වයක්
දරාගන්නේ කොහොමද..? ඊට පස්සේ වතුර නැති වෙනවා. වගා කරන්න බැරි වෙනවා. ආහාර මිල ඉහළ යනවා. ප්‍රශ්න ගොඩයි. මේවා ගැන රටේ දේශපාලකයින් අවධානය යොමු නොකරන එක තමා ප්‍රශ්නෙ.

අනික එක පැත්තකින් සමාජය බරපතළ විදිහට කඩාවැටෙමින් පවතිනවා. අපරාධ රැල්ලක් රටේ ක්‍රියාත්මක වෙනවා. මිනී මරනවා. මත්ද්‍රව්‍ය භාවිතය, ඒ ජාවාරම් ඉහ වහා ගිහිං. අනික අවිධිමත් ජංගම දුරකථන භාවිතය. හරියට වඳුරන්ට දැලි පිහි හම්බවෙලා වගේ. බරපතළ තත්ත්වයක් රටේ තියෙන්නේ. මේ නිසා දෙමාපිය-දූ දරු සම්බන්ධතා බිඳවැටිලා. පවුලේ අය එකිනෙකා කතා කරන්නේ නෑ. එයාල තම තමන්ගේ ලෝකවල ජීවත් වෙන්නේ. ගෙදරක වැඩ කෙරෙන්නේ නෑ. අම්මා-තාත්තා වැඩකරනවා. ළමයි වෙන ලෝකවල. ගෙදරට හිතවතෙක්, නෑදෑයෙක් ආවත් කතා කරන්නේ නෑ. කොහොම තිබුණු රටක්ද මේ. එංගලන්තය වැනි දියුණු රටවලත් ඔයවගේ තත්ත්වයකට රට වැටිලා නැහැ. ඒකයි ලංකාව දුප්පත් වෙන්න හේතුව. නිකං කාලය කනවා. අවශ්‍ය දේ ඕන වේලාවට කරන්නේ නෑ. ඔහොම රටක් ගොඩගන්න බැහැ. හරිම කනගාටුදායක තත්ත්වයක්. මීළඟට රට ගන්න ඉන්න පාලකයෝ මේවා ගැන දැඩිව හිතන්න ඕන.

ඔබ නිර්මාණය කළ තේම්ස් බෞද්ධ විහාරයේ කටයුතු මේ දවස්වල කොහොමද සිදුවෙන්නේ..?

ආර්ථිකය වගේම රටේ පාරිසරික සම්පත් කළමනාකරණය සඳහාත් අපට පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ
විහාරයේ වැඩවසන හිමිවරු

මේ විහාරය හුදෙක් ආගමික ස්ථානයක් පමණක් නෙමේ. විහාරයේ හිමිවරු සිව් නමක් වැඩ ඉන්නවා මමත් එක්ක.

මෙහෙ ඉන්න හාමුදුරුවරුන්ගෙන් විශාල සේවයක් විහාරයටත්, ප්‍රදේශයටත් සිදුවෙනවා. කොහුකුඹුරේ සිරි ධම්ම හිමි වැඩබලන විහාරාධිපති හිමි ලෙස කටයුතු කරනවා. රම්බොඩගම නාරද, මුංවත්තේ මංගල හිමිවරු විශාල සේවයක් කරනවා. සැබැවින්ම ප්‍රදේශයේ හරිතවත් බව අතරින් කසාවත් සැරසී බුදු දහමේ සැබෑ පණිවිඩය අපි එහි ජනතාවට ලබාදෙනවා. එක පැත්තකින් අපේම රටේ බෞද්ධයන්ට, තවත් පැත්තකින් එංගලන්ත සුදු වැසියන්ට. තේම්ස් බෞද්ධ විහාරය මේ දෙගොල්ලන්ටම තම මනස සුවපත් කරන අසපුවක් තැනට පත්වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අප කරන භාවනා වැඩසටහන් සඳහා විශාල සුදු ජාතිකයන් පිරිසක් සහභාගි වෙනවා. අපි ඒ සඳහා ඉඩ සලසා දී තිබෙනවා. ඒ සඳහා වැදගත්වන්නේත් නිහඬ, නිසල පරිසරය. ගහේ-කොළේ සෙවණ, මඳ පවනේ සිසිලස, කුරුල්ලන්ගේ නද, ඒ නිසා තමයි පරිසරය රැකගැනීමේ වැදගත්කම ඉස්මතුවන්නේ. බුදු දහම හෝ බෞද්ධ විහාරයක් කීව සැණින්ම සුදු ජාතිකයන්ගේත් ඔළුවට එන්නේ ඒක පරිසර නිකේතනයක් කියන එක.

කොහොම වුණත් තේම්ස් විහාරය ප්‍රදේශයේ දිවිගෙවන බෞද්ධ අබෞද්ධ කාටත් තවත් පන්සලක් වුණේ නෑ. මේක ප්‍රදේශයට සංස්කෘතික මධ්‍යස්ථානයක්. ආගමික උත්සව පමණක් නෙමේ සංස්කෘතික උත්සව ආදිය සියල්ලම වාර්ෂිකව මෙහෙ කෙරෙනවා. අවුරුදු උළෙල, නිදහස් වැඩසටහන්, වෙසක්, පොසොන් උත්සව, සිල් සමාදන් වැඩසටහන්, භාවනා වැඩසටහන් හා පන්ති, පිරිත් දේශනා යනාදී උත්සව, අංග රැසක් තියන නිසා ප්‍රදේශයට තේම්ස් විහාරය මහා සම්පතක්. ඒක ගොඩනගන්නට මට හැකිවීම මා ලද භාග්‍යයක්. දහම් සාකච්ඡාවන්ට, පිරිත් කියාගන්නට, පිරිත් නූල්, පිරිත් පැන් ගන්නට ජාති ආගම් භේදයකින් තොරව පන්සලට එනවා. මාස 7 කට පස්සෙ වුණත් තවත් මාස 5 ක් ගෙවන්න මම එංගලන්තෙට එන්නෙ අපේ බැතිමතුන් මාවත් බලාපොරොත්තුව සිටින නිසා.

ගම්පහ-පහළගම යටවත්තේ පිරිවෙන් රාජ මහා විහාරය ගොඩනගන්නත් ඔබ කැපවී කටයුතු කරනවා.

ඔව්. මේ මගේ මව් පන්සල. මගේ ගමේ පන්සල. මම පැවිදි වූ පන්සල. විහාරාධිපති තනතුර භාරගන්න පෙර සිටත් විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරයක් බවට පත්කරන්න මම හා අනෙකුත් විහාරස්ථ ස්වාමීන්වහන්සේ කැපවී කටයුතු කළා. ඒ වගේම එංගලන්තයේ බෞද්ධ, අබෞද්ධ (තේම්ස් විහාරස්ථානයේ දායකයින්) දායකයන්ගේ උදව්වෙන් මෙන්ම විහාරස්ථ දායක සභාවේ සහ ගම්පහ ප්‍රදේශයේ දායකයන්ගේ උදව් උපකාර ඇතිවයි මේ දේවල් සිදුකළේ. වාර්ෂිකව විහාරස්ථානය මගින් සිදුකරන පෙරහැර මංගල්ලය මේ අතරින් විශේෂ තැනක් ගන්නවා. අසරණ පවුල්වලට, ගැබිනි මාතාවන්ට උදව් කරන්න අපි වැඩසටහන් කරගෙන යනවා.

කොහොම හරි මට අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ලෝකය සහ මගේ රට මුහුණදී ඇති ආර්ථික අර්බුදය වගේම පාරිසරික අර්බුදය ජයගැනීම සඳහාත් පාලකයන්, දේශපාලකයන්, ප්‍රතිපත්ති තීරකයන්, නිලධාරීන්, ආගමික නායකයින්, ජනතාව යනාදී සියලු දෙනාගේම අවංක කැපවීමක් අවශ්‍ය බවයි. නැතහොත් රටේ ජීවත්වීම මහා අභියෝගයක් බවට පත්වේවි, මහා ඛේදවාචකයක් බවට පත්වේවි.

සාකච්ඡා කළේ –
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment