බෙහෙත් 182ක් ගෙන්වූ කැබැනට් පත්‍රිකාව සී.අයි.ඩී.යට දෙන්න නියෝග

176

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් පත්‍රිකා රහස් පොලිසියට භාර දෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (24 දා) නියම කළාය.

ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු දෙදෙනකුගෙන් ද මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සිව්දෙනකුගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ගැනීමට ද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් අවසර දුන්නාය.

ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය ඒ අවසරය දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස් දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් මෙරටට ඖෂධ ගෙන්වීම සහ ඊට අදාළ ක්‍රමවේද මොනවාද යන්න හෙළිකර ගැනීමට අවශ්‍ය වී ඇතැයි ද අදාළ මුදල් භාණ්ඩාගාරයට ලැබුණු අන්දම සහ ඒවා වියදම් කළ ආකාරය හෙළිකර ගැනීමට අවශ්‍ය වී ඇතැයි ද දැනුම් දුන් නිලධාරීහු මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය වී ඇතැයි ද කියමින් ඒ සඳහා අවසර ඉල්ලා සිටියහ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන සහ නියෝජ්‍ය ලේකම් රත්නායක යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය වී ඇතැයි දැනුම් දෙමින් නිලධාරීන් කළ ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය අදාළ කැබිනට් පත්‍රිකා රහස් පොලිසියට භාර දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කළාය.

මේ අතර ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධියට අදාළව විදේශ ගමන් තහනමක් පනවා ඇති වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධර්මසිරි රත්නකුමාර මහතා අපේක්ෂිත ඇපයක් මත මුදාහැරීමට නියම කරන්නැයි ඉල්ලමින් ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ නඩු සම්බන්ධයෙන් සහ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් අපේක්ෂිත ඇප නියම කිරීමට හැකියාවක් නැතැයි පෙන්වා දුන්නාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment