හොංකොං විශ්වවිද්‍යාල භූමියේ ‘ලැජ්ජාවේ මූර්තිය’ ප‍්‍රතිමාව ඉවත් කරයි

389

චීනයේ ටියන්මාන් චතුරශ‍්‍රයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා හඬ නැගූ සිසුන් ඉලක්ක කරගෙන 1989 වසරේ සිදු කළ මිනිස් සංහාරය අනුස්මරණය කිරීම සඳහා හොංකොං විශ්වවිද්‍යාල භූමියේ ඉදි කර තිබූ ‘ලැජ්ජාවේ මූර්තිය’ නමින් හැඳින්වූ ප‍්‍රකට ප‍්‍රතිමාව වහාම එම භූමියෙන් ඉවත් කිරීමට හොංකොං විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

තවමත් චීනය මගින් පාලනය වන පරිපාලන දිස්ත‍්‍රික්කයක් සේ සැලකෙන හොංකොං රාජ්‍යයේ ටියන්මාන් චතුරශ‍්‍රයේ සිදු වූ මහා සිසු සංහාරය සැමරීම සඳහා ඉදි කර තිබූ ප‍්‍රතිමා කිහිපය අතුරින් ප‍්‍රකටම ප‍්‍රතිමාව සේ සැලකුනේ හොංකොං විශ්වවිද්‍යාල භූමියේ තිබී ඉවත් කරන ලද ප‍්‍රතිමාවයි. මෙතෙක් ටියන්මාන් චතුරශ‍්‍රයේ සිදු වූ සිසු සංහාරය අනුස්මරණය කරමින් අදාළ ප‍්‍රතිමාව ඉදිරිපිට සැම වසරකම ඉටිපන්දම් දැල්වීමට ද චීන බලධාරීන් විසින් අනුමැතිය ලබා දී තිබිණි. මෙම ප‍්‍රතිමාව හදිසියේ ඉවත් කිරීම සිදුව ඇත්තේ චීන රජය විසින් හොංකොං රාජ්‍යයේ සිටින සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම ඇරඹීමත් සමගිනි. ඉදි කිරීම් සේවකයන් විසින් පෙරේදා (22දා) රාත‍්‍රියේ මීටර් 8ක් (අඩි 26ක්) උසැති තඹවලින් නිමවූ අදාළ ප‍්‍රතිමාව විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් කර ඇති අතර මාධ්‍යයට එහි ඡායාරූප ගැනීම පවා වළක්වා තිබිණි. චීනයේ ටියන්මාන් චතුරශ‍්‍රයේ 1989 වසරේ සිදු වූ සිසු සංහාරයෙන් 10,000ක් පමණ දෙනා මිය ගිය බව බටහිර රටවල් විසින් ඇස්තමේන්තු කර තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment