අස්වැසුම ලැබියයුත්තන්ට ලැබෙයි නොලැබිය යුත්තන්ට නොලැබෙයි -එජාප සභාපති වජිර අබේවර්ධන

134

අස්වැසුම ගෙනල්ලා තියෙන්නෙ සුදුසු හැමදෙනාටම සහන දෙන්නයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වාර්තාවේ සඳහන් කරලා තියෙනවා ඩොලර් මිලියන එකසිය ගානක් වෙන් කරලා අස්වැසුම හරහා දුප්පත් ජනතාව ශක්තිමත් කිරීමට වැඩිම මුදල ලබාදීලා තියෙන බව. ලැබිය යුත්තන්ට ලැබේවි. නොලැබිය යුත්තන්ට නොලැබේවි. එය සාධාරණව විය යුතුයි.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඉහත අදහස් පලකළේ පසුගිය(24)දා මහඒදණ්ඩ ප්‍රජා කේන්ද්‍රයේ පැවති කරන්දෙණිය එ.ජා.ප. බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.

දැන් බලන්න පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයට ආසන 55 යි. එජාපයට 1 යි. එක කියන්නේ 135 ක්. දැන් හිතනවද එජාපයට තියෙන්නෙ එකයි කියලා. ලොක්කා ඇතුල හදලා තිබුණේ. මට තිබුණෙ ගිහින් බලන් ඉන්න විතරයි.

ඕන පුරවැසියකුට ඕන දේශපාලන පක්ෂයකට එජාපයත් එක්ක එකට වැඩ කරන්න පුළුවන්. ඒකට ව්‍යුහයක් හදන්න ඕන. ව්‍යවස්ථාවේ තියෙන බාධක ගලවන්න වෙනවා. කවුරුත් අතහැරලා දාලා අපි මේ ගමන යන්න බලාපොරොත්තුවක් නෑ. එහෙම ගමනක් යන්නත් බෑ. සියලු‍ දෙනා ජාතික ප්‍රතිපත්ති රාමුවකට එකඟ වෙන්න අවශ්‍යයි. එක එක පක්ෂවල හිටියට කමක් නැහැ. මාධ්‍ය පාලනය කරන්න නීතිරීති ගේන්නම ඕන. ප්‍රතිත්‍රස්ත පනත ගේන්න ම ඕන. ඒක යුරෝපය ඇතුළු අනිත් රටවල්වලට හොඳ නං ලංකාවට හොඳ නැද්ද? දැන් මානසික ත්‍රස්තවාදීන් අඳුනගෙන මනස වෙනස් කරලා සමාජගත කළ යුතුව තියෙනවා.

මෙම අවස්ථාවට හිටපු මහා මාර්ග රාජ්‍ය ඇමැති ආනන්ද කුලරත්න, හබරාදුව එ.ජා.ප. සංවිධායක ලයනල් ඉපලවත්ත ඇතුලු‍ පිරිසක් එක්ව සිටියහ. කරන්දෙණිය සංවිධායක නුවන් සොමිරත්න මහතා විසින් මෙය සංවිධානය කර තිබිණි.

නියාගම විල්සන්ට් විජේසිංහ, වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment