අයිඑම්එෆ් ගිවිසුම හැර විකල්පයක් අපට නැහැ – සියලුම මන්ත්‍රීවරුන් එක්වී ගිවිසුම අනුමත කරමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

77

කොටස් වෙළෙඳ පොළ කඩා වැටුණොත් එය වසා දමනවා
2019 පැවති ප්‍රමාණයට දළ දේශීය නිෂ්පාදනය ළඟා වන්නේ 2028 දීයි
බදු කපා හැරීමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් අපට නැතිවුණා
2023 දී ශ්‍රී ලංකා ආර්ථිකය 3% කින් පමණ පහළ යාවි
ඊළඟ වසර හතරේ දී ඩොලර් බිලියන හතක් ලබාගැනීමට හැකියි
ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙනවා
අර්ථසාධක අරමුදලට කිසිම හානියක් නැහැ

රටේ ආර්ථික අර්බුදයට උත්තරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නම් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් එක්වී අයි.එම්.එෆ් ගිවිසුම අනුමත කරමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (26 දා) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය සහනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මෙම විශේෂ ප්‍රකාශය කළ අතර එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

2022 ජුලි මාසයේදී මේ රටේ තිබුණේ කෝලාහල. ගිනි තැබීම්. රජය බංකොළොත් වුණා. ඒ නිසා ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වුණා. ඉන් මාස හතකට පසු ආර්ථිකය නැවත හැරවීමෙන් ලංකාවට සාර්ථක කතාවක් ලැබී තිබෙනවා.

අහිමි වූ ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහි වෙමින් තිබෙනවා. එය ඉදිරියට ගෙන යන්න මුළු රටේම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

2019 අගභාගයේ දී බදු කපා හැරීමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් අපට නැතිවුණා. ඊට පසුව කොරෝනා වසංගතය නිසා ලංකා ආර්ථිකය තවත් පිරිහුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල 2022 පෙබරවාරි සිට මාස තුනක් ඇතුළත 40% කින් පිරිහී

ගියා. ඉන් අනතුරුව රුපියල දිගින් දිගටම පිරිහී ගියා.

එමෙන්ම 2022 වසර පුරාම ආර්ථික වර්ධනය 7.8 කින් හැකිළී ගියා. 2022 සැප්තැම්බරයේ දී උද්ධමනය සියයට 70ක් ඉක්මවූ අතර ආහාර උද්ධමනය සියයට 95ක් තරම් ඉහළට ගියා.

මේ පසුබිම යටතේ ජුලි මාසයේ ජනාධිපති තනතුර බාර ගත්තේ ජනතාව දුක් විඳින බලාපොරොත්තු කඩවූ අවස්ථාවක රට යළිත් ගොඩ ගන්න හැකි වනු ඇතැයි මා විශ්වාස කළ නිසයි. උද්ඝෝෂණ විරෝධතා මැද මා ඒ වගකීම බාර ගත්තා. එසේ නැතිනම් රට සම්පූර්ණ විනාශයකට පත් වෙනවා. මගේ ගෙදර පුස්තකාලයේ චිත්‍ර විනාශ වී ගිනිබත් වුනාට මම ඊට පසුබට වුණේ නැහැ. රට විනාශ වන්නට නොදී ගොඩගන්නට අප ක්‍රියා කළා.

ඒ කාලය වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 83.6යි. එහි විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 41.5යි. දේශීය ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 42යි.

ද්වි පාර්ශවික හා පෞද්ගලික ණය ආපසු නොගෙවීම නිසා 2022 වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා නොගෙවූ හිඟ ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 2.7ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. විදේශ විනිමය හිඟය උග්‍ර අතට හැරීම නිසා 2022 මැද භාගය වන විට ශ්‍රී ලංකාවට විදේශවලින් භාණ්ඩ හා සේවා ගෙන්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා.

2022 මැයි මාසයේදී විදේශ ණයවලට අදාළ පොළිය ගෙවීමට අසමත් වුණා. මෙවැනි තත්ත්වයක් අපට සිදු වුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

ආණ්ඩුව එදා බාරගත්ත වෙලාවේ මා අයි.එම්.එෆ්, ලෝක බැංකු, ඒ.ඩී.බී බැංකු සමග සාකච්ඡා ආරම්භ කොට සැප්තැම්බර් මාසයේදී විස්තීරණ ණය පහසුකම් පිළිබඳව අයි.එම්.එෆ් සංවිධානය සමග එකඟතාවයකට ආවා.

ඒ විස්තීරණ ණය පහසුකමට ප්‍රධාන ප්‍රතිසංස්කරණ හයක් ඇතුළත් ඇතුළත්ව තිබෙනවා.

ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම පළමු කාරණය යි. ඊට අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම හා රාජ්‍ය අංශයේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීම ද අයත් වෙනවා.

ඊළඟ කාරණය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. මූල්‍ය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීමත්, නම්‍යශීලි විදේශ විනිමය අනුපාත ක්‍රමයත් යටතේ විදේශ සංචිත

ගොඩනැගීම තහවුරු වන ආකාරයට බහුවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමද සඳහන්ව තිබෙනවා.

මූල්‍ය අංශයෙහි ස්ථාවරත්වය තහවුරු වන ආකාරයට ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් දූෂණ පාලනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යූහාත්මක වෙනස්කම් කිරීම පිළිබඳව සඳහන්ව තිබෙනවා. අමාත්‍යවරයා ඒ පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කරාවි.

එමෙන්ම ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.

විදේශ ණය හිමියන්ගේ මූල්‍ය කරන සහතිකය ලබාගත්තේ මේ ආකාරයටයි. අපට මූල්‍යකරණ සහතිකය ලැබුණේ මේ පියවර ගත් නිසයි. පැරිස් ක්ලබ් සහ ඉන්දියාව එය අපට ලබා දුන්නා. ඉන්දියාව මුලින්ම ඒ බව අපට ප්‍රකාශ කළා. ඊට ස්තුතිවන්ත වෙනවා. චීනය වෙනම ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙනවා.

පැරිස් ක්ලබ් සහ ඉන්දියාව සමග අප සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාවලින් අනතුරුව පෞද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කරනවා.

මේ ගිවිසුම නිසා ඊළඟ වසර හතරේ දී මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක් පමණ අපට ලැබෙනවා. අනෙක් ආයතනවලින් ලැබෙන මුදල් ද සමග අපට බිලියන හතක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මෙහි ප්‍රතිඵල දැනටම පෙනෙන්නට පටන්ගෙන තිබෙනවා. විදේශ බැංකු සහ මූල්‍ය ආයතනවල විශ්වාසය නැවත ලබාගෙන තිබෙනවා. දැනටමත් ආර්ථිකය ස්ථාවර බව ඇතිවෙමින් තිබෙනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයන් ලංකාව දෙස බලනවා. 16 වතාවක් අයි.එම්.එෆ්

ගිවිසුම්වලට එළඹුණත් අප සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණේ නැහැ. 17 වන වතාවේදී ස්ථාවර පදනමක් එනවිට අපගේ දීර්ඝ කාලීන දුර්වලකම් නැතිකර අලුත් වැඩසටහනකට යන්න තිබෙනවා. ඊට කරුණු කිහිපයක් තිබෙනවා.

පළමුවැන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අපට තිබෙන සාකච්ඡාවයි. ද්වි පාර්ශවික රටවල් සමගත් පෞද්ගලික ණයකරුවන් සමගත් සාකච්ඡා කරනවා.

මේ ණය ප්‍රතිව්‍යුගත කරන්න අපට අවශ්‍යයි. රටට අවශ්‍ය සේවයන් සඳහා මුදල් ලබා ගැනීම අපේ අරමුණයි. පළමුවෙන්ම අපට තිබෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කිරීම යි. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධවත් කතා කරන ලෙස ඒ අය අපට පවසා තිබෙනවා.

අපට කොන්දේසි දමා සාකච්ඡාවට යන්න බැහැ. මේ සාකච්ඡාවලදී හැම අංශයක් දෙසම අප බැලිය යුතුයි. කිසිවකුටත් මෙයින් හානියක් වන්නේ නැහැ. ඊට මුහුණ දෙන්න නොහැකි යැයි සමහර බැංකු කියනවා. එහෙනම් තමන් බාර අරගෙන ආර්ථිකය ගෙන යන්නැයි මා කියනවා. එක එක අයට තුවක්කුවක් ඔළුවට තබා මේක කළොත් මේක කඩා වැටෙනවා කියන්න බැහැ. කොටස් වෙළඳපොළ කඩා වැටෙන බව කියනවා. කඩා වැටුනොත් මම ඒක වහන්නම්. මේක හැදිලා එනකොට ඒ කොන්දේසි මේ කොන්දේසි කියා කියන්න බැහැ. අපි මෙහි තීරණය කර කළ යුතු දේ කියන්නම්.

අර්ථසාධක අරමුදල ගැන ප්‍රශ්නයක් අසා තිබුණා. අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට කිසිම හානියක් වන්නට ඉඩ තියන්නේ නැහැ.එම අරමුදල ආරම්භ කළෙත් අපයි.

දරිද්‍රතාවයෙන් පෙළෙන අය සම්බන්ධයෙන් බලන්නැයි ලෝක බැංකුව පවසා තිබෙනවා. දිය යුත්තන්ට සහන දිය යුතු අතර සුදුසුකම් නැති අය ඉවත් කළ යුතුව තිබෙනවා.

අප අලුත් ආරක්ෂක ජාලාවක් ඇති කළ යුතුව තිබෙනවා මූල්‍ය ස්ථාවර බවක් ඇති කරන අතරම අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කරන්න අවශ්‍යයි.

අපට ස්ථාවර බවක් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. 2019 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදනය එක්සත් ජනපද ඩොලර් බිලියන 89 ක් පමණ වුණා. යළිත් 2019 පැවති ප්‍රමාණයට දළ දේශීය නිෂ්පාදනය ළඟා වනුයේ 2028 දී ය. ඒ 3% ක වර්ධන වේගය සමගයි. අප 3% ක වර්ධන වේගය සිටියහොත් ශ්‍රී ලංකාවට අවුරුදු 9ක ජාතික ආදායම අහිමි වෙන්න පුළුවන්.

2023 දී ශ්‍රී ලංකා ආර්ථිකය 3% කින් පමණ පහළ යාමට නියමිත බව දක්වා තිබෙනවා. ආර්ථිකය ධනාත්මක දිශාවට තහවුරු වීම අපේක්ෂා කළ හැක්කේ 2023 අග කාර්තුවේදීය.

2019 සිට අඩු තරමින් 3%කින් හෝ 4% කින් වර්ධනය වසර නවයක් පැවතියේ නම් අපගේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 110 කි. වර්ධන වේගය සියයට 5කට ගියහොත් එම ප්‍රමාණය ඩොලර් බිලියන 130ක් බවට පත්වෙනවා.

පළමු අවුරුදු දෙක තුනේදී සියයට තුනක හතරක වර්ධන වේගයකට යන්නට වේවි. ඊට පසුව 6% ක 7%ක වර්ධන වේගයකට යාමට තිබෙනවා. ඒ වර්ධන වේගය ලබා ගැනීම සඳහා දෙපැත්තේම අය එකඟ වෙන්නැයි මා කියනවා. සියළු නීති ප්‍රතිව්‍යුහගත කරන්නේ ඒ ආර්ථික වර්ධන වේගය ලබා ගන්නයි.

අපට සමහර නීති ඉවත් කරන්නට තිබෙනවා. සංස්ථා විකුණන්නෙ ඇයිදැයි අපෙන් අහනවා. පෞද්ගලික අංශයෙන් මීට වඩා හොඳට කියාත්මක කරන්න පුළුවන් නම් ඒ අයට ඒවා බාර දෙනවා. වසර විසි පහක් තිහක් ඇතුළත අප විවිධ සීමා පැනෙව්වා. අප ආර්ථිකය දෙස බලා තිබෙන සීමා කුමක්ද? ඉවත් කරන සීමා කුමක්ද? කියා තීරණය කළ යුතුයි.

ඉතා තරඟකාරී සමාජ සාධාරණය ඇති වෙළෙඳ ව්‍යාපාර අපට අවශ්‍යයි. එමෙන්ම හරිත ආර්ථිකයක් අපට අවශ්‍යයි. ඩිජිටල්කරණ ආර්ථිකයක් අවශ්‍යයයි. අප කටයුතු කරන්නේ මේවා ඇති කරන්නයි.මේ සඳහා විවිධ ක්‍රියාකාරකම් තිබෙනවා. කෘෂිකර්මය නවීකරණය කරන්නට තිබෙනවා. කර්මාන්ත ගේන්න තිබෙනවා. ඒ පිළිබඳව වෙනම කතාවක් කරන්නම්.

මූල්‍ය අරමුදලින් ගිවිසුම හැර වෙන විකල්පයක් අපට නැහැ. කිසිවකුත් වෙන එකක් යෝජනා කරලත් නැහැ. වෙනම ක්‍රියාකාරී විකල්පයක් නැති නම් අපට තිබෙන්නේ මේ ගිවිසුම අනුමත කිරීමයි.ස ජබෙ මන්ත්‍රීවරුන්ටත් එය කියන්න මා කැමතියි. ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ සිටි සමයේ පටන් හැම වෙලේම කිව්වේ අයි.එම්.එෆ් සමග එකතුවෙලා වැඩ කරන්න කියලා.

දැන් වැඩසටහනක් පැමිණ තිබෙනවා. දෙපැත්තම පිළිගැනීමට සූදානම් තැනක තිබෙන්නේ. එසේ නම් අප සියලු දෙනා එකතු වී මෙය සම්මත කරමු. මාස හයෙන් හයට අයි.එම්.එෆ් කණ්ඩායම එන නිසා මෙහි අඩුපාඩුකම් තිබේ නම් සාකච්ඡා කරන්න පුළුවන්.

සමහර වෘත්තීය සමිති තමන්ගේ බදු ගැන ප්‍රශ්න ඇති කර තිබෙනවා. සියල්ල සාකච්ඡා කොට මාස හයෙන් හයට ඒ ප්‍රශ්න විසඳමු. ඊට පසුව අප සියලු දෙනා එකතු වී එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදමු.

2048 දක්වා මේ රටේ තිබෙන ජාතික ප්‍රතිපත්ති රාමුව කුමක්ද? ඒ වගේම අපි ආණ්ඩුවෙන් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා නම් ඒ පිළිබඳ සාකච්ඡා කරමු. ජාතික සභාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වෙනත් කාරක සභාවන් තිබෙනවා. එසේ නම් ඒ වැඩ කටයුත්ත කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්වෙමු. අනෙක් ප්‍රශ්න ගැන විවිධ මත තිබෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයේදී සියලු දෙනා එකතු වී සහයෝගය දෙන්නැයි මා ඉල්ලා සිටිනවා.

අපට දැන් තිබෙන්නේ 2048 වෙනුවෙන් රට හදන්නයි. අප මෙය නොකලොත් තරුණයන්ගේ අනාගතය පාවාදීමක්. ඒ අයගේ අනාගතය නැති කිරීමක්. ඒ අය

ගැන හිතන්න. බලයේ කේන්ද්‍රය ගැන පමණක් හිතන්න එපා.

මේ වැඩ කටයුත්ත නොකළොත් අප කිසිවෙකුටත් තව වසර දෙක තුනකින් ඉන්නට බැරි වේවි. ඒ නිසා අප සියලු දෙනාම එකතු වී මෙය අනුමත කරන්න. ඊට පසුව අප එකට එකතුවී 2048 දක්වා තිබෙන ප්‍රතිපත්ති මාලාව සකස් කොට පළමු වසර පහේ වැඩසටහන ක්‍රියාත්මක කරමු.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment