ආණ්ඩුවේ ආර්ථිකය හසුරුවන බැසිල් – කබ්රාල් දෙකට බෙදිලා – ආචාර්ය හර්ෂ ද සිල්වා

162

ආර්ථික අර්බුදය පිළිබඳව නිසි තීරණයක් ගැනීමට නොහැකිව මේ වන විට ආණ්ඩුවේ ආර්ථිකය හසුරුවන කණ්ඩායම දෙකට බෙදී ඇති බවත් බැසිල් රාජපක්‍ෂගේ කණ්ඩායම සහ මහ බැංකු අධිපතිවරයාගේ කණ්ඩායම ලෙස එය නම්කළ හැකි බවත්, දැන් එම කණ්ඩායම් දෙක අතර මත ගැටුමක් හටගෙන තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය 16 දා කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේය. ඔහු මෙසේද කීවේය. මේ කඹ ඇදිල්ල නිසා ආර්ථික අර්බුදය දිනෙන් දිනම උත්සන්න වෙමින් පවතිනවා. මෙරටට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කළත් ආර්ථිකය පිළිබඳව වැදගත්ම තනතුරක් දරන මහ බැංකු අධිපතිවරයා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණ ගැසුණේ නෑ.

සමාජ මාධ්‍යවල කතාවක් යනවා මේ ආණ්ඩුව මහ බැංකු අධිපතිවරයාව ඉවත් කරන්න හදනවා කියලා. ඒකෙ ඇත්ත, නැත්ත මම දන්නෙ නෑ. හැබැයි සුපුරුදු පරිදි මේ ආර්ථික අර්බුදයත් කාගේහරි ඇෙඟ් ගහල අත පිහදාගන්න රාජපක්‍ෂල අර අඳිමින් ඉන්නවා. ඒ කොහොම වුණත් මෙදා සැරේ ජනතාව රවටන්න අමාරු වේවි යැයි ද මෙහිදී මන්ත‍්‍රීවරයා පැවසීය.

එසේම මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් මෙරට ආර්ථික අර්බුදය ඔඩු දිවීමට හේතු වූ කාරණා 06ක් ආණ්ඩුවට දැනුම් දී ඇතැයි ද මන්තී‍්‍රවරයා විහිදී කීය. සමගි ජනබලවේගය විසින් පැවැත්වූ විරෝධතාවයට සමාජයේ සියලුම පන්තීන් නියෝජනය කරමින් ජනතාව සහභාගි වූ බවත්, වෙනදා පෙළපාලි සඳහා සහභාගි නොවූ ජනතාවත් දැන් මහපාරට පැමිණ තිබෙන බවත් මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment