අග්බෝට දිගටම ප්‍රතිකාර

262


අග්බෝ ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කළ අයුරු

ඉදිරි වම් පාදයට වෙඩි වැදී වෛද්‍ය ප්‍රතිකාර හමුවේ තරමක සුවයක් ලැබූව ද අග්බෝ ඇතාට අඛණ්ඩව යළි ප්‍රතිකාර කිරීම ඇරඹූ බව තිරප්පනේ වනජීවී කාර්යාලය කියයි.

අග්බෝ ඇතාට සිදුකළ අඛණ්ඩ ප්‍රතිකාර නිසා යම් සුවතාවයකට පැමිණ සුපුරුදු පරිදි රාත්‍රී කාලයේ ආහාර සොයාගෙන තිරප්පනේ ඇතුන්ගම අවට ප්‍රදේශවල ජීවත් වීමට ඇතා පුරුදුව සිටී. දිවා කාලයේ වන්නම්මඩුව වැවේ හෝ උලගල්ල වැවේ ගත කිරීමට පුරුදුවීම නිසා වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව සිදු කිරීමට බාධාවක් මතු වී තිබිණ.

ඇතා පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින තිරප්පනේ වනජීවී නිලධාරීන්, අග්බෝ ඇතා වැවෙන් ගොඩ වී පුදුක්කුලම ප්‍රදේශයේ වන ලැහැබකට ඇතුළු වී සිටින බව සැලවීමත් සමග අනුරාධපුර කලාප භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ඉකුත් 11 වැනිදා අග්බෝ ඇතා නිර්වින්දනය කොට අවශ්‍ය ප්‍රතිකාර සිදු කෙරිණි.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පැය 4ක පමණ මෙහෙයුමකින් පසු සාර්ථකව ප්‍රතිකාර සිදු කළ වෛද්‍යවරු, ඇතාට අවශ්‍ය ප්‍රතිකාර නොකඩවා ඉදිරියේදී ද සිදු කරන බව කීය.
තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment