නාරම්වල කොල්ලකරුවෙක් පොලිස් වෙඩි කා මරුට

130

නාරම්මල රන්මුතුගල ප්‍රදේශයේදී මුදල් සහ දේපළ කොල්ලකෑමකට පැමිණි කොල්ලකරුවන් පිරිසක් සහ පොල්ගහවෙල පොලිසියේ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමකින් පසු පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් කොල්ලකරුවකු මියගොස් ඇත.

මෙහිදී පොලිසිය සමග සිටි තරුණයන් දෙදෙනකු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ අතර ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වූ 28 හැවිරිදි තරුණයා නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඇපල් වර්ගයේ මිල අධික ජංගම දුරකථන අඩු මිලට අලෙවි කරන බව කියමින් විවිධ පුද්ගලයන් ගෙන්වාගෙන අතරමගදී ඔවුන්ට පහරදී මුදල් සහ දේපළ කොල්ලකන සංවිධානාත්මක පිරිසක් කොටුකර ගැනීමට යෑමේදී පොලිසිය මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

රුවන්වැල්ල ප්‍රදේශයේ තරුණයකු සංවිධානාත්මක කොල්ලකල්ලියේ මෙම වංචාවට හසුව ඇති බව පොලිසිය පවසයි.

ඇපල් වර්ගයේ ජංගම දුරකථන ඉතා අඩු මිලට අලෙවි කරන බවට ෆේස්බුක් හරහා වෙළෙඳ දැන්වීම් පළ කරන මෙම සංවිධානාත්මක පිරිස ගැනුම්කරුවන් අතරමගට ගෙන්වාගෙන, ඔවුන්ට පහරදී මුදල් සහ ඔවුන් සතු වටිනා දේපළ කොල්ලකෑම සිදු කරගෙන ගොස් ඇත.

රුවන්වැල්ල ප්‍රදේශයේ තරුණයකු ද මීට මාස 3කට පමණ උඩදී මෙම සංවිධානාත්මක කොල්ලකරුවන්ගේ වංචාවට හසුවූ අතර ඔහු සතුව තිබූ රුපියල් හත් ලක්‍ෂයක් පමණ වටිනා ජංගම දුරකථන, ලැප්ටොප් සහ මුදල් ඔවුන් විසින් කොල්ලකා තිබිණි.

මෙම සංවිධානාත්මක කල්ලිය ෆේස්බුක් හරහා වෙළෙඳ දැන්වීමක් පළකර තිබෙනු දැක ඇති රුවන්වැල්ලේ තරුණයා එම පිරිස පොලිසියට අල්ලා දීමට බලපෑම් කර ඇත.

ඒ අනුව එම තරුණයා තම මිතුරන් කීපදෙනෙකු ද සමග ගොස් මේ පිළිබඳව පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබේ.

පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් තිදෙනකු මෝටර් රථය තුළ සැඟවී මෙම සංවිධානාත්මක පිරිස අත්අඩංගුවට ගැනීමට තරුණයන් සමග ගොස් ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනකු මෝටර් රථයේ ඩිකියේ සැඟවී සිටි අතර එක් අයකු වෙස්වලාගෙන රියැදුරු ලෙස කටයුතු කර ඇත.

සංවිධානාත්මක පිරිස රුවන්වැල්ලේ තරුණයාට දුරකථනයෙන් කතාකර ඔවුන් ස්ථාන කීපයක් වෙත ගෙන්වා, අවසානයේදී නාරම්මල රන්මුතුගල ප්‍රදේශයට ගෙන්වාගෙන තිබේ.

ඒ වනවිට අලුයම 1.00 පමණ වී තිබූ අතර කොල්ලකරුවන් රන්මුතුගල ප්‍රදේශයේදී මෙම පිරිස ගමන්ගත් මෝටර් රථය නවතා ඊට කඩුවලින් පහරදී විනාශ කර ඇත.

ඒ අවස්ථාවේ මෝටර් රථය තුළ සැඟවී සිටි පොලිස් නිලධාරීන් ඉන් පිටතට පැමිණ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබේ. එහිදී එක් කොල්ලකරුවකු තමා අත තිබූ කඩුව විසිකර දමා පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කර, ඔහු සමග පොරබදා ඇත.

එහිදී පොලිස් නිලධාරියා එල්ල කළ ප්‍රහාරයෙන් කොල්ලකරු බරපතළ තුවාල ලැබූ අතර ඔහු නාරම්මල රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යද්දී මියගොස් තිබේ.

කොල්ලයට පැමිණි අනෙක් දෙදෙනා පොලිස් නිලධාරීන්ගෙන් බේරී පලාගොස් ඇත. පලා ගිය කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට නාරම්මල පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම සංවිධානාත්මක කල්ලිය මේ ආකාරයට විශාල පිරිසකගෙන් මුදල් සහ දේපළ කොල්ලකා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති සුදත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment