රට ගොඩගන්න නව ජනතාවාදී දේශපාලන අධිකාරියක් අවශ්‍යයි – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

121

රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීම යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ වැන්කුවර්හිදී ඉකුත් 24 වැනිදා පැවැති ජන හමුව අමතමින් පැවසීය. එහිදී වැඩිදුරටත් ජනහමුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

“අපේ රටේ කිසිදු පුරවැසියෙක් තවදුරටත් රැවටීමට හෝ පසුතැවීමකට භාජනය කරන්න අපට අයිතියක් නෑ. ඔබ ඉදිරිපිට තිබෙන කරුණු ඔබ ඉදිරිපිට දෙන සහතිකයන් අනිවාර්ය ලෙස ආරක්ෂා කරන්න අපට යුක්තිසහගත සාධාරණ අයිතියක්, වගකීමක් තිබෙනවා. එය ආරක්ෂා කිරීම සඳහා අප බැඳී සිටිනවා. අපේ රට වෙනස් කරන්න වගේම අපේ රටේ ජීවත් වෙන ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන්න ඔබට අවශ්‍යයි.

අනාගත දරුවන්ට හොඳ ජීවිතයක් උරුම කර දිය යුතුයි. එම උරුම කරදීමේ වගකීම පැවරෙන්නේ ආරම්භක වශයෙන් කරනු ලබන දේශපාලන වෙනසකින්. අපේ රටත් ජනතාවත් මේ ඉරණමට ඇද දමන ලැබුවේ අපේ රටේ දේශපාලන අධිකාරිය විසිනුයි. අපේ රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි. ඒ වෙනුවට නව ජනතාවාදී දේශපාලන අධිකාරියක් ස්ථාපිත කිරීම තමයි ආරම්භය. අද අපේ රටේ ජනතාව ඇතිවී තිබෙන සියලු ප්‍රශ්න ඉවසාගෙන දරාගෙන ඉන්නේ එළඹෙන ජාතික මැතිවරණයකදී පාඩමක් උගන්වන්නම්, තීන්දුවක් ගන්නම් කියන අදහසිනුයි. හෙට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රකාශයක් කළොත් ඡන්දයක් තියන්නේ නැහැ කියලා, පසුවදා රනිල් ගෙදර. ජනතාව මේ සියල්ල දරාගෙන ඉන්නේ ජාතික මැතිවරණයක් එන තෙක්. ඒ නිසා අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඡන්දය පැවැත්වෙනවා. දැන් අපට තිබෙන්නේ ඡන්දෙදි මොකද කරන්නේ කියා කතා කරන්න.

මෑතකදී රාජ්‍ය බුද්ධි සේවය විසින් ආණ්ඩුවට වාර්තාවක් ලබා දුන්නා. එම වාර්තාවේ ජාතික ජන බලවේගයේ වර්ධනය පිළිබඳව කරුණු දෙකක් සැලකිල්ලට භාජනය කරන බව පවසා තිබෙනවා. පළමු කරුණ තමයි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ජාතික ජන බලවේගය වටා ඒකාරාශී වෙමින් මේ නැගෙමින් එන ප්‍රබෝධය අනතුරක් ලෙස සලකන්න කියා ආණ්ඩුවට කියා සිටියා. දෙවැනි කරුණ තමයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය වටා, විශ්‍රාමික නාවුක හමුදාවේ, ගුවන් හමුදාවේ, යුද්ධ හමුදාවේ නිලධාරීන් සහ සොල්දාදුවන් පොදි බැඳගෙන එකතුවීම අනතුරක් විදිහට ඔවුන් දකිනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ නැගීසිටීම සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නැගී සිටීම ජාතික ජන බලවේගය ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා යන ගමන වැළැක්වීම සඳහා ප්‍රධානම බාධාව බව ආණ්ඩුවට ඉදිරිපත් කරමින් කියනවා. එළඹෙන මැතිවරණයේදී, ආණ්ඩු තීරණය කිරීමේ බලයේදී ඔබගේ

තිබෙන හයිය අපටත් වඩා හොඳින් ඔවුන් දන්නවා. සමහර විට ඔබට ඡන්ද බලය නොතිබෙන්න පුළුවන්. හැබැයි ඔබගේ හඬ, ඔබගේ අවදිවීම, ඔබගේ පෙනී සිටීම, කතා කිරීම ශ්‍රී ලංකාව තුළ ප්‍රබලතම ජනතා බලයක් නිර්මාණය කරනවා. ඔබ කැනඩාවේ ජීවත් වෙමින් ඔබගේ මිතුරන්ට, ඥාතීන්ට, මේ පණිවිඩය දෙනවා නම්, සමාජ මාධ්‍ය ඇතුලේ ඔබගේ හඬ, ඔබගේ මතය ප්‍රකාශයට පත්කරනවා නම් එය ඡන්දය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment